Print this Article


සසර තරණය 05 : ඇසේ ස්වභාවය

සසර තරණය 05 :

ඇසේ ස්වභාවය

අපට රූපය තුළ, අප අද දවසේ දී දුක් විඳින්නෙත්, සැප විඳින්නෙත් අප නොදන්න මානසික මට්ටමක් තුළ. අපේ මුළු පැවැත්ම ම අප හදාගෙන තියෙන්නේ, ඔය ඇත්ත යථාර්ථය නොදන්නකම නිසා. ලෝකයා සැප කියා හිතාගෙන, දුක පැත්තට ම නැවත, නැවතත් නැඹුරු වෙන්නේ , ඒ වගේ ම දුකේ ම සැපැ’යි යැ’යි විපල්යාසය පෙරමුණු සංඥාව පටන් ගන්නේත් අන්න ඔය කාරණාව නිස යි.

පින්වතුනි, අපට අද දවසේ දී පුළුවන්කම ලැබුණොත් ඔය එකම ස්කන්ධයේ සහ පංච උපාදානස්ඛන්ධ කියලා, මේ කාරණාව හරියට තේරුම් ගන්නට වෙන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා අප හොඳට නුවණක් ඇති කරගන්නට අවශ්‍යය යි, මොකක්ද? බුදුරජාණන් වහන්සේ ඇත්තටම මෙතන පෙන්වපු ඇත්ත කාරණාව, යථාර්ථය කියන එක පිළිබඳව. අපට පේනවා, ඇහැට පේන රූපය යැ’යි කියන යථාර්ථය. ඇහැට පේන රූපයේ තියෙන ඇත්ත. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන ටික පැත්තෙන් තියෙන ඇත්ත කාරණා ටිකක් තමයි, අපට භාග්‍යවතුන් වහන්සේ ධර්මය තුළ දේශනා කරන්නට යෙදුණේ.

එතකොට, මේ ශාසනයේ ඇහැ කියලා, කියන්නේ අප හිතාගෙන ඉන්න, අප දන්න ඇහැට නෙවෙයි. අප හිතාගෙන ඉන්න, අප දන්න ඇහැට රූපය කියනවා මිසක, ඇහැ කියලා කියන්නේ නැහැ. මොකද? ඇහැට කවදාකවත් ඇහැ පේන්නේ, නෑ. ඇහැ දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඇහැට පුළුවන්කම තියෙන්නේ රූපයක් දකින්න විතරයි. ඔබ අද දවසේ දී කණ්ණාඩියක් ඉදිරියට ගියොත්, ඔබට පුළුවන්කමක් ලැබෙයි, ඇහැ දකින්න. හැබැයි, ඒ දකින්නේ ඇහැ ද? රූපය ද? ඒ දකින්නේ රූපය. හොඳම දේ තමයි ඔබට හිතෙනවානම්, ඇහැ පේනවා කියලා, කළුවර වෙලාවට කණ්ණාඩියක් ළඟට යන්න. කළුවර වේලාවට කණ්ණාඩියක් ළඟට ගියොත් ඔබට පුළුවන් වෙයිද, ඇහැ දකින්න? බැහැ. එහෙනම්, මොකක්ද, අවශ්‍ය වෙන්නේ? එළියක් අවශ්‍ය වෙනවා. ටෝච් එක අරගෙන කණ්ණාඩිය පැත්තට ගැහුවොත් පුළුවන්ද, ඇහැ දකින්න? ඇහැ දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙනම්, ඔබට සිද්ධ වෙනවා, ඇහැ පැත්තට ටෝච් එක ගහ ගන්න. එතකොට, පේනවා. දැන් අපට ළඟ තියෙන ඇහැ දකින්න කොච්චර රවුමක් යන්න ඕනැ ද? ළඟ තියෙන ඇහැ දකින්න මහ ලොකු රවුමක් යන්න ඕන. මේ ලොකු රවුමක් යන්නට වුණේ, අපට ඇහැ කවදාකවත් ඇහැට පේන්නේ නැති නිසා. ඇහැ කියලා කථා කළේ මේ ශාසනයේ අප දන්න ඇහේ සීමාව නෙවෙයි.

එතකොට, ඇහැ කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? මේ බාහිර වර්ණ සටහන පතිත වන බව, ගෝචර වෙන බව තියෙනවානම්, අධ්‍යාත්මික පැත්තෙන්, ප්‍රසාදවත්බව , අන්න එතැනට කිව්වා ‘ඇහැ’ කියලා. ඇහේ ලක්ෂණය තමයි, දර්ශනය වන කෘත්‍ය පෙනෙන බව සකස් කරනකම. දකින්න කලින් ඇහැ තිබුණත් නෙවෙයි, දැක්කයින් පසුව ඇහැ තියෙනවත් නෙවෙයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඇහැ පිළිබඳව දේශනා කළ ඇහේ ස්වභාවය. ඒක බොහොම සියුම් කාරණාවක්. ඒ කියන්නේ අප අද සම්මුති වශයෙන් දකින, ඉපදුන දවසේ ඉදලා තිබිලා , මරණයට පත්වෙන කොට, නැතිවෙලා යන ඇහැක් ගැන නෙවෙයි මේ කථා කරන්නේ. මේ කථා කරන්නේ ප්‍රසාද මට්ටමෙන් , මේ මොහොතේ උපදින ඇහැක් පිළිබඳව.

බාහිර වස්තුවක් මතට වර්ණ සටහනක් පතිත වෙලා, ආලෝකයක් පතිත වෙලා ඒ ආලෝකය පරාවර්තනය වෙන කොට, ඇහැ පැත්තට, ඇහැට පතිත වෙනකොට, අන්න ඒ වර්ණ සටහන ගෝචර කරගන්න මට්ටමක් තියෙනවා නම්, ගැටෙන බවක් තියෙනවා නම්, ඒ වර්ණ සටහන ගෝචර කරගන්න බවට කිව්වා, ඇහැ කියලා, අධ්‍යාත්මික පැත්තෙන්. වර්ණ සටහනට කිව්වා, රූපය කියලා. එතකොට ඇහැ සහ රූපය . මේ ඇහැ තුළ පුද්ගලයෙක් හිටියත් නෙවෙයි, රූපය පැත්තෙන් පුද්ගලයෙක් හිටියත් නෙවෙයි, මේ අනාත්ම ධර්මතාවයක් තියෙන්නේ. ඒ නිසා දැන් ඇහැ, රූප දෙකම හටගෙන ඉතුරු නැතිව මේ මොහොතේ වැය වන ධර්මයක් තියෙන්නේ. ඒ කියන්නේ ක්ෂණයක් තුළ ඇස හටගෙන ඉතිරි නැතිව නැතිවෙලා යන ස්වභාවයකින් යුක්ත යි. ඒ ඇහැට පුළුවන්කමක් ඇත්තේ නැහැ, නැවත රූප බලන්න, මොකද? ඒ ඇහැ වැය වෙලා ඉවරයි, රූපය පතිත කරගන්න බවට වැයවෙලා ඉවරයි. ඒ රූපය වැය වෙලා ඉවරයි, ඇහැට පතිත වෙන බවට, එතකොට, ගොඩක් දෙනෙක් මේ කාරණාව අද දවසේ දී වරදවා ගන්න කාරණයක්. ඒ කියන්නේ, බාහිර සතර මහා ධාතු රූපය තියෙනවා කියලා, ඇති බවට ගත්ත දෘෂ්ටියක තමයි, අප ඔක්කොම ජීවත් වෙන්නේ. ඒ කියන්නේ, රූපය එළිය තියෙනවා කියලා හිතාගත්ත, එක විදිහට පවතින, එක දිගට තියෙන රූපයක් ගැන හිතමින් තමයි, අප අද දවසේ අපේ ජීවිතය ගොඩ නඟලා තියෙන්නේ. ඒකට කියනවා, ශාස්වතය කියලා. ඒ වගේම කෙනෙක් හිතනවා බාහිර රූපය නෑ කියලා. ඒකට කියනවා, උච්ඡේදය කියලා. එතකොට, මේ ශාස්වතය සහ උච්ඡේදය කියන මේ අන්ත දෙකටම නොවැටි තමයි, බුදුරජාණන් වහන්සේ අපට ධර්මය දේශනා කළේ.