විනය හා බුදු සසුන
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි මෙම ලිපියේ
මුල් කොටස නවම්
පසළොස්වක පෝදා පළ විය
විනය නීති පැනවීම සිදුවූයේ බුදුරදුන්ගේ පහළවීමෙන් හා භික්ෂු සමාජය පිහිටුවීමෙන් ද
විසි වසරක් ඇවෑමෙන් යැයි අටුවාව සඳහන් කරයි. එකී මුල් විසි වසරෙහි ශික්ෂා ප්‍රඥප්ති
විරහිතව මැ භික්ෂු සමාජයේ සංවරයත්, සාමයත් ආරක්ෂා වූයේ ය. 'ප්‍රථමාභිසම්බෝධි කාලය',
ලෙස හැඳින්වෙන එම යුගයේ දී භික්ෂූහු වඩාත් බුදුරදුන්ගේ සිත් ගත්හ. උන්වහන්සේ
ආදර්ශයට ගත් භික්ෂූහු මැනවින් සංවර වූහ.
“මහණෙනි, එකල භික්ෂූන් වෙත මවිසින් අනුශාසනා කළ යුතු නොවී ය. මවිසින් කළ යුතු වැ
පැවතියේ සිහි ඉපදවීම පමණකි. “කය වචන සංවර වැ සිටි එකී භික්ෂූන්ට විටෙක අනුශාසනාව මැ
ප්‍රමාණවත් විය. අධ්‍යාත්ම ශික්ෂණයට අදාළ කරුණු වටහාදීමෙන් මැ හික්මවන ලදී.” “සුවච
බව මෙසේ ඇතිවෙයි. දුර්වල බව මෙසේ වේ” යැයි කරන ලද එබ ඳු අනුශාසන සූත්‍රාන්තයන්හි
හමුවෙයි. චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීලාදිය ද, සතර සංවර සීලාදිය ද අනුව හික්මීම
ලද එම භික්ෂූන් විනය නීති විරහිත වැ රහත් බව ලබා තිබේ. ඕවාද ප්‍රාතිමෝක්ෂය ද
උන්වහන්සේට ප්‍රමාණවත් වූයේ ය. භික්ෂූන් සඳහා නීතිමය ස්වරූපය ගත් විනය ප්‍රඥප්තීන්
අවශ්‍ය වූයේ ඔවුන් උපශාන්ත සරල, විමුක්තිකාමී බවින් අධ්‍යාත්මික සංවරයෙන් පිරිහුණු
විටයි. විනය නීති පැනවීමට තුඩුදුන් හේතු හතරක් පිළිබඳ ව අපේ මූලාශ්‍රයන් සඳහන් කර
තිබේ.
ශාසනය ආරම්භ වී දිගු කලක් ගතවීම ,සසුන පිරිස අතින් විශාල වීම, සසුනට බොහෝ ලාභ
සත්කාර ඉපදීම හා සසුනෙහි උගතුන් වැඩිවීම ය.
මුල දි ශික්ෂා ප්‍රඥප්තීන් අඩු වීමටත්, පසු ව වැඩි වීමටත් හේතු විමසූ භද්දාලි
හිමියන්ට බුදුහු මෙසේ වදාළහ. “භද්දාලි , සත්ත්වයා පිරිහෙන කල, ධර්මය අතුරුදහන් වන
කල බොහෝ ශික්ෂාපද ඇති වේ. ඒ අනුව පිහිටා නිවන් දක්නාවුන් අඩුවේ. යම්තාක් කල්
ශ්‍රාවකයන් අතර ආසවට්ඨානීය ධර්ම ( ඉහත කී කරුණු සතර) පහළ නොවේ ද, ඒ තාක් කල්
තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් උදෙසා ශික්ෂාපද නොපනවති.” මේ අනුව විනය ප්‍රායෝගික ය.
එයින් තොරව ම මුල් යුගයේ භික්ෂූහු ධර්මය ප්‍රමාණකොට සංවර වූහ . විමුක්තිලාභී වූ හ.
එබැවින් විනය ම ප්‍රමුඛ ය. එය මැ ආයුෂය යේ යැයි සැලකීම නොයෙදේ.
බුදුරජාණන් වහන්සේ වනාහි විනය නීති පැනවූ සේක් දේශය, කාලය අවස්ථාව සලකා එය කළහ.
අවශ්‍යතාවක් නූපන් කල්හි එසේ නොපනවන ලදී. එසේ ම පනවන ලද විනය නීති අවශ්‍යතාවක් උපන්
කල්හි විටෙක වෙනස් කරන ලද්දේ ය. විටෙක අහෝසි කරන ලදී. පවත්නා ආර්ථික, දේශපාලන.
සාමාජික තත්ත්වයන් ද විටෙක දේශගුණික තත්ත්වයන් ද, විටෙක ගිහි පැවිදි කොටස්වල සාධාරණ
ඉල්ලීම් ද විනය පැනවීමටත්, වෙනස් කිරීමටත් හේතු විය. අනු ප්‍රඥප්ති ද පනවන ලදී.
මෙයින් ද පැහැදිලි වන්නේ විනය වු කලී ප්‍රායෝගික වන බව යි. එය දැඩි ව ගැන්ම මෙන් ම
බැහැර කරලීම ද බුදුසමයට පටහැනි වේ. මුල් යුගයේ දී භික්ෂූන්ට අනුදන්නා ලද්දේ
පාංශුකූල චීවරය පමණි. පසු ව වෙදැදුරු ජීවකයන්ගේ ඉල්ලීම පරිදි එය වෙනස් කර ගෘහපතියන්
පුදන සිවුරු ද පිළිගන්නට අවසර දෙන ලදී . එයින් ලැබීම් බහුල විය. එවිට චීවර
පටිග්ගාහක භික්ෂුවක පත් කෙරුණි. එහෙත් සිවුරු රකින්නෙක් නොවී ය. ඒවා විනාශ විය.
එවිට චීවර නිදහක භික්ෂුවක ද පත් කෙරුණි. එහෙත් සිවුරු බෙදන්නෙක් නොවී ය. එවිට චීවර
භාජක භික්ෂුවක පත් කෙරුණි. මෙයින් මැ විනයේ නම්‍ය බව පෙනේ. එය ප්‍රායෝගික ය. මුලින්
පනවන ලද විනය නීති අනුව උපසම්පදා කර්මයකට භික්ෂූන් දස නමක් සිටිය යුතු විය. එහෙත්
පසුව එය වෙනස් කර සිවුනමක් ප්‍රමාණවත් යැයි පනවන ලදී. මෙලෙසින් ම සම් පාවහන්
පැළඳීමට , නිතර ස්නානය කිරීමට වැනි ශික්ෂාවන් මගින් කර තිබූ සීමාවන් පසු ව ඉවත් කර
තිබේ. මෙබඳු නිදසුන් විනය මූල ග්‍රන්ථවල සුලභ ය. විනය වූ කලී පරමාර්ථ සත්‍ය නොවේ.
එය සම්මුතියයි එබැවින් ප්‍රායෝගික ය. වෙනස් විය හැකි ය. එය චරිත සංවර්ධනය පිණිස මැ
වේ. එහි එල්බැ ගැන්ම මෙන් ම බැහැර කරලීම ද වරදකි. ශීලයෙන් තොරව ද බුදුහු ශුද්ධිය නො
වදාරති. විනය වූ කලී භික්ෂූන්ගේ සංවරය, සමගිය හා පහසුව ද පිණිස ය. ධර්මය හෝ විනය
දෙකින් එකක් වඩා ප්‍රමුඛ ද නොවන්නේ ය. අධ්‍යාත්මික සංවර්ධනයෙන් තොර විනය ගරුකත්වය
හැඳින්විය යුත්තේ අහස නොගොරවා වැටෙන වැස්සක් ලෙස ය යනු බුද්ධ වචනය යි. |