Print this Article


අපවත් වී වදාළ නරමානේ බුද්ධරක්ඛිත නා හිමි

අපවත් වී වදාළ නරමානේ බුද්ධරක්ඛිත නා හිමි

පානදුර - ගඟුලේ සිරි පරමවිසුද්ධාරාමය මොරටුව - එගොඩ උයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාමය යන උභය විහාරාධිපති සියම් මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහාසංඝසභාවේ සම්මාන උපාධ්‍යාය ධුරීණ සාහිත්‍ය කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද, සම්බුද්ධ ශාසන විභූෂණ සාහිත්‍ය ශිරෝමණි, ශ්‍රී සද්ධර්මවාගීශ්වර ශ්‍රී ජිනේන්ද්‍රවංශාලංකාර, රාජකීය පණ්ඩිත නරමානේ බුද්ධරක්ඛිත නා හිමියෝ පසුගියදා අපවත් වී වදාළහ.

උතුම් ත්‍රිිපිටක ධර්මය පරිශීලනයෙන් ලබාගත් ධර්ම ඥානය ප්‍රායෝගිකව ස්වකීය ජීවිතයට එක් කර ගනිමින් චිරරාත්‍රඥ බහුශ්‍රැත, ධර්මවිනයධර මහතෙර නමක ලෙස සමස්ත ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයෙහි අතිශය සම්භාවනාවට පාත්‍රව වැඩ සිටි රාජකීය පණ්ඩිත නරමානේ බුද්ධරක්ඛිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය දිවි ගමනෙහි 96 වැනි වියේ දී අපවත් වී වදාළ පුවත සටහන් කරනුයේ බලවත් සංවේගයෙනි.

උන්වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500ක් නිමිති කොට ශ්‍රී ලංකා ජනරජය මගින් ආරම්භ කළ පාලි ත්‍රිිපිටකයෙහි සිංහල පරිවර්තනය සහිත පෙළ සකස් කිරීමෙහි ව්‍යාපෘතියට සම්බන්ධ ථේර පරම්පරාවේ අවසන් මහතෙරුන් වහන්සේ ය.

උන්වහන්සේ වසර 80 ක පැවිදි ජීවිතයක් ගත කළහ. එයිනුදු උපසපන් භික්ෂුවක් ලෙස වසර 74ක් ගත කළ මහා ස්ථවිර නමක්. තමන් වහන්සේට ම ආවේණික වූ ශාසනික පෞරුෂයකින් ක්‍රියා කළ අනතිමානී මහතෙරනමකි. ස්වෝත්සාහයෙන් ධර්මවිනය හා භාෂා ශබ්ද ශාස්ත්‍ර හදාරා බහුශ්‍රැත බවට පත් විද්වත් යතිවරයෙකි. සියම් මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවෙහි සම්මාන උපාධ්‍යාය ධුරයකින් පිදුම් ලද මහාස්ථවිර නමකි. සැට වර්ෂයකට වැඩිකලක් පානදුර ගඟුලේ සිරි පරමවිසුද්ධාරාම විහාරස්ථානයේ තමන් වහන්සේ විසින් ම ආරම්භ කළ ශ්‍රී ඥානවිමල ධර්ම පාඨශාලාව මුල් කොට බෞද්ධ දරුපරපුරක් බිහි කළ අග්‍රගණ්‍ය ධර්මාචාර්යයන් වහන්සේ නමකි. ස්වකීය ශිෂ්‍යයන්ට ත් දායකදායිකවන්ට ත් සමස්ත මහාසංඝයාටත් මෙත් සිතින් අනුග්‍රහ දැක්වූ සුවිසෙස් කල්‍යාණ මිත්‍රයෙකි.

1924 නොවැම්බර් මස 19 වන දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවට අයත් නරමාන ග්‍රාමයෙහි පදිංචිව සිටි විෂ වෛද්‍ය නරසිංහ කේශර බණ්ඩාරලාගේ කලුබණ්ඩා වෙදැදුරුතුමාගේ සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ මොහොට්ටාල ගෙදර ඩිංගිරි අම්මා මාතාවගේ පුත් රුවනක් ලෙස සිය මෑණියන්ගේ ගම වූ විලව දී මෙලොව එළිය දුටු කුල දරුවාට නම් තැබුණේ නරසිංහ කේශර බණ්ඩාරලාගේ මුතුබණ්ඩා යනුවෙනි. ස්වකීය මෑණියන්ගේ පරපුරින් එම ශාසනික උරුමය මොහුට ලැබුණේ ඒ වන විට බලල්ලේ දිඹුල්ගිරි රාජමහා විහාරාධිපති පදවිය ඉසිලූ විලව ශ්‍රී දීප ස්වර්ණජොති සොභිතාභිධාන වන්නි හා දෙමළ හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය මාතාවගේ පියතුමන්ගේ එනම් තම මුත්තනුවන්ගේ බාල සොහොයුරාණ කෙනෙකු වූ හෙයිනි.

සිය දෙගුරුන්ගේ සෙවණේ ආචාර සමාචාර ප්‍රගුණ කළ මෙම දරුවාට වරක් කියවූ කවියක් හෝ වාක්‍යයක් හොඳීන් මතකයට, ග්‍රහණය විය.

ස්වකීය මෑණියන්ගේ අභාවයෙන් පසු සිය පියාණන් හා සොහොයුරිය සෙවණේ වැඩුණු මුතුබණ්ඩා වරක් දෙවරක් පැවිදිවීමට අකමැති වුවත් පසුව ස්වකීය මුත්තනු නාහිමියන්ගේ සෙවණෙහි සම්බුදු සසුනෙහි පැවිදි වන්නට වාසනාව උදා කරගත්තේ ය. 1939 වර්ෂයේ ජූනි 07 වන දා ය. පැවිද්දත් සමග ඔහුට ලැබුණේ නරමානේ බුද්ධරක්ඛිත යන නාමය යි.

බලල්ලේ දිඹුලිගිරි රාජමහා විහාරාධිපති පදවිය ඉසිලූ විලව ශ්‍රී දීප ස්වර්ණජොති සොභිතාභිධාන වන්නි හා දෙමළ හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පානදුර ගඟුලේ සිරි පරමවිසුද්ධාරාමය, මෙරටුව-එගොඩ උයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාමය යන විහාරද්වයාධිපති ධර්මකීර්ති ශ්‍රී පණ්ඩිතාචාර්ය රඹුකේවෙල ශ්‍රී සීලානන්ද මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පළමුගෙදර මංගලාරාමාධිපති ප්‍රවචනකීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර පළමුගෙදර සෝමානන්ද මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවිද්දේ දී උන්වහන්සේට ආචාර්ය වූහ.

ධර්මකීර්ති ශ්‍රී පණ්ඩිතාචාර්ය රඹුකේවෙල ශ්‍රී සීලානන්ද මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ තම ආචාර්යයන් වහන්සේ නමක සේ ගරුකළ විලව ශ්‍රී ස්වර්ණජොති සොභිත නාහිමියන්ගේ ඤාති පුත්‍රයකු පැවිදි කරගැනීමට බලාපොරාත්තුවෙන් සිටි හෙයින් මෙම පැවිදි පින්කමේ දී බුද්ධරක්ඛිත හිමියන්ගේ ආචාර්යවරයෙකු වන්නට උන්වහන්සේ උත්සුක වූහ. එදින පැවිදි වූ නරමානේ බුද්ධරක්ඛිත සාමණේරයාණන් වහන්සේගේ පූර්වකෘත පුණ්‍ය මහිමයකට දෝ උන්වහන්සේගේ ප්‍රව්‍රජ්‍යා කර්මයට සම්බන්ධ වූයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමග්‍රිධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරය හෙබවූ මොල්ලිගොඩ ශ්‍රී අරියවංසාභිධාන මාහිමිපාණන් වහන්සේ ය. පැවිදි වූ දිනයේ ම පණ්ඩිතාචාර්ය රඹුකේවෙල ශ්‍රී සීලානන්ද මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ මහවාද්දුව ගංගාරාමාධිපතිව වැඩ සිටි ඔලබොඩුවේ මේධානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද සමග සිය ශිෂ්‍යයා ගඟුලේ විහාරස්ථානයට කැඳවා ගෙන ආහ.

ස්වකීය ශාසනික පුත්‍රයාට අවැසි මූලික බණ දහම් හැදෑරවීමට පණ්ඩිතාචාර්ය රඹුකේවෙල ශ්‍රී සීලානන්ද මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ වඩාත් උත්සුක වූහ. උන්වහන්සේට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය කටයුතු ද සම්පාදනය කළහ. ක්‍රමානුකූලව සිය ආචාර්යයන් වහන්සේ හමුවෙහි ධර්මවිනය හා ශබ්දශාස්ත්‍ර හදාළ නරමානේ බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ පිරිපුන් විසිවයස් ඇතිව 1945 ජූනි මස 15 වන දින ස්වකීය ප්‍රමුඛ ආචාර්යවරයාණන් වහන්සේගේ කැමැත්ත අනුව පැවිද්දේ දී ආචාර්යත්වයට පත් මහාස්වාමීන්ද්‍රයන් වහන්සේලා ද ආචාර්ය කොට මහනුවර මල්වතු විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා ශිලයෙහි පිහිටියහ.

ස්වකීය ආචාර්යයන් වහන්සේගෙන් ආවරණය කරගැනීමට අපහසු වූ ධර්මකරුණු හැදෑරීම සඳහා බුද්ධරක්ඛිත හිමියන් තම ගුරු හිමිපාණන් වහන්සේගේ ද මගපෙන්වීම යටතේ එකල ශ්‍රී ලංකාවෙහි වැඩසිටි අග්‍රගණ්‍ය පඬිරුවනක් වූ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්පති ලබුගම ශ්‍රී ලංකානන්ද මාහිමිපාණන් වහන්සේ වෙත ද තල්පිටිය බෝධි රාජමහා විහාරයෙහි වැඩි සිටි රාජකීය පණ්ඩිත හල්තොට ගිරිමානන්ද මාහිමියන් වෙත ද, එළඹියහ. එසේ උද්ග්‍රහණ ධාරණාදි වශයෙන් ස්වෝත්සාහයෙන් ශබ්දශාස්ත්‍ර ප්‍රගුණ කොට ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වනු ලබන ප්‍රාචීන ප්‍රාරම්භ හා මධ්‍යම විභාග දෙක පිළිවෙළින් සමත් වූ බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1956 වර්ෂයේ දී ප්‍රාචීන අවසාන විභාගයට පෙනී සිට ගෞරව සම්මාන සහිතව රාජකීය පණ්ඩිත උපාධිය සමත් වී පඬිවරයාණන් වහන්සේ නමක බවට පත් වූහ.

තමන් වහන්සේ ලැබූ පාණ්ඩිත්‍යයෙහි ඵලය ලක්වැසි ජනතාව අතරට ගෙන යන්නට බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේට අවකාශ උදාවූයේ තත්කාලීන රජයෙන් පණ්ඩිත උපාධිධාරීන්ට රජයේ ගුරු පත්වීම් ලබා දීම හේතුවෙනි. ඒ අනුව 1959 වර්ෂයේ සැප්තැම්බර් මස 10 වන දින රජයේ ගුරු සේවයට අවතීර්ණ වූ උන්වහන්සේ කටුගස්තොට පල්ලේතලවින්න මහාවිද්‍යාලය, කළුතර පොතුපිටියේ මහාවිද්‍යාලය, හොරේතුඩුවේ ශ්‍රී චන්ද්‍රසේකර මහාවිද්‍යාලය, වලානේ මහානාම මහාවිද්‍යාලය යන විද්‍යාලයයන්හි සේවයේ නියැලෙමින් විසි වර්ෂයක් ජාතික අධ්‍යාපනයට දායකත්වය සැපයූහ.

කරුණාවේ හා මෛත්‍රියේ මූර්තියක් බඳු නරමානේ බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලාංකේය දහම් අධ්‍යාපනය වෙනුවෙන් අග්‍රගණ්‍ය සේවයක් ඉටු කළ විශේෂ හිමිනමකි. 1950 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින ගඟුලේ සිරි පරම විසුද්ධාරාමයේ දී ‘ශ්‍රී ඥානවිමල ධර්මපාඨශාලාව’ ආරම්භ කර ප්‍රදේශයේ අතිසම්භාවිත දහම්පාසල බවට එය නංවාලීමට ඇපකැප වී උන්වහන්සේ ක්‍රියා කළහ. වසර 60 කට වැඩි කලක් මුළුල්ලේ උන්වහන්සේ එම ධර්ම පාඨශාලාවේ ප්‍රධානාචාර්ය ධුරය දරමින් ප්‍රදේශයේ දරුවන්ගේ දහම් නැණස පාදාලූහ. සෙනසුරාදා හා ඉරිදා යන දෙදින ම සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින් ම ඉගැන්වීමේ කටයුතු කෙරෙන පානදුර ප්‍රදේශයේ වැඩිම දූදරු පිරිසක් ඉගෙනුම ලබන දහම් පාසලක් ලෙස මෙම ධර්ම පාඨශාලාව හඳුනාගැනෙයි.