Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: වගවලසුන් පිරි වනදහනක් බඳු මිනිස් සිත

වගවලසුන් පිරි වනදහනක් බඳු මිනිස් සිත

" සර්පයන්ගේ දළෙහි පවතින විෂ අනුව කළ වර්ගීකරණය මිනිසාගේ දැමුණු හා නොදැමුණු සිත හා සමාන ය. සර්පයා දෙස බැලූවිට ඌට වැදගත් වන්නේ තම දළෙහි පවතින විෂ ය. මිනිසාට වැදගත් වන්නේ දැමුණු හෝ නොදැමුණු තම සිත ය. දළ තුළ පවතින විෂ අනුව සර්පයා වර්ගීකරණය කළ හැකි සේ ම, සිතිවිලිවලින් ග්‍රහණය කරගන්නා අරමුණු අනුව සිදුකරන ක්‍රියාව විසින් පුද්ගලයා ද, යහපත් අයහපත් බවට පත්වෙයි. "

අප ජීවත්වන සමාජයේ මිනිසුන්ට බාහිර වශයෙන් එක සමාන පෙනුමක් තිබුණ ද, ඔවුන් විවිධාකාර ය. විෂම පුද්ගලයෝ ය. රූපකාය හා ඉඳුරන් අතින් සමාන වුව ද, පුද්ගලයා සිතිවිලි අතින් වෙනස් ය.

ගැටලු, ආරවුල්, අර්බුද ජනිත වන්නේ ද සිත හා සිතිවිලි අනුව ය. එකම පංචස්ඛන්ධයක් සහිත මිනිස්සු විවිධ ලෙස සිතන බැවින් සමාජය යනු එක්තරා ආකාරයක සිතිවිලි යුද්ධයකි.සිත පංචස්ඛන්ධයේ ප්‍රධාන භුමිකාව රඟපාන බැවින් සයවෙනි ඉන්ද්‍රිය හැටියට සිත දක්වා ඇත්තේ ද අදෘශ්‍යමානව ය. බොහෝ ප්‍රධානීන් දෘශ්‍යමාන වුව ද, පංචස්ඛන්ධයේ ප්‍රධානියා අදෘශ්‍යමාන ය. එසේ වුව ද, සියල්ලෙහිම කර්තෘත්වය දරන්නේ ඔහු ය. වග වලසුන්ගෙන් පිරි වනදහනක් ලෙස සිග්මන් ප්‍රොයිඩ් ද සිත හැඳින්වූයේ ය. බෞද්ධ වර්ගීකරණය අනුව ද , සිත සමාන කොට ඇත්තේ සර්පයන්ට ය. සිත ද සර්පයා ද සමාන කොට දක්වා ඇත. සර්පයා යැයි කියූ සැනින් චකිතය ද, සැකය ද, බියකරු බව ද සිතට හැඟෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ සිටින සියලුම සර්පයින් කොටස් හතරකට බෙදා දක්වා ඇත.

1. දෂ්ට කරන විට විෂ ඇති වුව ද, දිගටම පවත්නා විෂ නැති සර්පයෝ.

2. දෂ්ට කරන විට විෂ නැති වුව ද විෂ පවත්නා සර්පයෝ

3. දෂ්ට කරන විට විෂ ඇති විෂ සහිත සර්පයෝ

4. කිසිදු අවස්ථාවක විෂක් නැති විෂක් නොපවතින සර්පයෝ

මෙම වර්ගීකරණයට හසු නොවන කිසිදු සර්පයෙක් නැත. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ “ආසිවිස සූත්‍රය” තුළ සර්පයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

පුද්ගල ක්‍රියාකාරකම් සර්පයා ට සමාන කළ හැකිය. ඒ සිතිවිලි ක්‍රියාකාරිත්වය අනුව ය. එසේ ම, මහණෙනි, සර්පයන් සතර දෙනා මෙන් මිනිසුන් ද සිව් වර්ගීකරණයකට බෙදිය හැකි ය.(ඒව මේව ඛො භික්ඛවේ චත්තාරෝ වේ. ආසිවිසෝපම, පුද්ගලා සනෙතා සංචිජ්ජමානා ලෝකස්මිං) මෙහි බාල, මහලු, උස් මිටි, උගත් නූගත්, කුලමල, ජාතිබේද ආදී වු කිසිදු බෙදීම් ක්‍රමයක් නැත. සියලු ම අය මෙම සිවු වර්ගීකරණයෙන් එක ගොඩකට වැටෙති. ඒ අනුව තමා අයත්වන ගොඩ කුමක්දැයි සිතා විමසා බැලීම වැදගත් ය. වර්තමාන සමාජයේ ජීවත්වන බොහෝ මිනිසුන් කටයුතු කරන්නේ තමා කවුද, යන වග නිවැරැදිව හඳුනා ගන්නේ නැතිව ය. ඔබ හඳුනා ගැනීමට අවශ්‍ය අවබෝධය සඳහා සිව් ආකාර මිනිස් වර්ගීකරණය ද දැනගත යුතු ය.

1. සැම විටම කිපෙයි. ක්‍රෝධය රැඳී පවතින්නේ නැත. පළමු සර්පයන් සේ ය.

2. සැමවිටම නොකිපෙයි. ක්‍රෝධය කල් පවතියි. දෙවැනි සර්පයන් සේ ය.

3. සැමවිටම කිපෙයි. ක්‍රෝධය කල් පවතියි. තෙවැනි සර්ප වර්ගය සේ ය.

4. සැම විටම නොකිපෙයි. ක්‍රෝධය නොපවතියි. සිව්වැනි වර්ගය සේ ය.

එම වර්ගීකරණය සෑම පුද්ගලයකුටම වලංගුª ය. ධර්මය පවතින්නේ තමන් සඳහා ය. තමා කවුද? තමාගේ අඩු ලුහුඬුකම් මොනවා ද? ඒවා හදාගන්නේ කෙසේද?, යන ගැටලුවට විසඳුම් සොයා ගැනීම සඳහා ය. එම වර්ගීකරණය පිළිබඳව අවබෝධය ඇතිකර ගැනීම, වඩාත් වැදගත් වන්නේ, අන්‍යයන්ට පැහැදිලි කරදීම සඳහා නොව , ධර්මය තමා සඳහා ම පවතින බැවිනි.

වර්තමාන සමාජයේ ජීවත්වන්නවුන් ධර්ම රාමුව පරිහරණය කරන්නේ අනුන්ගේ වැරැදි සොයා බැලීම පිණිස ය. එය වැරැදි ක්‍රමයකි. ධර්මයේ මිහිර විඳගත යුත්තේ තමා ම ය. ආලෝකය ලබාගත යුත්තේ තමා ම ය. අන්‍යයන්ට කියා දීම හෝ අවබෝධ කරවීමට උත්සාහ ගැනීම හිල් වූ භාජනයක් ජලයෙන් පුරවාලීමට උත්සාහ ගැනීමක් බඳු ය.

සර්පයන්ගේ දළෙහි පවතින විෂ අනුව කළ වර්ගීකරණය මිනිසාගේ දැමුණු හා නොදැමුණු සිත හා සමාන ය. සර්පයා දෙස බැලූවිට ඌට වැදගත් වන්නේ තම දළෙහි පවතින විෂ ය. මිනිසාට වැදගත් වන්නේ දැමුණු හෝ නොදැමුණු තම සිත ය. දළ තුළ පවතින විෂ අනුව සර්පයා වර්ගීකරණය කළ හැකි සේ ම, සිතිවිලිවලින් ග්‍රහණය කරගන්නා අරමුණු අනුව සිදුකරන ක්‍රියාව විසින් පුද්ගලයා ද, යහපත් අයහපත් බවට පත්වෙයි.

මිනිසා සර්ප සිතක් තබාගෙන පන්සලෙහිත් , ආයතනයෙහිත් , නිවසෙහිත් මඟතොටහිත් සැරිසරයි. ඔවුන් දෙස බලන විට එම අභ්‍යන්තරය නොපෙනෙයි. සිත මුළාවන්නේ එම රූපස්කන්ධය දෙස බැලීමෙන් ය. ඇතැම් විට එම මුළාව ඇසුරකට පොලඹවයි. එම අල්ලාගැනීමෙන් දුක ශෝකය උරුම වෙයි. ලස්සන බව ප්‍රකාශ කරමින් අල්ලා ගනු ලබන්නේ වර්ණයන් ය. වර්ණයට අමතරව යමක් වේ නම්, ඒ මනසේ ඇති කරගන්නා වූ සංකල්පයන් ය.