Print this Article


විමාන වස්තු කථා 20 : ආචාමදායිකා විමානය

විමාන වස්තු කථා 20 :

ආචාමදායිකා විමානය

ඉතා පැහැදුණු සිත් ඇති ව හා උසස් ගෞරවයෙන් යුතු ව එම දම් කුඩ සහිත සීතල , රස අඩු, ලුණු නැති කැඳ වතුර ටික පාත්‍රයට පිළිගැන්වූවා ය.

සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැදී එයින් නැගී සිටි ආයුෂ්මත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අද මා ආහාර දානය පිළිගැනීමෙන් කවරකුට අනුග්‍රහ දක්වන්නෙම් දැ යි සිතන්නට,බලන්නට වූහ.

මෙහි දී මරණයට ආසන්නව සිටි නිරයෙහි ඉපදීමට හේතුවන කර්ම කර ඇති එක්තරා දිළිඳු අසරණ ස්ත්‍රියක් දැක එහි වැඩි සේක. මෙවිට සක් දෙව් රජු ද අප්‍රකට වේශයකින් යුතු ව නොයෙක් සූප ව්‍යංජන සහිත ආහාර හා දිව්‍ය සළු ද රැගෙන ඉදිිරියට ආවේ ය. ( 7 දිනක් හෝ එයට අඩු කාලයක් නිරෝධ සමාපත්තියෙහි සිට මෙවන් නැගී සිටි අවස්ථාවක රහතන් වහන්සේ නමකට දෙන ආහාර දානයක් වේ ද, එහි ආනිශංස එදින ම ලැබෙන බව ධර්මයේ සඳහන් ව තිබේ) මොහු කවරෙක් දැ යි හඳුනාගත් කාශ්‍යප මහ රහතන් වහන්සේ “ඔබ කරන ලද පින්කම් ඇත්තෙකි. කුමක් නිසා මෙසේ කරන්නේ ද? දුකට පත් දිළින්දන් හට ලැබෙන සම්පත් නො වළක්වනු කියා ශක්‍රයාගේ දානය ප්‍රතික්ෂේප කොට කලින් සිතා ගත් දිළිඳු ස්ත්‍රිය වෙත ම වැඩි සේක්හ.

මැය තෙරණුවන් දැක, මේ නම් මහානුභාව සම්පන්න තෙර නමකි. මුන්වහන්සේ වැනි කෙනෙකුට වැළඳිය හැකි, බීමට දිය හැකි දෙයක් දෙන්නට මා ළඟ නම් කිසිත් නැත. මේ කිළිටි භාජනයෙහි දැමූ තණ කැබැලි – දූවිලි ආදිය වැටුනු, ලුණු නැති, සීත වූ, රස නැති දම්කුඩ සහිත කැඳ වතුර ටිකක් මෙවැනි තෙරුන් වහන්සේ කෙනෙකුට දෙන්නට උත්සාහ නො කරමි යි සිතා ඉදිරියට වඩින්න. දිය යුතු දෙයක් මෙහි නැතැ යි ඇය කීවා ය.

කාශ්‍යප තෙරුන් වහන්සේ එක් පියවරක් පමණක් ඉදිරියට තබා නැවැතුණු සේක. ළඟ නිවෙස් වැසි තවත් මනුෂ්‍යයෙක් ආහාර ගෙන ඉදිරියට ආවේ ය. තෙරුන් වහන්සේ ඒවා ද නො පිළිගත් බව දුටු දුගී අසරණ කාන්තාව, මට ම අනුග්‍රහ පිණිස මේ තෙරුන් වහන්සේ පැමිණියේ යයි සිතා මා සතු දෙයක් ම පිළිගනු කැමැත්තේ යයි දැන ඉතා පැහැදුණු සිත් ඇති ව හා උසස් ගෞවරයෙන් යුතු ව එම දම් කුඩ සහිත සීතල , රස අඩු, ලුණු නැති කැඳ වතුර ටික පාත්‍රයට පිළිගැන්වූවා ය. මැයට අනුකම්පාවෙන් ම වැඩි මේ අරහත් උතුමෝ ඇයගේ පැහැදීම වැඩිවනු පිණිස කැඳ ආහාරය එහි ම සිට වළඳනු රිසි ආකාරයක් දැක් වූ විට අසළ නිවසේ හිමි ගෙහිමියා අසුනක් පැනවී ය. කාශ්‍යප මහ රහතන් වහන්සේ එහි ම හිඳ ඒ කැඳ වතුර වළඳා පාත්‍රයෙන් අත ඉවතට ගත්, අත් ඇත්තේ දානයේ ආනිශංස කියැවෙන අනුමෝදන් බණක් වදාරා, ඔබ මින් පෙර තුන්වන ආත්ම භාවයේ දී මගේ මෑණියන් ද වූහ’ යි වදාරා ආපසු වැඩි සේක.

ඕ තොමෝ එය අසා තෙරුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ද, ප්‍රසාදය ද තවත් උපදවා ගත්තේ එදින රාත්‍රී පළමු යාමයෙහි කළුරිය කොට “නිර්මාණරතී” නම් දෙව්ලොව දේව සමාගමෙහි පහළ වූවා ය.

මෙහි දී සක්දෙව් රජ මෙවැනි උත්තම පිනක් කරගත් මැය කළුරිය කළ බව දැන කවර නම් තැනක උපත ලැබුවේ ද යි සොයන්නේ, තව්තිසාවෙහි නො දැක (චාතුර්මහා රාජිකයෙහි ද අධිපති සක්දෙව් රජ ය. අනෙක් සතර දෙව් ලොවට වෙනත් අධිපතීන් සිටිති) මැදියම් රාත්‍රියෙහි ආයුෂ්මත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වෙත පැමිණ ඇය උපන් තැන විමසූ දෙබස් කථාව “විමාන වත්ථු පෙළපොතෙහි” ගාථා 10 කින් සංග්‍රහ වී ඇත. ඒවායේ සාරාංශය ද මෙසේ ය)

සක්දෙව් රජ

183 -184 – ස්වාමීනි, පිඬු පිණිස හැසිරෙන ඔබ වහන්සේ නිහඬව (එක් තැනක) සිටිය දී ගෙවල්වල සේවය කරන එක් දිළිඳු අසරණ ස්ත්‍රියක් පැහැදුනු සිතින් ප්‍රසන්න වූ වා දම් කුඩ සහිත කැඳ බතක් පිළිගැන්වූවා ය. ස්වාමීනි, ඕ තොමෝ මිනිස් සිරුර අතහැර කවර දිශාවකට ගියා වේ ද?

කාශ්‍යප මහ රහතන් වහන්සේ

185- 186- 187 (සක්දෙව් රජුනි) ප්‍රසන්න වූ සිතින් දම්කුඩ සහිත කැඳ බතක් පිදූ ඒ අන්ත අසරණ දිළිඳු ස්ත්‍රිය මිනිස් සිරුර අතහැර අභාග්‍යයන්ගෙන් මිදී මහත් ඍද්ධි ඇති “නිර්මාණ රතී” නම් දෙවියෝ වෙත් ද ඒ දේව සමාගමට ගොස් සුවපත්ව සතුටු වෙයි.

සක් දෙව් රජ

188- මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෙරෙහි පැහැදී පූජා කරන ලද ස්ත්‍රියගේ එම දානය අහෝ පුදුමයි. අනුන්ගේ ගෙයින් සිඟීමෙන් ලත් දෙයින් දුන් එම දක්ෂිණාව ඒකාන්තයෙන් සමෘද්ධ වූවා ය. පුදුමයකි.

189-190-191-192 ලාමක නො වූ දැකුම් ඇති යම් ස්ත්‍රියක් සක්විති රජුගේ භාර්යාව වන්නේ ද, ලක්ෂයක් රන්කාසි ද, ලක්ෂයක් අශ්වයෝ ද, ලක්ෂයක් වෙළෙඹුන් යෙදූ රියක් වේ ද, මුතු, මැණික් වලින් යුතු කුණ්ඩලාභරණ පැළැඳි ලක්ෂයක් කන්‍යාවෝ වේ ද, උඩට නැගුණු රිය හිස් පමණ වු දළ ඇති, මනාව වැඩුණු, රනින් සැරැසූ වස්ත්‍ර ඇති හිමාලයෙහි උපන් සියයක් (හේමවත) ඇත්හු වේ ද, මෙලොව යමෙක් සතර මහ දිවයිනට අධිපති සක්විති රජ බව කෙරේ ද යන මේ සියල්ල මේ දම් කුඩ සහිත බත් කැඳ දානයේ ආනිසංස හා සසඳන විට සොළොස් වැනි කලාවෙන් එක් කලාවකුදු නො වටින්නේ ය යි ශක්‍ර ද්වේන්ද්‍රයා කී ය.

අප බුදුරජාණන් වහන්සේගෙන් පවා මහත් ගෞරව ලැබූ වසර එකසිය විස්සක් ආයු විඳි, බුද්ධ පරිනිර්වානයෙන් තෙමසකට පසු පැවැත් වූ ප්‍රථම ධර්ම සංගායනාවේ නායකත්වය හෙබි, පැවිදි ජීවිතය පුරා පාංශුකූලික චීවර ව්‍රතයෙන් වත් පිරූ, මහත් ධන කුවේරයෙක් ව සිටි අපගේ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ආත්ම තුනකට පෙර මව් පදවිය දරා ඇති මේ කාන්තා තොමෝ උපන් මේ ජීවිතයේ දී මෙ තරම් අසරණ දුගී ස්ත්‍රියක් වූ අයුරු ද අටුවාවේ මෙසේ දක්වා ඇත.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයක් රජගහ නුවර එක්තරා පවුලක අහිවාතක රෝගයෙන් උවදුරට පත්විය. (මෙය වසංගත මාරාන්තික රෝගයකි. විශාල සර්පයන්ගේ විෂ, වාතය හා මිශ්‍ර වීමෙන් හටගන්නක් බව කියැවේ. “අහි” යනු විෂඝෝර සර්පයාට කියැවෙන පාලි වචනය යි.” වාත” යනු සුළඟ යි. ගුණසේන සිංහල මහා අකාරාදියෙහි ද (පි. 132) මෙසේ පැහැදිලි කිරීමක් කර ඇත. “හිමාලය වන ප්‍රදේශයෙහි නාග රාජයන් විසින් පහළට හෙළනු ලබන විෂ වාතයක් ( අහි වාතයක් ) ඇත. (මේ විෂ වාතය ආඝ්‍රාණය වූ මිනිසුන්ට අහිවාතක රෝගය වැළඳෙතැයි ද, ඒ රෝගය යම් ගෙයක ඇති වූයේ නම් ඒ ගෙයි බිත්ති බිඳගෙන ගිය අය පමණක් නො මැරෙතැයි ද කියති”) මෙහි එක් ස්ත්‍රියක් හැර අනික් සියල්ලෝ ම මිය ගියහ. ඇය නිවස ද නිවසේ වූ සියලු ධන ධාන්‍ය ද හැර දමා මරණ භයෙන් බියපත් ව බිත්තියක් පලාගෙන පැන ගියා ය. මෙසේ අසරණ ව පැන ගිය ඇය අනාථ වූයේ අනුන්ගේ නිවසකට ගොස් ඒ නිවස පිටුපස වාසය කළා ය. එම නිවසෙහි විසූ කරුණාවන්ත පුරුෂයෙක් හැලි වළං ආදියෙහි ඉතිරිවන බත් කැඳ ආදිය ඇයට දීමට පුරුදුව සිටියේය. ඒ ස්ථානයෙහි ම හිඳිමින් ඔවුන්ගේ කැඳ බත් කා ජීවත් වූයේ මේ මව්තුමිය යි. ඇතිලි වළං සෝදා දැමීමට පෙර තමන්ට ලැබෙන දම් කුඩ පූජා කළ දායිකාව යන අර්ථයෙන් ම විමාන කථා වස්තුව “ආචාමදායිකා” නම් වූ හ.

මේ විමාන වස්තු කථාවෙන් අපට මතු කර ගත හැකි දහම් කරුණු කවරේද?

1.මේ අනවරාග්‍ර සසරෙහි උපතේ මුලක් හෝ අගක් දැකිය නො හැකි බව ( සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේ) සූත්‍ර දේශනා 20 ක් පුරා දේශනා කොට වදාළ බුද්ධ දේශනා ඇත. ඒ තුළ මේ සසරේ තමාට මවක් නො වූ පියෙක් නො වූ, බිරිඳක් හෝ පුරුෂයෙක් නො වූ සහෝදරයෙක් හෝ සහෝදරියක් නොවූ ඤාතියෙක් නො වූ කිසිවෙක් නො මැති ලෙසින් ආදී සිදු කර ඇති එම දේශනා අනුව මෙතරම් උතුම් පුත්‍ර රත්නයකට(මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි) එයින් ආත්මභාව තුනකට පෙර මව වූ කාන්තාවක් හට නිරයේ උපදින්නට තරම් හේතු ඇත්තියක් වූයේ මන් ද?

පිළිතුර :– දහසක් දෙනුන් අතර තම මවු දෙනම සොයා යන වසු පැටියකු මෙන්, කර්මය එය කළාහු වෙත ම ගොස් විපාක ලබා දෙන්නේ ම ය. එහෙත් බුද්ධ දේශනා තුළ මේ විපාක තුනී කළ හැක. අහෝසි කළ හැක. ඒ සද්ධර්මය තුළ හැසිරීමෙනි, අහිංසක කුමරු අංගුලිමාල නම් වී දහස් ගණන් මිනිසුන් මැරූ මිනීමරුවකු වුණි. එහෙත් සත්පුරුෂ ඇසුර ලැබ නැවත උපතක් නැති උතුම් අරහත්වය මේ ආත්මයේ ම ලබා ඒ ජීවිතය තුළ කළ බලවත් අකුසල කර්ම “අහෝසි කම්ම” බව ට පත්කර ගත්තේ ය. ධනංජය බමුණා අයුතු ලෙසින් මුදල් ඉපයූ අයෙකි. එහෙත් අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ වැනි මිතුරෙක් ඔහුට සිටි හෙයින්, බලවත් ලෙස රෝගාතුර වී මරණයට ළං වූ අවස්ථාවේ දී බියට පත්ව තම මිතුරු සැරියුත් මහ රහතන් වහන්සේට දන්වා යවා වැඩම කොට දෙසූ ධර්මය අසා අපාගාමීවීමට සිටි මොහු බඹලොව උපත ලබා දුන්නේ . මෙවන් ආශ්චර්යන් කරන්නට අද බුදු – පසේ බුදු , මහරහත් වැනි සත්පුරුෂ උතුමෝ නැති වුවත් ඒ උත්තමයන් වහන්සේ දෙසු සද්ධර්මය රැකගෙන එන විහාරවාසී කල්‍යාණ මිත්‍ර මහ සඟරුවන හා කල්‍යාන ගිහි පිරිස් සිටී. එනිසා අපිදු හැම විට සසර දුකින් මිදීමටත්, තමා තමාට සතුරකු වන පව්කම් කෙසේවත් නොකොට කුසලයෙහි ම හැසිරෙමු.