ගොපලු පෙහෙවස
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ
ධම්මික නා හිමි
සැබෑ උපෝසථයක් යනු කුමක් ද? යන්න අංගුත්තර නිකායේ තික නිපාතයෙහි අඩංගු ධර්ම
කොට්ඨාසයකින් පෙන්වා දේ. ඒ වගේ ම ඒ උපෝසථ දිනය හෙවත් පොහොය දිනය අවබෝධයෙන් හා
අර්ථාන්විතව, දහම් මඟ දක්නා පිළිවෙත් මාර්ගයකින් යුතුව ගත කරන්නේ කෙසේ ද යන අදහසත්
පෙන්වා දෙයි.
වර්තමානයෙහි පුර පසළොස්වක පෝය දිනයට පමණක් නොව සතර පෝයට ම සිල් සමාදන් වන පිරිස් ද
බොහෝ සෙයින් දක්නට ලැබේ. විශේෂයෙන් ම පසළොස්වක පෝය දිනවල බොහෝ විහාරස්ථානවල අඩුම
තරමේ සිය ගණනක් හෝ සීලයේ පිහිටා සමාධිය ප්‍රඥාව වඩනවා; යන ස්ථානයට යොමු වී සිටින
බවත් පැහැදිලියි. එහෙත් ඒ අතර තමන් සමාදන්ව ගත කරන ඒ උපෝසථ දිනයෙන් උතුම් ම
ප්‍රයෝජනයක්, ඵලයක් ලබනවා ද කියන කරුණ ගැනත් විමසිලිමත් විය යුතුයි. එයට හේතුව
සියලු දෙනා ම නොවුණත්, යම් පිරිසක් සිල් පද සමාදන්ව, එහෙත් ආරක්ෂා කිරීම පිළිබඳ හෝ
සිල්පද ආරක්ෂා කිරීමෙන් බලාපොරොත්තුවන ඵලය කුමක් ද? යන අදහසින් තොරව කාලය ගත කරන
බවත් දක්නට ලැබේ.
උපෝසථ දිනයෙහි සීලයෙහි පිහිටා පිළිවෙත් මාර්ගය අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු
වෙන්නෙත් සමාධිය දියුණු කරගෙන සම්‍යග් ප්‍රඥාව ඇතිකර ගැනීමයි. කෙටියෙන් සඳහන්
කරන්නේ නම් ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සංසිඳවමින්, බැහැර කරමින් චතුරාර්ය සත්‍ය
ධර්ම අවබෝධය පිණිස මාර්ගය සකසා ගැනීමයි. එනම් මාර්ගඵල අවබෝධය පිණිස කටයුතු කිරීමයි.
සාමාන්‍ය ජීවිතයේ පවත්වන ගිහි ගෙදර තිබෙන සම්බාධකයන්ගෙන් හා එදිනෙදා බොහෝ
කටයුතුවලින් බැහැරව සංසුන් පරිසරයක් ඇති විහාර භූමියකට හෝ හුදකලා ස්ථානයකට ගමන්
කිරීමෙන්, තමන් අධිෂ්ඨානයෙන් යුක්තව සමාදන්වන්නා වූ සීලයේ පිහිටා එය, අත්වැළක්
කොටගෙන කුසලාරම්මනයෙහි සිහිය පවත්වන්නත්, කුසලාරම්මනයෙහි සිහිය පවත්වා ගැනීම නිසා
සංසිඳුණු මනසින්, පිරිසුදු වූ සිතින් සම්‍යක් ප්‍රඥාත් දියුණු කරගත හැකියි.
එනම් සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි, යන අදහස ඔස්සේ සියලු කර්මයන්ගේ ක්ෂය
කිරීම, බැහැර කිරිම පිණිස මාර්ගය සකසා ගත හැකියි. ඒ වෙනුවෙන් උපෝසථ දිනය ගත කරන
සියලු දෙනාම අරමුණු පවත්වනවා ද කියන කරුණ මෙම ලිපිය කියවන ඔබ, ඔබ විසින් ම ඔබ
තුළින් විමසා බැලිය යුතුයි. කෙසේ වෙතත් උපෝසථ දිනයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ
අයුරින් අර්ථාන්විතව කෙසේ ගත කරගත යුතු දැයි මෙම දහම් කතාවෙන් ඔබට පෙන්වා දෙන්නට
කැමැතියි. උපේක්ෂා සහගත සිතකින් මේ ගැන ඔබ කියවනවා වගේ ම මෙනෙහි කොට බලන්න. මෙයට
සම්බන්ධ වූ නිධාන කථාව මේ ආකාරයෙනුයි.
“දිනක් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩ වාසය කරනවා. මිගාරමාතා
නම් වූ විශාඛා උපාසිකාව උපෝසථ දිනයක භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මනාකොට වන්දනා
කොට එකත් පසක වාඩි වුණා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ ප්‍රශ්න කළ සේක. විශාඛාවෙනි, මේ
වෙලාවෙහි නුඹ කොහේ සිට පැමිණියේ වෙයි ද? භාග්‍යවතුන් වහන්ස, අද පෙහෙවස් සමාදන් වන
දවසයි. මම පෙහෙවස් සමාදන්ව උපවාස කරමි. විශාඛාවෙනි, පෙහෙවස් නැතිනම් උපෝසථ තුන්
ආකාරයකින් පවතිනවා. කවර ආකාරයක තුන් දෙනෙක් ද යත් “ගෝපාලඛ උපෝසථය, නිගන්ඨ උපෝසථය හා
ආර්ය උපෝසථය” යනු වෙනුයි.
භාග්‍යවතුන් වහන්සේ මේ උපෝසථ තුන මෙසේ විස්තර කළ සේක. විශාඛාවෙනි, ගෝපාලඛ උපෝසථය
මෙයාකාරයෙන් විස්තර වේ. “යම් පරිදි ගොපල්ලෙක් සවස් කාලයේ ගවයන් හිමිකරුට ගවයන්
ගෙනගොස් බාර දී මෙසේ කල්පනා කරනවා. අද ගවයෝ අසවල්, අසවල් තැන තෘණ කෑවා. අසවල් අසවල්
ස්ථානයන්ගෙන් වතුර බීවා. හෙට දවසේ ත් ගවයෝ අසවල් අසවල් තැන්වලට දක්කාගෙන ගොස් තෘණ
කන්නට සලස්වනවා. අසවල් අසවල් තැන්වලට වතුර බොන්න දක්කාගෙන යනවා.” විශාඛාවෙනි,
එපරිදිම මේ පෙහෙවස් සමාදන් වෙන යම් කෙනෙක් මේ ආකාරයට සිතනවා. මම අද දවසේ මෙවැනි
ආහාර කෑමට ගත්තා. නැතිනම් භුක්ති වින්දා. මම මෙන්න මේ වගේ බීමට දේ ගත්තා. හෙට දවසේ
ත් මේ වගේ දෙයක් මම කෑමට ගන්නෙමි. මේ වගේ දෙයක් බීමට ගන්නෙමියි. මේ ආදී වශයෙන් මේ
අය ලෝභයෙන්, දැඩි ආශාවෙන් යුක්තව කන, බොන දේ ගැන සිතමින් දවස ගත කරනවා. විශාඛාවෙනි,
මෙය හරියට ගොපල්ලා ගවයන්ට කුමන ස්ථානයකින් තෘණ හා ජලය ලබා දෙන්නේ දැයි සිතමින්
සිටිනා සේ කාලය ගත කිරීමක් වැනි ය. ‘ගෝපාලඛ පෙහෙවස’ කියා හඳුන්වන්නේ ය.
විශාඛාවෙනි, මේ පරිදි සමාදන්වෙන උපෝසථය ‘ගෝපාලඛ පෙහෙවස’ වෙනවා නම් එය මහත්ඵල වෙන්නේ
නැහැ. මහානිසංස වෙන්නෙත් නැහැ. එය මහා ජූතික හෝ මහා විප්පාරෝ බවට පත්වන්නෙත් නැහැ.
විශාඛාවෙනි, ‘නිගන්ඨ උපෝසථය’ ගැන පෙන්වා දෙන්න කැමැතියි. එය කුමක් ද? විශාඛාවෙනි,
නිගන්ඨ නම් වූ මහණ පිරිසක් සිටිනවා. ඒ නිගන්ඨ පුද්ගලයෝ ඔවුන්ගේ ශ්‍රාවකයෝ මේ ආකාරයට
සමාදන් කරවනවා. එම්බා පුරුෂය මෙහි එන්න. නුඹ මේ පෙරදිග යොදුන් සීයයක ප්‍රමාණයේ
ප්‍රාණීන් වෙත් ද? ඔවුන් කෙරෙහි දඬු මුගුරු දරන්න එපා. ඔවුන්ට කරදර කරන්න එපා.
බටහිර දිග යොදුන් සියයක් කෙරෙහි යම් ප්‍රාණීහු සිටිත් නම් ඔවුන් කෙරෙහි දඬු බහා
තබන්න. ඔවුන්ට කරදර කරන්න එපා. මේ ආකාරයට උතුරු දිග, දකුණු දිග යම් වූ ද ප්‍රාණීන්
වෙත්නම් ඔවුන් කෙරෙහි දයා පිණිස, අනුකම්පා පිණිස සමාදන්ව සිටින්න. ඇතැම් ප්‍රාණීන්
හට දයාවක් නැතිව වාසය කරන්න. අනුකම්පාවක් නැතිව වාසය කරන්න උගන්වන අතර, එක්තරා
සීමාවකට යටත් කොට කොටසකට පමණක් දයාව, අනුකම්පාව දක්වා කටයුතු කරන්න උගන්වනවා. ඒ අය
පොහොය දිනය පැමිණි විට තම ශ්‍රාවකයන් කැඳවා මෙසේ පවසනවා. නුඹ හැම වස්ත්‍ර බහා තබලා
මෙසේ පවසන්න. මමත් කිසිදු යමකින් කරදරයක් වන්නේ නැහැ. මාගේ ඇතුළත හෝ කිසිදු තැනක
බාහිර වස්තු එනම් ඇඳුමක් නිසා හෝ කරදරයක් නොවන්නෙමියි, නිර්වස්ත්‍රව සිටින්නට
උත්සාහ කරනවා. සමාදන් කරවනවා.
මෙම ධර්ම කොටස තරමක් පැහැදිලි කරගත යුතුයි. මුලින් සඳහන් කළ ගෝපාලඛ හෙවත් ගොපලු
පෙහෙවසත්, මීට ටිකක් සමානයි. සීලයේ පිහිටන්නට පැමිණි යම් කෙනෙක් වචනයෙන් සීලය කියා
අර්ථය මෙනෙහි නොකොට කාලය ගත කිරීම සිල් සමාදන් වීමෙන් බලාපොරොත්තුවන ඵලයත් ලබාගන්නට
බැහැ. එනම් කුසලාරම්මනයේ සිහිය පිහිටුවා සමාධිය දියුණු කර ගැනීමක් හෝ සම්‍යක්
ප්‍රඥාව ඇතිකර ගැනීමට හේතුවක් කරගන්නේ නැහැ. එයට හේතුව සමාදන් වූ සීලය පිළිබඳවත්
නිසි අවබෝධයක් ඔවුන්ට නැති නිසයි. විශේෂයෙන් ම වර්තමාන පරිසරය තුළ සියලු දෙනා ම
නොවුණත් බොහෝ පිරිසක් සීලයේ පිහිටා සිටියත් නිරන්තරව කතා කරමින් සිටින්නට පුරුදු වී
සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.
ධර්ම සාකච්ඡාවක් සිදුකිරීම වරදක් වෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡාව කළ යුතුමයි. නමුත්
බොරු කියැවෙන්න පුළුවන්. කේළාම් කියැවෙන්න පුළුවන්. පරුෂ වචන කියැවෙන්නත් පුළුවන්.
විශේෂයෙන් ම හිස් වචන බවට පත්වෙන්නට හැකි දේ ගැන කතා කරමින් සිටීම සීලයට, සමාධියට,
ප්‍රඥාවට මහත් වූ බාධාවකි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ “ධම්මී වා කථා අරියො වා
තුණ්හීභාවෝ” කතා කළ යුතු නම් ධර්මානුකූල කතාවක් කරන්න. එසේ නැති නම් නිශ්ශබ්දව
සිටින්න. ඒ නිශ්ශබ්දව සිටීමත් ආර්ය නිශ්ශබ්දතාවයක් විය යුතුයි. එසේ නැතිනම් නම්
නිශ්ශබ්දව සිටියත් ලෝභ, ද්වේෂ, මෝහයන්ට හෙවත් කෙලෙස්වලට හසුවෙන දේ සිතින් සිතමින්
කාලය ගත කළ හැකියි. මේ නිසා නිශ්ශබ්දව සිටියත් බුදුගුණ, සදහම් ගුණ, ආර්ය සඝ ගුණ හෝ
මෙනෙහි කිරීමක් කළ යුතුයි. එසේ නැතිනම් සීලය, චාගය, පිළිබඳව මෙනෙහි කිරීමක් කළ
හැකියි. දස අනුස්සති ධර්මයක් ම මෙනෙහි කළ හැකියි. ධර්මය ම මෙනෙහි කරමින් භාවනාවක්
සෙයින් සිහිය පිහිටුවාගෙන සිටිය හැකියි.
එසේ ම තවත් කෙනෙක් තමන් ආහාරයට ගත් දේ, බීමට ගත් දේ මෙනෙහි කරමින් එය පරිත්‍යාග කරන
ලද අය ගැන සිතමින් කාලය ගතකරමින් ලෝභ, ද්වේෂ, මෝහ සංසිඳවීමක් නොව අභිජ්ජා හෙවත්
තවදුරටත් විෂම වූ ලෝභයක් දියුණු කර ගැනීමත් වෙන්නට පුළුවනි. කිසිදු ආකාරයකින් ආහාරය
මුල් කොටගෙන රස තෘෂ්ණාවක් ඇති නොකර ගත යුතුයි. ආහාර අවශ්‍ය කරන්නේ නූපන් කුසගිනි
නූපදවා, උපන් කුසගිනි බැහැර කරගෙන කායික, මානසික ශක්තිය ලබාගෙන බ්‍රහ්මචරියාවෙන්
නිවන අරමුණු කරන සිල්වත් වූ ජීවිතයක් ගත කරන්න. මේ නිසා තමන්ට ලැබුණු ආහාරය හෝ
තමන්ට නොලැබුණු ආහාරය හෝ තමන්ට වැඩියෙන් අන් අයට ලැබුණු ආහාර හෝ වෙනදාට වඩා සුදුසු
නොවූ ආහාර හෝ එසේ නැතිනම් වෙනදාට වඩා රසවත් වූ ආහාර ලැබුණා යැයි වශයෙන් සිතමින් ඒ
ගැන සංවිධානය කරමින්, සැලසුම් කරමින් කාලය ගත කිරීම ගොපලු පෙහෙවස හෙවත් ගොපල්ලාගේ
උපවාසය, එනම් සිල් සමාදන් වීම ලෙස දැක්වූ කරුණට ගළපා ගත හැකියි.
- දීපා පෙරේරා |