Print this Article


කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ

කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ

කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ විසිතුරු දහම් කථා ඇති භික්ෂූන් වහන්සේ අතරෙහි අග තනතුර ලැබූ සේක.

උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමට කොපමණ ශ්‍රාවක පිරිසක් සිටියත් ඒ සියල්ලටම අවබෝධ වන පරිදි විවිධ උපමා භාවිත කරමින් ගැඹුරු දහම් කරුණු සරල ලෙස දේශනා කරන සේක. කලින් පැවිදි වූ කාශ්‍යප තෙරුන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වන බැවින් උන් වහන්සේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ යනුවෙන් හඳුන්වති. රජ ගෙදරම හැදුණු වැඩුණු හා බාල සමයෙහි පැවිදි වු හෙයින් පැවිදි වූ දින සිට කුමාර කාශ්‍යප යනුවෙන් හඳුන්වනු ලැබේ.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර විශ්වයේ පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි හංසවතී නුවර එක් සිටු කුල ගෙයක උපන් කුමාර කාශ්‍යප කුමරු වැඩි වියට පැමිණි කල්හි එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසන අවස්ථාවක එක්තරා භික්ෂුවකට විචිත්‍ර ධර්ම කථික භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය දෙනු දැක තමා ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබනු පිණිස අපමණ දානාදී පින්කම් සිදු කොට සර්වඥයන් වහන්සේගෙන් නියත විවරණ ලැබූහ. අනතුරුව බොහෝ පින්කම් කරමින් සසර සැරිසරා වාසය කරන කල්හි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවසන් වන සමයෙහි දබ්බමල්ල පුත්ත තෙරුන්ගේ චරිත කථාවෙහි සඳහන් යහළු භික්ෂූන් සත් දෙනාගෙන් එක් අයෙක් ව උපන්නේ ය.

පර්වත මුදුනෙහි දී ම මාර්ග ඵල නොලැබ මිය ගිය හෙතෙම අප බුදුරජාණන් වහන්සේගේ සමයෙහි රජගහ නුවර එක් සිටුවරයකුගේ බිරිඳකගේ කුස පිළිසිඳ ගත්තේ ය. ඕතොමෝ ඒ බව නොදැන ස්වාමි පුරුෂයාගෙන් අවසර ගෙන මෙහෙණි සසුනෙහි පැවිදි වූවා ය. කෙසේ නමුදු ඇය පැවිදි බවට පත් වූයේ දෙව්දත් තෙරුන්ගේ පස ගත් මෙහෙණි ආරාමයක ය. ටික කලක් ගිය පසු මෙහෙණියගේ දරු ගැබ මෝරා කුස මහත්ව පෙනෙන්ට විය. එකල දෙව්දත් තෙරුන්ට පක්ෂපාති මෙහෙණිවරු ඇය දෙව්දත් තෙරුන් වෙත ගෙන ගොස් එම සිද්ධිය කීවාහු ය. දෙව්දත් තෙරුන් තමන් සර්වඥ නොවන හෙයින් තමන්ගේ පක්ෂයේ මෙහෙණිවරුන්ට වන අපකීර්තිය පමණක් සිතා එකී භික්ෂුණියගේ නියම තත්ත්වය නොසලකා වහා සිවුරු හරවන ලෙස විධාන කළේ ය. එකල්හි දරුගැබ ඇති භික්ෂුණිය මා නොනසනු මැනව. මම දෙව්දතුන් උදෙසා මහණ නොවුණෙමි. මාගේ උතුම් පැවිද්ද ලොවුතුරා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා ය. උන්වහන්සේ් සමීපයට මා ගෙන යනු මැනවි. බුදුරජාණන් වහන්සේ තුන් කල් දක්නා නුවණින් බලා වදාරති. මම නිදොස් නම් පැවිද්දෙහි සිටිමි. සදොස් නම් උපැවිදි වන්නෙමියි කීවා ය. එකල්හි ඔවුහු ඇය රැගෙන බුදුරජාණන් වහන්සේ කරා ගෙන ගොස් උන්වහන්සේට මෙම සිද්ධිය ප්‍රකාශ කළාහු ය. බුදුරජාණන් වහන්සේ ඇය ගිහි අවස්ථාවෙහි දරු ගැබ පිහිටි නියාව දන්නා නමුත් අන්‍යයන්ගේ දෝෂාරෝපණයෙන් මිදෙනු පිණිස සිව්වනක් පිරිස අතුරෙන් උපාලි තෙරුන් ද, කොසොල් රජු ද, අනේපිඬු සිටුතුමා ද, විශාඛාව ද ඇතුළුව තවත් ප්‍රභූන් ඇතුළත් විනිශ්චය සභාවක් පත්කොට ඇයගේ දරුගැබ පිහිටියේ පැවිදි වීමට පූර්වයෙන් ද, නැතහොත් පැවිදිවීමෙන් පසුවදැයි තීරණය කරන ලෙස විධාන කළ සේක. එකල්හි හැමගේ කැමැත්ත පරිදි එය පරික්ෂා කිරීමට විශාඛාවන්ට භාර කළහ. විශාඛා තොමෝ දරුවන් 20 ක් වැදු මවක් හෙයින් භික්ෂුණියගේ අංග ලක්ෂණ පරික්ෂා කොට දරුගැබ පිහිටියේ ඇය පැවිදි වීමට කලින් බව ප්‍රකාශ කළා ය. භික්ෂුණිය නිදොස් වූවා ය. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා පැවිද්දේම රැඳුණා ය. යථා කාලයේ දි භික්ෂුණිය මහානුභාව සම්පන්න පුතනු කෙනෙකුන් වැදුවා ය. ඒ උපන් කුමාරයා කොසොල් රජුගේ මාළිගයෙහි ඇති දැඩි වූයේ කුමාර කාශ්‍යප නමින් ප්‍රසිද්ධව කලක් රජ ගෙදර විසී ය. මෑත භාගයේ තම මෑණියන් වහන්සේ කවුරුන්දැයි විචාරා තොපගේ මැණියන් මෙහෙණි කෙනෙකුන් වෙතියි කී කල්හි එපමණකින් ඔහුගේ සිත කළකිරී පැවිදිවන්නට කැමැති වූයේ රජුගෙන් අවසර ගෙන බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි විය. බුදුරජාණන් වහන්සේගෙන් කමටහන්ගෙන වනයට ගොස් කලක් භාවනා කළ නමුත් කිසිදු මාර්ග ඵලයක් ලබා ගැනීමට නොහැකි විය. අනතුරුව වම්මික සූත්‍රයේ එන ප්‍රශ්න පසළොසෙහි අර්ථ බුදුරජාණන් වහන්සේගෙන් අසා එමඟින් රහත්වු සේක.

කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙහි දැක්වූ සිත් ගන්නා සුළු විලාශය වඩාත් ප්‍රකට වූයේ පායාස රජතුමාට ප්‍රශ්න පසළොසකින් යුක්ත පායාසි රාජඤ්ඤ සූත්‍රය දේශනා කිරීමෙනි. මෙය අරමුණු කොටගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මධ්‍යයෙහි කුමාර කාශ්‍යප තෙරුන් අමතා , විසිතුරු ධර්ම කථා ඇති භික්ෂූන් අතුරෙහි අග්‍රස්ථානය දුන් සේක.