විශාඛාවගෙන් ඔපවත් වන බෞද්ධ කාන්තා චරිත ලක්ෂණ
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද
හිමි
මෙම ලිපියේ
මුල් කොටස නවම්
පසළොස්වක පෝදා පළවිය.
ශාසනයේ පැවැත්ම කෙරෙහි ඉතා උනන්දුවෙන් සිතා බැලූ කාන්තාවක් වශයෙන් විශාඛාව තමාට කළ
හැකි සෑම දෙයක් කෙරෙහි ම අවධානය යොමු කළා ය.
දිනපතා ඇය දෙදහසක් භික්ෂූන්ට සිය නිවසෙහි දන් පිරිණැමුවා ය. අචල ශ්‍රද්ධාවක් පැවති
හෙයින් ම කිසිදු කරුණක් නිසා කම්පා නොවූ ඇය යම් යම් ශාසනික කරුණු සම්බන්ධයෙන්
බුදුරදුන් හා ශ්‍රාවකයන් සමඟ සාකච්ඡා කළ බවද පෙනේ. කොසඹෑනුවර භික්ෂූන් දෙ පිරිසක්
අතර උග්‍ර මත ගැටුමක් ඇති වූ කල්හි විශාඛාව වහා බුදුරදුන් වෙත එළඹ ඒ සම්බන්ධයෙන්
තමාට කළහැකි දේ කුමක් දැයි බුදුරදුන්ගෙන් විමසුවා ය. එහි දී කළහකාරී දෙපිරිසට ම
මනාව සංග්‍රහ කරන ලෙස බුදුරදුන් ඇයට උපදෙස් දුන්හ. බුදුරජාණන් වහන්සේ ද ඇතැම්
අධිකරණ විසඳාලීම සඳහා විශාඛාවට පැවරූහ. ගිහි ජීවිතයේ දී ගැබක් පිහිටා තිබිය දී
සසුන් ගත වූ භික්ෂුණියකගේ ගැබ වැඩීමෙන් ඇති වූ අර්බුදයක් සිවු පිරිස මැඳ විසඳීමට
විශාඛාවට පැවරූහ. ඇතැම් භික්ෂූන් වහන්සේලා තමන්ට පැන නැගුණු ඇතැම් ගැටඵවලට විසදුම්
සමහරවිට අනාථපිණ්ඩික සිටුවරයාගෙන් හෝ විසාඛාවගෙන් ලබා ගැනීමට උත්සුක වූ බව ද පෙනේ.
පෙර පාප කර්මයක් නිසා කුණ්ඩධාන නම් භික්ෂුව පසුපසු ගමන් කළ ස්ත්‍රී රුවක් නිසා
පොදුවේ භික්ෂූන්ට මුහුණ පෑමට සිදුවූ දුෂ්කරතා භික්ෂූන් දන්වා සිටියේ අනේපිඬු
සිටුවරයාට සහ විශාඛා මහෝපාසිකාවට ය. මීට අමතරව රේවත රහතන් වහන්සේ නමක් වාසය කළ
ඛදිරවන නම් ස්ථානය මනුෂ්‍ය වාසයට නුසුදුසු තරම් කටුක බව දැන සංවේදී වූ ඕ තොමෝ ඒ
සම්බන්ධයෙන් ද බුදුරදුන් සමඟ ද සාකච්ඡා කළා ය.
ඇතැම් ශාසනික අර්බුදවලට විසඳුම් ඇය පෞද්ගලිකව ම කල්පනා කළා ය. වරක් ඇය බුදුරදුන්
ප්‍රමුඛ මහා සංඝයාට සිය නිවසේ පසුදින උදෑසන දානයට වඩින ලෙස ඇරයුම් කළා ය. එදින
උදෑසන තද වැසි සහිත දිනයක් විය. ස්නානය කිරීම සම්බන්ධ නීතිරීති නො පැවති එවක
භික්ෂූහු නිරුවත්ව ස්නානය කළහ. දානයට නියමිත වේලාව දැන්වීමට විහාරයට ගිය දාසිය එය
දැක නිගණ්ඨ පිරිසක් යැයි සැක කළා ය. මෙහෙකාර ස්ත්‍රියකගෙන් තතු විමසා දත් විශාඛාව
ඇගේ වැරැදි වැටහීම තේරුම් ගෙන එසේ ස්නානය කොට ඇත්තේ භික්ෂූන් ම බව දැන උන්වහන්සේලා
සිය නිවසට වැඩම කරවා මනා සේ දන් පිළිගැන්වූවා ය. දානය අවසානයේ එසේ ස්නානය කිරීමේ නො
මනා බව බුදුරදුන්ට දැනුම් දී බුදුරදුන්ගේ අවසරය පරිදි දිවි ඇතිතාක් භික්ෂූන්ට හා
භික්ෂුණීන්ට වැසි සඵ පූජා කළා ය. ගමික බත් , ආගන්තුක බත්, ආදිය පිරිනැමුවා ය.
එබැවින් ශාසන ඉතිහාසයේ ප්‍රථම වැසි සඵ පූජාව සිදුකරන ලද්දේ විශාඛාව විසිනි.
තවත් වරෙක ඇය ලොව්තුරා තථාගතයන් වහන්සේ උදෙසා ස්වර්ණමය දිය බඳුනක් පිළියෙළ කළා ය.
සුමන නම් සාමණේර හිමිනමක් එම රන් භාජනය ගෙන අනෝතප්ත විලෙන් ජලය ගෙන තැබී ය. ඇය
විිසින් පුදන ලද ජල බඳුන සහ මුසුන්න පිළිගත් බුදුන් වහන්සේ ඒවා පරිහරණය භික්ෂූන්ට
අනුමත කළහ. එසේම ඇය විසින් තල් කොළවලින් සකසන ලද විජිනිපතක් ද බුදුරදුන් විසින්
පිළිගන්නා ලදී. භික්ෂූන් කෙරෙහි ඉතා ලැදි වූ ඇය මුලින් සඳහන් කළ මිගාරමාතු
ප්‍රාසාදය සාදා නිම කොට පූජා කළ කල්හි එය පරිභෝග කිරීම සුදුසු දැයි මුල දී භික්ෂූන්
අතර විමතියක් විය. එහෙත් ඒ පිළිබඳ විමසීමෙන් පසු බුදුන් වහන්සේ ඊට අවසර දුන්හ. මෙම
කරුණුවලින් සනාථ වන්නේ ශාසනික සුරක්ෂිතභාවය උදෙසා විශඛාව මහත් උද්‍යෝගයෙන් ක්‍රියා
කළ බවයි.
ධනය, බලය, රූපය, කාය ශක්තිය, බුද්ධිය හා පරිවාර සම්පත්තිය යනාදී සියල්ලෙන් ආඪ්‍යව
සිටියත් එයින් උඩඟු නො වූ විශාඛාවගේ චරිතය සමස්ත ස්ත්‍රි වර්ගයාටම ආදර්ශයක් නොවේ ද?
ඇය තථාගතයන් වහන්සේ අබිමුව දහම් අසා එහි ඵල නෙළා ගත් කෙනෙකි. එහෙත් විවාහ ජීවිතය ද
සර්වප්‍රකාරයෙන් ම සාර්ථක කර ගත්තා ය. ආගමික ජීවිතය හා ගිහි ජීවිතය යන දෙකම මැනවින්
කළමනාකරණය කර ගැනීමට සමත්වීම නිසා ඇය දෙලොවම සතුටු විය හැකි තත්ත්වයකට පත් වූවා
පමණක් නොව අනෙක් අයගේ ද ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙන යාමට මඟ පෙන්නුවා ය. ශෝකය,
කනගාටුව, පසුතැවීම වෙනුවට ඉවසීම හා කැපවීම ඔස්සේ සතුට උදා කර ගත්තා ය. එබැවින්
විශාඛා මහෝපාසිකාවගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ සමස්ත කාන්තාවන්ට තම චර්යාව මැනවින්
සකසා ගැනීමට පූර්වාදර්ශයක් වේ. |