Print this Article


පූජාච පූජනියනං

වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවනෙහි සත්වන පරිවේණාධිපති ධුරය හොබවන රත්මලානේ පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, දර්ශන විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය උපාධ්‍යාය ධුරන්ධර, අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ, සාහිත්‍ය චක්‍රවර්තී , පණ්ඩිත ශ්‍රී සුමංගල විද්‍යාවතංස ,වයඹ පුත්‍ර අභිනන්දන, දේශ කීර්ති , පර්යාප්ති ශාසන ධ්වජාග්‍ර, සද්ධර්මකීර්ති ශ්‍රී ශාසන ශිරෝමණී ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උතුම් යතිවරයාණන් වහන්සේ නමකි.

1937 පෙබරවාරි මස 20 වැනි දින කුරුණෑගල දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ජෝන් සිඤ්ඤෝ මැතිතුමන්ගේ සහ රත්නායක මුදියන්සේලාගේ ගුණමල් එතනා මැතිණියගේ දරුවන් සත්දෙනා අතුරින් තෙවැන්නා ලෙස පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් ජන්ම ලාභය ලැබූ නාහිමිපාණෝ හුරුක්ගමුව රාජමහා විහාරාධිපතිව වැඩවිසූ හුරුක්ගමුවේ ගුණරතන නාහිමියන්ගේ අවසරය පරිදි පසු කලෙක විද්‍යාලංකාර පස්වන පරිවෙණාධිපති ධූරප්‍රාප්ත විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දෙවන උපකුලපති, සාහිත්‍ය චක්‍රවර්තී, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්දර යක්කඩුවේ ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාරාමාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් විද්‍යාලංකාර පිරුවනට කැඳවා ගෙන එනු ලැබූහ.

විද්‍යාලංකාර පින්බිමෙහි සිදුවූ ආශ්චර්යවත් ත්‍රිපිටක සංගායනාව ද සියැසින් දැක ගැනීමේ වරම් ලැබීමෙන් පසු 1954 ජනවාරි මස 07 වන දින තවත් කුල දරුවන් නව දෙනෙකු සමඟ විද්‍යාලංකාර සිව්වන පරිවෙණාධිපතිව වැඩ විසූ, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති ධූරප්‍රාප්ත, ආගම චක්‍රවර්තී, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්දර කිරිවත්තුඩුවේ ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාසාරාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යාය කොට ප්‍රවෘජ්ජා සම්පත් ලබා විද්‍යාලංකාර ගුරු කුලය එකලු කළ මහා යතිවරුන් යටතේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට පිරුණු විසි වයස් ඇතිව මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාවට පත්වූහ. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ස්වකීය නේතෘ විද්‍යාස්ථානය වූ විද්‍යාලංකාර පිරුවනෙහි අභිවෘද්ධි සාධනයට කැප වූහ.

1963 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවනට අනුබද්ධව පන්නිපිටියේ විද්‍යලංකාර පිරිවන ආරම්භ කරන අවස්ථාවේදී එම කෘත්‍යාධිකාරි ධුරයට පත් නාහිමිපාණෝ කලක් එහි පරිවේණාධිපති පදවිය ද හෙබවූහ. අනුක්‍රමයෙන් විද්‍යාලංකාර පිරිවනෙහි පරිපාලන කටයුතු සඳහා පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් විසින් සිදු කරන ලද නිර්දේශයත්, නාහිමියන්ගේ කෞෂල්‍යයත් කෙරෙහි පැහැදුණු විද්‍යාලංකාර සභාව 1986 දී යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ට පැවරීමට තීරණය කරන ලදී. එනමුත් ආචාර්යවරුන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් ක්‍රියාකළ කුසලධම්ම නාහිමිපාණන්ගේ බලවත් ඕනෑකම නිසා ම එම පදවිය ඒ වන විටත් දැඩි ගිලන් බවින් වැඩ සිටි විද්‍යාලංකාර පිරිවන වෙනුවෙන් මුළු දිවිය ම කැප කළ නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමියන් වෙත පැවරුණි. වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ බලවත් උනන්දුව නිසා ම මල්වතු මහා විහාරයීය විංශද් වර්ගික කාරක සංඝ සභාව මගින් කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ධූරය සහ උපසම්පදා උපාධ්‍යාය ධූරය ගිලන්ව වැඩ සිටි නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමියන් වෙත පුද දෙන ලදී. එම අවස්ථාවෙහි විද්‍යාලංකාර පරිවේණාධ්‍යක්ෂ පදවිය ද උප පරිවේණාධිපති ධූරය ද මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ උප ප්‍රධාන සංඝ නායක ධූරය ද වැලමිටියාවේ නාහිමියන්ට පුදනු ලැබී ය.

1990 විද්‍යාලංකාර පරිවේණාධිපති ධූරප්‍රාප්තව, ඉනික්බිති මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමිපාණෝ විද්‍යාලංකාර පිරිවනෙහි අභිවෘද්ධි සාධනයට කැප වූහ.

වල්පොල රාහුල හිමියන්ගෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ද සම්මානිත වූ නාහිමිපාණෝ බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් ද පුද ලැබූහ. තමා හමුවට පැමිණෙන කාහට වුවත් ආගන්තුක සත්කාර පිරිනමන නාහිමිපාණන් වහන්සේ නිකායත්‍රයෙහිම විහාරස්ථානවල ශාසනික කටයුතු සඳහා නිබඳවම ආරාධනා ලබති. අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීමට ඉමහත් පි‍්‍රයතාවයක් දක්වන නාහිමිපාණෝ අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ වල්බිහිව ගිය මහාදාඨික මහානාග රජ යුගයට අයත් ඉපැරැණි රජ මහා විහාරයකට පුනර්ජීවය සපයමින් එම ග්‍රාමයේ යටිතල පහසුකම් නංවාලීමට සිදු කළ මෙහෙවර ද සුවිශේෂී වෙයි.

රට, දැය සමයේ හා බෞද්ධ අධ්‍යාපනයේ රක්ෂණය පෝෂණය හා අභිවර්ධනය වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් සිල් ගුණ දහම්හි පිහිටා සාධු ජන විහරණයෙන් කටයුතු කරන වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශතවර්ෂාධික කාලයක් ආයුරාරෝග්‍යාදී සකලාභිවෘද්ධිසිද්ධිය වේවා.

****

මාහරගම ශ්‍රී පියරතන නා හිමි

කෑගල්ල, තුම්මුදුන ශ්‍රී වාලුකාරාමාධිපති, මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන් කෘත්‍යාධිකාරි, පහළ දොළොස්පත්තුවේ ද්විතීය අධිකරණ සංඝ නායක, සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද මාහරගම ශ්‍රී පියරතනාභිධාන නාහිමිපාණන් වහන්සේ සිය දිවියෙහි හැත්තෑපස්වන වියට පෙබරවාරි 28 වන දින පා තබති.

දශක හයකටත් වැඩි කාලයක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උන්වහන්සේ කළ ශාසනික සේවය අගයමින් මහා විහාර වංශික සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් පහළ දොළොස්පත්තුවේ ද්විතීය අධිකරණ සංඝනායක පදවියද ප්‍රදානය කරන්නට යෙදුණි.

ගිහි දිවියේ සූරිය පතිරන්නැහැලාගේ රංහාමි නම් කුමරුවන් 1957 දී පැවිදි දිවියට ඇතුලත් වූයේ මාහරගම පියරතන හිමි යන නමින් ය. විරාගල ඉන්ද්‍රජෝති නා හිමි, වීරාගල සිරිනිවාස නා හිමි හා තුම්මුදුනේ පඤ්ඤානන්ද නා හිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පා සෙවනේ වැඩෙමින් කෑගල්ල අලවතුර විද්‍යාවාස මහපිරිවෙන, නාරම්මල දම්පෑලස්ස විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන නා හිමිපාණන් වහන්සේගේ ගුරු භූමීන් වූහ. දායකයන්ගේ සියලු ආගමික කටයුතු ඉෂ්ට කර දෙමින් එම විහාරස්ථාන විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කිරීමට කළ කැපකිරීම අති මහත්ය. සියලු දායකයන්ගේ ජාතික, ආගමික හා සමාජිය එකමුතුකම වෙනුවෙන් චෛත්‍ය පූජා, අසිරිමත් දළදා පූජා, සංඝමිත්තා මහ පෙරහර ආදි ආගමික වැඩසටහන් වාර්ෂිකව සංවිධානය කරමින් බෞද්ධ ප්‍රබෝධය උදෙසා නාහිමිපාණන් වහන්සේ ගන්නා වෙහෙස සුවිසල් ය. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි ද, ඇල්මක් දක්වන නාහිමිපාණන් වහන්සේ 1975 වර්ෂයේ සිට බුදුසරණ පුවත්පතට ලිපි සපයා ඇත. එසේම ගුවන්විදුලි සංස්ථාවේ ගුවන් විදුලි සඟරාවට ද එවකට ප්‍රසිද්ධව තිබූ ගීතාංජලී, නවයුගය වැනි සඟරාවන්ට ද සිළුමිණ වැනි පුවත්පත්වලටද කවි නිර්මාණ ඉදිරිපත් කළහ.

උන්වහන්සේ සිය දිවියෙහි හැත්තෑපස්වන වියට පා තබන මොහොතේ ආශිර්වාද කරනු වස් මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පරිවෙණාධිපති මාහරගම ශ්‍රී පියරතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත හිග්ගොඩ උදයධම්ම හිමියන් හා ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේලා හා දායක දායිකාවන් එක්ව උතුම් වූ ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිම මූලික කරගෙන විශේෂ පින්කම් මාලාවක් පෙබරවාරි 28 වන දින දවස පුරා සංවිධානය කර ඇත.

****

ගිරාඹේ ආනන්ද අනුනාහිමි

අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන සහ පේරාදෙණිය ශ්‍රී සාරානන්ද විද්‍යායතන පිරිවෙන්හි විහාරාධිපතිව වැඩ සිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්දර ශ්‍රී සාරානන්ද ගුණරතන වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ගිරාඹේ ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ අපවත් වී මෙම මස 20 වන දිනට වසරක් සම්පූර්ණ විය.

1938 මැයි මස 19 වන දින කෑගල්ල පොල්ගහවෙල ගිරාඹේ ග්‍රාමයේ දී නාහිමියන් ජන්ම ලාභය ලැබූහ. 1949 අගෝස්තු 26 වන දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්දරව වැඩ සිටි අපවත් වී වදාළ සියඹලන්ගමුවේ ශ්‍රී ගුණරතන නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උන්වහන්සේ ප්‍රවෘජ්ජා භූමියට පත් වී ඇත. සියඹලන්ගමුවේ ගුණරතන අනුනාහිමියන් 1956 දී කවියෙන් බණ කීමේ සම්ප්‍රදාය ආරම්භ කළහ. ගුණරතන නා හිමියන් ආරම්භ කළ ශාසනික සාමාජික කටයුතුවලදි උන්වහන්සේගේ ගමනට යෝධ සෙවනැල්ලක් වූයේ ගිරාඹේ ආනන්ද නාහිමිපාණන් වහන්සේය. 1958 දී උපසම්පදා ශීලයට පත් ගිරාඹේ ආනන්ද නා හිමියන් සංඝ පීතෘවරයෙකි.

ශාසනික දියුණුව ම අපේක්ෂා කළ හ. උන්වහන්සේ පරාර්ථය උසස් කොට සැළකූහ. සේවයට කැපවීමෙන් උන්වහන්සේ අප්‍රමාණ සතුට ලැබූහ. පේරාදෙණිය ශ්‍රී සාරානන්ද විද්‍යායතන පිරිවෙන දෙස් විදෙස් හි පතළ මහ විද්‍යස්ථානයකි. සියඹලන්ගමුවේ නාහිමියන් ආරම්භ කළ එම කීර්තිමත් විද්‍යාස්ථානය තුළින් සිය දහස් ගණන් උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් ආදි නොයෙකුත් හැකියාවන්ගෙන් පිරිපුන් පිරිස් බිහි කිරීමට ගිරාඹේ ආනන්ද නාහිමියන් නායකත්වය ලබා දුන්හ. අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන සහිත බෞද්ධ මධ්‍යස්ථානය ශාසනික, සාමාජික, අධ්‍යාපනික මෙහෙවරක් සිදු කරන මහා විහාරයකි. ගිරාඹේ ආනන්ද අනු නාහිමියන් එම ආයතනය ගොඩනැගීමට කළ කැප කිරීම කාගේත් අවධානයට යොමු විය යුතු කරුණකි. අද වන විට අනුරාධපුර සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සියනමකට ආසන්නව වැඩ සිටිති. ප්‍රාචීන අධ්‍යාපනය මුල් කරගත් භික්ෂු අධ්‍යාපන ආයතනයක් ලෙස එම පිරිවෙන් විහාරස්ථානය එදා මෙදා තුර ප්‍රාචීන පණ්ඩිත උපාධිධාරින් 150 කට වැඩි සංඛ්‍යාවක් බිහි කර ඇත.