Print this Article


ඒහි පස්සික 02: අතහැරිය යුතු ගේ දොර ඉඩකඩම් ද?

අතහැරිය යුතු ගේ දොර ඉඩකඩම් ද?

දිනක් එක් බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ මෙසේ සඳහන් කරනවා. මා ගිහි ජීවිතයෙන් සම්පූර්ණයෙන් අයින්වෙලයි සිටින්නේ. ව්‍යවහාර සමුච්ඡේද කරලයි තියෙන්නේ. මා ලෞකික දේ අතහැරලයි සිටින්නේ යනුවෙන්.

ඉතින් මේ බ්‍රාහ්මණයා අතහැර තිබුණේ ගේ දොර, යාන වාහන, ඉඩකඩම් , ව්‍යාපාර වැනි දේ. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල බුදු නුවණින් දුටු නිසා මේ බ්‍රාහ්මණයාට උන්වහන්සේ ආමන්ත්‍රණය කළේ ගිහියා යනුවෙන්. නැතිනම් ගැහැවිය කියල. එහෙම ආමන්ත්‍රණය කළ විට මේ බ්‍රාහ්මණයාට තරහ ඇවිත් බුදුරජාණන් වහන්සේට කියනවා මා ගිහියෙක් නෙවෙයි, ව්‍යවහාර සමුච්ඡේද කර තිබෙන කෙනෙක් කියලා.

එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය විනයෙහි සමුච්ඡේදය කියා දක්වන්නේ ඉහත කී කරුණු නොවන බව,

ආර්ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේද කියල කියන්නේ අපේ සමහර අය දැනට වුවත් කල්පනා කරනවා, තමාගේ බිරිඳ අතහැර යාම, දරු පවුල අතහැර යාම , ගේ දොර අතහැරයාම ආදිය අතහැරීම කියල.

නමුත් බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කළේ ප්‍රාණඝාතය අතහරින්න. අදත්තාදානය අතහරින්න. කාම මිත්‍යාචාරය අත හරින්න. මුසාවාදය අතහරින්න. සුරාපානය අතහරින්න. පිසුණාවාචය , පරුසාවාචය, සම්පප්ඵලාපය අත හරින්න. අතහැරීමේ අදහස තිබෙනවා නම්, දැඩි ලෝභය, දැඩි ද්වේශය සහ මිථ්‍යා දෘෂ්ඨිය ආදිය අතහරින්නටයි කියල.

ආරම්භයේ දී ම කියන්නේ ප්‍රාණඝාතය අතහරින්න කියලයි. සමහර කෙනෙක් ගෙවල් දොරවල් අතහැර යනවා දකින්නට ලැබෙනවා. එහෙත් ඔහු බොරුකීම අතහැර නෑ. සමහර අය පැවිදි වෙනවා. ඒත් ඊර්ෂ්‍යාව, කුහකකම ආදිය අතහැර නෑ. එබඳු අවස්ථා අප දකිනවා. එසේ නම් අපි අතහැරීම ආරම්භ කරමු.

ඒවාට අප අතහැරීම යැයි කියන්නෙ ඇයිදැයි නුවණින් විමසා බැලීම වටිනවා.

ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර , මුසාවාද , පිසුණාවාච, පරුෂාවාච ,සම්පප්ඵලාප ආදිය සිදු කරන්නේ ඇලීම් සහ ගැටීම් තිබෙන නිසයි. ලෝකය සමඟ ඇලී තිබෙන්නේ කොතරම් ද? ලෝකය සමඟ ගැටී තිබෙන ප්‍රමාණය කෙතරම්ද? ප්‍රාණඝාත,අදත්තාදාන ආදිය ඉතාම වැඩියි. අනෙක අපේ සිතෙහි උපදින්නා වූ අනුසය මට්ටමේ තිබෙන කෙලෙස් ධර්මයන්වලට බාහිර පරිසරයෙන් පෝෂණය ලැබෙන විට ඒවා හිතේ සැඟවී තිබෙන මේ අකුසලයන් ඊට අවශ්‍ය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන බාහිර ආයතනයන්වලින් නොයෙකුත් ආකාරයෙන් ආරම්මණයන් ලැබෙන විට කෙලෙස් මතුවී පැමිණ ඒවා පරිවුට්ඨාන මට්ටමට පත් වෙනවා. ඒ කියන්නේ, හිත නොසන්සුන් කරන තත්ත්වයට පත්වෙලා ඒ සීමාවන් ඉක්මවා ගියවිට හිතේ විශාල විනිශ්චයක් අනුසය වශයෙන් තිබූ කෙලෙස් ධර්ම පරිවුට්ඨාන හෙවත් නොසන්සුන් තත්වයට පැමිණිලා, එය තව තවත් වර්ධනය වෙලා එක්තරා සීමාවකින් එපිට ගියවිට අප ඊට කියන්නේ. දැන් තරහ ආපු කෙනාගේ හිත තුළ තරහ ඇතිවෙන ස්වභාවය තිබෙන කෙනාට කියනවා අනුසය කියල.

සමහර විට සාමාන්‍ය අයෙකුට, ධර්ම දේශනාවක් අහගෙන ඉන්න කෙනකුට තරහ යන ගතිය තිබෙනවා. නමුත් මාත්‍රයක්වත් තරහ නෑ. ගැටෙන අරමුණක් පැමිණි විගස අර තරහ ගතිය උපදිනවා. එහෙම නම් අර ධර්මය අහන වේලාවේ දී තිබෙන අනුසය අවස්ථාව. ඊට පසුව අර ගැටෙන අරමුණක් ආපසු තිබෙන්නේ පරිවුට්ඨාන අවස්ථාව. තරහ ආ පසු ඉවසගෙන ඉන්නවා. ඉවසාගෙන සිටියත් සිත නොසන්සුන්. එය ක්‍රමයෙන් වර්ධනය වී සමහර විට දොස් කියනවා.නැතිනම් පහර දෙනවා. ක්‍රියාත්මක භාවයට පත්වෙනවා. අන්න ඒ ක්‍රියාත්මකභාවය කියන අවස්ථාවට යන විට අපි කියනව වීථික්කමන මට්ටමට ආව කියල.

සාමාන්‍ය සමාජයේ මනුෂ්‍යයා ඒ වෙලාවට කියන්නේ මගේ ඉවසීමේ සීමාව පැන්නා කියල. එසේ නම් අපට මෙහිදී හොඳින් තේරෙනවා මෙසේ පියවර තුනකින් කෙලෙස් ක්‍රියාත්මක භාවයට යනවා කියල.

එසේනම් පරිවුට්ඨාන නැතිනම් නොසන්සුන් තත්වයට පත්වෙලා ක්‍රියාත්මක භාවයට යනතුරු මගේ සිතේ ඒ අකුසලයට එරෙහිව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නෑ. ඒ මනුෂ්‍යයෙකුගේ දුර්වල අවස්ථාවක්. ඒ කියන්නෙ ඒ මනුෂ්‍යයාට තිබෙන ලෝභය, ද්වේෂය වැඩියි. ප්‍රාණඝාත කරල හරි මගේ ලෝභය, ද්වේෂය තෘප්තිමත් කර ගන්න ඕන. හොරකම් කර හෝ, කාමයෙහි වරදවා හැසිරී හෝ මගේ ලෝභය තෘප්තිමත් කර ගන්න ඕන. ඒ අයුරෙන් අපේ සිත ඇතුළෙන් එන ලෝභ, ද්වේෂ, මෝහ ආදිය සිතෙහි තෘප්තිය ඇතිකර ගැනීම සඳහා දැවෙන තත්වයට ඉවත්කර ගැනීමට නිබඳව වෙහෙසෙන කොට ඊට ප්‍රතිවිරුද්ධ කුසලයක් පවත්වා ගන්නට ඕන. ඒකට කියනවා ප්‍රාණඝාතය වළක්වනවා කියල. නැතිනම් ප්‍රාණඝාත විරමණය කියල. හිතේම ඇතිවන නවත්වා ගැනීමේ බලවේගයක් අපේ හිතෙන් ම සකස් වන්නේ නැත්නම් ප්‍රාණඝාතය නතරකර ගැනීමට අවශ්‍ය කරන හැඟීමක් තමන්ගේ හිතේ ඇතිවන්නෙ නැත්නම්, හොරකම් කිරීමට අදහසක් පැමිණි විට එය ඈත් කර ගන්නට තමන්ගෙ හිතේ අදහසක් ඇතිවන්නේ නැත්නම්, ඒ වගේම අනෙකුත් ශික්ෂාපදත් ඒ අයුරෙන් ආරක්ෂා කර ගැනීමට තමන්ගේ හිතේ අදහසක් පහළ වන්නේ නැතිනම්, අප සම්පූර්ණයෙන් සූත්‍ර හෝ අභිධර්ම පිටකය කටපාඩම් කර ගෙන තිබුණත් ප්‍රයෝජනයක්දැයි අප අපගේම මනසින් විමසා බැලිය යුතුයි. එයයි මූලික අතහැරීම වන්නේ, ප්‍රබලව බැඳී තිබෙන දේ අතහරින්න වෙනවා, යම් ප්‍රමාණයකට සීලය ආරක්ෂා කරන කෙනෙකුට පළමු අතහැරීම පාණාතිපාතා ,අදත්තාදාන, කාමේසු මිච්ඡාචාරා , මුසාවාදා, පිසුණාවාචා, පරුෂාවාචා, සම්පප්ඵලාපා ආදිය අතහරින්නැයි සඳහන් කළේ. අප කල්පනාකාරීව සිටිනවා නම්, හිස්වචන අතහරිනවා කියා කල්පනා කරනවා නම් ඒවා හිස් දේවල් යැයි සිතා වැළකී ඉන්නවා.

එහිදී බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ හිස් වචන නතර කර ගැනීම නුවණින් විමසා බැලුවහොත් අපට නොගැලපෙන අනවශ්‍ය තේරුමක් නැති දේ කතා කිරීමෙන් වැළකී සිටීමටයි. ඒ සිල් පදය බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර වදාළ සිල් පදයේ අර්ථය කුමක්දැයි නුවණින් විමසා බැලුවොත් ඒ අර්ථයෙන් අපට උන්වහන්සේ ලබා දුන්නේ නීති පද්ධතියක් නොවෙයි. අප සැනසෙන, කෙලෙස් අඩුකර, අපට සැනසීමකට පත්විය හැකි තත්වයකට පත් කර දුන්නේ.