තෙවළා බුදු වදන් අතරින් 22:
දුර්වල
මනෝභාවයන් සතුට දුරලයි
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි කලහකාරීව හැසිරුණු
භික්ෂූන් වහන්සේලා පිරිසක් අරභයා කෝසම්බිය සූත්‍රය දේශනා කළහ. මැඳුම් සඟියේ එන මෙම
සූත්‍ර දේශනාවෙහි ඇතුළත් කරුණු අතුරින් සමගිය පිණිස හේතුවන කරුණු හය බෙහෙවින්
වැදගත් වේ. ගිහි වුව ද, පැවිදි වුව ද, අසමගිව, වර්ගවාදීව, පිල් බෙදී එකිනෙකා සමගින්
රණ්ඩු දබර කරගැනීම අධ්‍යාත්මික මෙන්ම, භෞතික දියුණුවට ද බලවත් බාධක ය.
පුහුදුන් මිනිසා නොයෙක් හේතු සාධක පදනම්කරගෙන අන්‍යොන්‍ය වශයෙන් ගැටුම් ඇතිකර ගනී.
ඇතැම් විටෙක මෙම ගැටුම් ජීවිත හෝ දේපළ විනාශයකින් අවසන් විය හැකි ය. ගැටුමට
තුඩුදුන් හේතු සාධක සියුම්ව විමසා බැලීනම් එවැනි ඛේදජනක ඉරණමකින් ඒ සියල්ල කෙළවර
නොවනු ඇත. බොහෝ දෙනෙකුට ගැටුමට හේතුව වැටහෙන්නේ එය සිදුවී අවසානයේ ය. ආවේගවලට
යටත්ව, වහලෙකු ලෙස හැසිරෙන්නාට තමා කළ ක්‍රියාවේ බරපතල බව වැටහෙන්නේ එම චිත්ත ආවේග
සංසිඳුණු මොහොතක ය. විවිධ හේතු නිසා එකිනෙකා අතර නොගැලපීම් හා නොරුස්නාකම් ඇති වේ.
එහෙත් එම දුර්වල මනෝභාවයන් වර්ධනය වීමට ඉඩ දුනහොත් එයින් මහා විපතක් සිදු වේ. මෙය
පුද්ගලික මට්ටමෙන් පමණක් ම නොව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ද සාධාරණ වේ.
කොසැඹෑ නුවර ඝෝෂිතාරාමයේ විසූ භික්ෂූන් වහන්සේලා අතර ඇතිවූ කෝලාහලයට හේතුව දක්වන්නට
හෝ හේතු පැහැදිලි කරන්නට උත්සුක නොවී ඔවුනොවුන් සමඟ වාද විවාද කළ බව සූත්‍රයේ සඳහන්
වේ. මෙය වැදගත් කරුණකි. මෙම භික්ෂු පිරිස ඔවුනොවුන් හා දබර කළේ සැබැවින්ම හේතු
කාරණා දැනගෙන නොවේ. ඇතැම් විට එය දැනගෙන සිටිය ද ඒ ගැන පැහැදිලි කිරීමට කිසිවෙකුත්
උනන්දුවක් දක්වා නොමැත. කලහයට හේතුව පැහැදිලි කිරීම තබා ඒ ගැන විමසා බැලීමට අදහසක්,
සිතක් එම භික්ෂූන්ට නොතිබුණ බව සූත්‍රාගත සාධක මගින් පැහැදිලි වේ (සූත්‍රයේ කලහයට
හේතුව නොදැක්වුවද අට්ඨකථාව ඒ ගැන සඳහන් කරයි.). කලහය ඇතිවීමට තුඩුදුන් හේතුව
මැනවින් නොදැන, ඒ ගැන පැහැදිලි කිරීමකුත් නොකර කලහ කිරීම සුදුසු නොවන බව බුදුරජාණන්
වහන්සේ ඔවුන්ට පැහැදිලි කළහ. අනතුරුව එම කලහකාරී භික්ෂු පිරිසේ සමගියට හේතුවන කරුණු
හයක් පිළිවෙලින් පැහැදිලි කළහ.
ඒ අනුව (1) තමන් හා එකට බඹසර හැසිරෙන සහෝදර භික්ෂූන් ඇති තැනදීත්, නැති තැනදීත්
කයින් මෙත්සිත පෙරදැරිකරගත් හැසිරීමෙන් යුක්ත වීම, (2) සහෝදර භික්ෂූන් අභිමුඛයේ
මෙන්ම අනභිමුඛයේදීත් මෙත්සිත පෙරදැරිකරගත් වචන භාවිත කිරීම, (3) සබ්‍රහ්මචාරීන්
ඉදිරියේ මෙන්ම ඔවුන් ඉදිරියේ නොමැති විට ද මෙත් සිත් පෙරදැරිව කටයුතු කිරීම, (4)
පාත්‍රයට ලැබෙන පිණ්ඩපාතය ආමිෂ වශයෙන් හෝ පුද්ගල වශයෙන් කිසිදු භේදයක් නොමැතිව
සබ්‍රහ්මචාරීන් සමඟ බෙදා ගැනීම, (5) පිරිසුදු ශිලයෙන් මෙන්ම චර්යාවෙන් සහෝදර
සිල්වත් භික්ෂූන් සමග සමානව වාසය කිරීම (6) නිවනට පමුණුවන යම් සම්‍යග්දෘෂ්ටියක් වේද
සහෝදර සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ මෙන්ම ඔවුන් නොමැති විටද එකී සම්‍යග්
දෘෂ්ටියෙහි පිහිටා කටයුතු කිරීම යනු එම පිළිවෙත් හයයි. යථෝක්ත පිළිවෙත් හය කවුරුත්
සිහිපත් කරන, ප්‍රිය කරන, ගරු කරන, අවිවාදය පිණිස පවතින, සමගිය පිණිස පවතින, එක්ව
වාසය සඳහා පවතින ප්‍රතිපත්ති හයක් ලෙස බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ. තවදුරටත්
කලහකාරී භික්ෂූන්ට අනුශාසනා කළ තථාගතයන් වහන්සේ මෙම ප්‍රතිපත්ති හය අතුරින් හයවන
සම්‍යග්දෘෂ්ටිය ඉතා වැදගත්, වඩාත් උතුම් පිළිවෙත යැයි පැහැදිලි කළ සේක.
ඝෝෂිතාරාම වාසී කලහකාරී භික්ෂූන් සඳහා දේශනා කළ මෙම සූත්‍ර දේශනාව හුදෙක් පැවිදි
සමාජයට පමණක් නොව ගිහි සමාජයේ සමගිය පිණිස ද හේතු වේ. යට දක්වන ලද ප්‍රතිපත්ති
හයෙන් පළමු තුන මෙත් සිතින් ක්‍රියාකිරීමේ වැදගත්කම අවධාරණය කරයි. කෙනෙකු
අන්‍යයන්ගේ සිත් රිදවෙන අයුරින් තම චර්යාව හා කථාව සිදුකරන්නේ නම් එහිදී අන්‍යොන්‍ය
සමගියක් අපේක්ෂා කළ නොහැකි ය. කයින්, වචනයෙන් පමණක් නොව සිතින් ද අන්‍යයන්ට අහිත
පිණිස කල්පනා කිරීමත් නො කළයුතු ය. වෛරය සිතෙහි පැලපදියම් වූ විටෙක පුද්ගලයා එය
තිදොරින්ම ප්‍රකාශ කරයි. ඇතැම් විට කෙනෙකු අභිමුඛයේ දී එය ප්‍රකට නොකළත්
අනභිමුඛයෙහි එය ප්‍රකට කරනු ඇත. බුදුරදුන් මෙහිදී පෙන්වා දෙන්නේ කෙනෙකු කෙරෙහි වන
හිතානුකම්පීබව හෙවත් මෙත් සිත ප්‍රකටව මෙන්ම අප්‍රකටවත් නැතහොත් ප්‍රසිද්ධියේ මෙන්ම
අප්‍රසිද්ධියේත් ක්‍රියාවට නැංවිය යුතු බවයි. වෙහෙරක මෙන්ම නිවෙසකත්, වෙනයම් හෝ
ආයතනයකත් වැඩ සිටින පැවිද්දන් අතර මෙන්ම නිවැසියන් හා කාර්යමණ්ඩල අතරත් විවිධ
ගැටුම් ඇතිවන්නේ මෙසේ ප්‍රකටව මෙන්ම අප්‍රකටවත් වෛර සිතින් කටයුතු කිරීම නිසයි.
බුදුසමය මෙහිදී යෝජනා කරන්නේ වෛර සිත වෙනුවට මෙත්සිත පතුරුවා වැඩ කිරීමයි.
සිව්වන පිළිවෙත ද ගිහි පැවිදි භේදයකින් තොරව ක්‍රියාවට නැංවිය යුතු යහපත්
පිළිවෙතකි. ලැබෙන නොයෙක් භෞතික දෑ පමණක් නොව වරප්‍රසාද හා අයිතිවාසිකම්ද සැමට
සාධාරණ විය යුතුවේ. අන් අය නොසළකා එක් අයෙක් පමණක් ඒ සියල්ල භුක්තිවිඳීනවිට
අන්‍යයන්ගේ සිත් තුළ වෛරය, ද්වේෂය කළකිරීම ඇතිවීම සාධාරණ ය. එවැනි පිරිසක් වෙසෙන
තැනක සාමයක් අපේක්ෂා කළ නොහැකි ය. භික්ෂුව තම පාත්‍රයට ලැබෙන පිණ්ඩපාතය වුව ආමිෂ හා
පුද්ගල භේදයකින් තොරව තමන් හා එක්ව වෙසෙන සබ්‍රහ්මචාරීන් සමග බෙදාගතයුතුය යන නියමය
පෙරටත් වඩා වර්තමානයට බෙහෙවින් වැදගත් වේ. භික්ෂු සමාජයෙන් මෙම ආකල්පය ක්‍රමයෙන්
ගිලිහී යන විට ආරාමික අර්බුද නිර්මාණය වේ. අට්ඨකථාවෙහි “සාරාණීය ධර්ම පිරීම” යන
පිළිවෙත යටතේ ඉතා විසිතුරු මෙන්ම නිදසුන් කථා සහිත විවරණයක් දක්නට ලැබේ. එය
පිළිවෙතක් ලෙස අනුගමනය කරන අයුරුද එහි සැකෙවින් විස්තරකොට ඇත. සාරාණීය පිළිවෙත ගිහි
සමාජයටද සාධාරණ ය. දානය හෙවත් අන් අය හා බෙදා ගැනීම යනු පුද්ගලික මට්ටමෙන් පමණක්
නොව රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාවට නැගිය යුතු යහපත් චාරිත්‍රයක් වේ. රටක පුරවැසියන්
සියලු දෙනාට ම එම රටේ සම්පත් සාධාරණව බෙදි යායුතු වේ. භෞතික සම්පත් මෙන්ම වරප්‍රසාද
ද සාධාරණව බෙදා ගන්නා විට එම රටෙහි වෙසෙන විවිධ ජනවර්ග අතර මෙන්ම විවිධ සංස්කෘතීන්
නියෝජනය කරන පුරවැසියන් අතර සන්නද්ධ අරගල හෝ අයිතිවාසිකම් ඉල්ලා කෙරෙන සටන් දක්නට
නොලැබෙනු ඇත.
පස්වැන්නෙන් විනය ගරුක පිළිවෙත පැහැදිලි කෙරේ. කෙනෙකු සෑම අතින්ම විනය ගරුක වනවිට
අර්බුද ඇති නොවේ. ශීලය යටතේ අවධාරණය කරන්නේ විනයගරුක වීමේ වැදගත්කම යි. බුදුරදුන්
මෙම කරුණු හය අතරින් සම්‍යග් දෘෂ්ටිය වඩාත් උතුම්යැයි දේශනා කරනු ලැබුවේ එය සියල්ලට
ම පදනම වන නිසයි. දෘෂ්ටිය හෙවත් දැක්ම යහපත් වන විට එයට සමගාමීව සංකල්ප හා සිතිවිලි
ද යහපත් වේ. සිතිවිලි ආකල්ප විශ්වාස යහපත් මෙන්ම නිවැරැදි වන විට පුද්ගල චර්යාව ද
නිරායාසයෙන් ම යහපත් වේ. කෙනෙකුගේ දෘෂ්ටිය අයහපත් වන විට ඒත් සමගම සෙසු
ක්‍රියාකාරකම් ද අයහපත් වේ. මේ අනුව අවසන් කරුණෙන් බුදුරදුන් අවධාරණය කළේ සාමය සඳහා
නිවැරැදි දැක්මක් සහිත චින්තනයක අවශ්‍යතාව යි.
කෝසම්බිය සූත්‍රයේ අන්තර්ගතය පැවිදි සමාජය අරමුණුකරගත්තද, එහි විශ්වීය වටිනාකම සුළු
කොට සැළකිය නොහැකි ය. කුඩා සමාජයක් වන පැවිදි සමාජයෙන් ඔබ්බට ගොස් එහි විශ්වීය
අදාළත්වය ගැන කල්පනා කරන්නේ නම් එය රටක් අභ්‍යන්තරයේ පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්
මෙන්ම ගෝලීය වශයෙන් ද තිරසාර සාමයක් ගොඩ නැගීම උදෙසා ආදර්ශ කොටගත හැකි ය. එහෙත් එකී
ගෝලීය සාමයේ හා සමගියේ බීජ මැනවින් වැඩෙන්නේ සම්‍යග්දෘෂ්ටිය පෙරටුකරගත් හිතානුකම්පී
බවේ සීතල ජලයෙන් තෙත්වූ නිවැරැදි චින්තනය නමැති සරු කෙතෙහි ය. |