Print this Article


අවබෝධයෙන් තෙරුවන් සරණ යමු

අවබෝධයෙන් තෙරුවන් සරණ යමු

ශ්‍රද්ධාවන්ත, වාසනාවන්ත, පින්වත්නි අද අපි ඔබට කියල දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සම්මා දිට්ඨියෙන් යුතුව ගත කිරීම පිළිබඳව යි.

විශේෂයෙන්ම මෙහිදී ලංකා ජන සමාජයේ අපේ පින්වත් බෞද්ධ ජනතාව ඒ බුදුරජාණන් වහන්සේ සරණ යනව කියල හිතාගෙන හිටියට උන්වහන්සේ සරණ ගියා කියල හිතාගෙන “බුද්ධං සරණං ගච්ඡාමි” කිව්වට උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සරණ ගියා කියල හිතාගෙන නැත්නම් සරණ යනව කියල හිතාගෙන “ධම්මං සරණං ගච්ඡාමි” කිව්වට උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සරණ යනව කියල හිතාගෙන ඒ ආර්ය මහා සංඝ රත්නය සරණ යාම පිණිස “සංඝං සරණං ගච්ඡාමි” කිව්වට බලනකොට ඇත්තටම ඒ තුන් සරණය සරණ ගිහිල්ලා නැහැ. මොකද ඒකට හේතුව තුන් සරණයට පිටින් තියෙන දේවල් මුල් කරගෙන අපි ජීවත් වෙන්නේ. ඒකට හේතු තියෙනවා.

බොහෝ වෙලාවට කෙනෙකුගේ චින්තනය කෙනෙකුගේ සිතුම් පැතුම් කෙනෙකුගේ ආකල්ප සඳහා ප්‍රධාන වශයෙන් බලපාල තියෙනවා රටේ රාජ්‍ය නායකයා විසින් ඉදිරිපත් කරන මතය. ඒ කියන්නේ දේශපාලන මතය බලපානවා.

විශේෂයෙන්ම අපේ බෞද්ධ ඉතිහාසය දෙස බලන විට අපිට පැහැදිලි වෙනවා දේශපාලන බලය ධර්ම ප්‍රචාරයට උපයෝගී කරගත් ආකාරයත් එවැනි දේශපාලන බලයකින්ම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය යටපත් කරල මිත්‍යා දෘෂ්ඨිය ඉස්මතු වුණු ආකාරයත්. දැන් මේ කාරණාව තේරුම් ගන්න ඒ පසුබිම නැතිව බැහැ. මා විසින් මේ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන කරුණ ඉස්මතු කරන්න නම් ඒ ඉතිහාසය අප දැනගත යුතුයි.

දැන් ඔබට පැහැදිලි කරන්න කැමතියි බුද්ධ පරිනිර්වානයෙන් වර්ෂ 236 කාලය ගතවෙන මොහොත වන විට ඉන්දියාවේ හිටපු අශෝක නැතිනම් චණ්ඩාශෝක රජු තමන්ගේ රටට සමීප අනිකුත් රාජ්‍ය දිග් විජය ප්‍රතිපත්තියෙන් අල්ල ගන්න උත්සාහ කළා. එහි දී තමන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරල යුද්ධ කරල අනික් රටවල් යටත් කරල අල්ලගත්තා. ඒ යන ගමනේදී ඉතාම දැවැන්තම යුද්ධය තමයි කාලිංග දේශයේ යුද්ධය. මේ යුද්ධයේදී සිදුවුණු මනුෂ්‍ය ඝාතනයන් දහස් ගණනක්. තුවාල කරුවන් ලක්ෂ ගණනක්. ඒ අයගේ බිරින්දෑවරුන්ගේ අඳෙීනා හඬ, දරුවන්ගේ අදෝනා හඬ අහපු මේ අශෝක නම් ඒ චණ්ඩ අධිරාජයාගේ සිත කම්පනයට පත් වුණා. අන්න ඒ කම්පනයට පත් වෙච්ච අවස්ථාවෙදි එතුමාට අවස්ථාව ලැබුණා නීග්‍රෝධ සාමණේරයන්ගෙන් තෙරුවන් සරණට පත්වෙන්න. ඉන්පසුව ඒ තෙරුවන් සරණට පත්වෙලා සීලයේ පිහිටි මේ අධිරාජයා බුදුදහම වැළඳගෙන ඒ නීග්‍රෝධ සාමණේරයන්ගේ උපකාරයෙන් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මුනගැහිල උන්වහන්සේගෙන් සම්පූර්ණයෙන්ම බුදු දහම පිළිබඳ ආභාෂය ලබාගෙන තෙරුවන් සරණට පත්වෙලා ආශිර්වාද ලබාගෙන සැබෑ ධාර්මික බෞද්ධ අධිරාජයෙක් බවට පත්වුණා.

ඉන්පසුව ඔහුගේ දේශපාලන බලය ඔහු උපයෝගී කරගත්තා බුදුදහම තුළින් තමන්ගේ රටේත් අනෙක් රාජ්‍යවලත් ජනතාවගේ චින්තනය වෙනස් කරන්න. මේ නිසා තම්බපන්නි, මහිසමංඩල , යෝනක දේශය, අපරන්ත. කාශ්මීර ගන්ධාර, මහාරත්ත, වනවාසී, හිමවන්ත, ස්වර්ණභූමි ආදි මේ රටවල් නමයකට ධර්ම ප්‍රචාරය කරල ඒකෙ ප්‍රතිඵලයක් හැටියට එදා තම්බපණ්නි ලෙස හැඳින්වූ අපේ ශ්‍රී ලංකාවටත් බුදුදහම ලැබුණා. බලන්න පින්වතුනි, දේශපාලන බලය කෙනෙකුගේ ආගම වෙනස් කරන්න උපයෝගී වෙන ආකාරය.

එදා ධර්මාශෝක අධිරාජයාගේ දේශපාලන බලය ශ්‍රී ලංකා ජනජීවිතයට බුදුදහම සම්පේ‍්‍රෂණය කරන්න උපයෝගී කරගත්තා. එවකට ලංකාවේ හිටපු ඒ අශෝක අධිරාජයාගේ නොදුටු මිත්‍ර දේවානම්පියතිස්ස රජු තමන් තිසරණයට පත්වෙලා තමන්ගේ පිරිවරත් තිසරණයට පත්වෙලා තමාගේ දේශපාලන බලය උපයෝගී කරගත්තා මුළු රට පුරාම ජනතාව තිසරණයට පත් කරන්න. ඒ අනුව බුදුදහම ලංකාව පුරා ව්‍යාප්ත කළා. කිසියම් හේතුවක් නිසා එවකට සිටි රජු බුදුදහම වැළඳගන්නට අකමැති වූවා නම් මිහිඳු මහ රහතන් වහන්සේට ශ්‍රී ලංකාවේ බුදුදහම ස්ථාපිත කරන්න ලැබෙන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති රටක යම් කිසි චින්තනයක් යම්කිසි විශ්වාසයක් ගොඩනගන්නට නම් දේශපාලන බලය අවශ්‍ය බවට . ඉන් පසුව රජු බවට පත්වුනු උත්තිය රජු, මහානාග රජු යටාලතිස්ස රජු, ගෝඨාභය රජු, කාවන්තිස්ස රජු, ගැමුණු රජු, තිස්ස රජු, පළවෙනි විජයබාහු රජු, පරාක්‍රමබාහු රජු, වළගම්බා රජු ආදි රජ දරුවෝ දිගින් දිගටම ඒ තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කර මේ රට පුරා බුදුදහමේ ව්‍යාප්තිය වෙනුවෙන් කටයුතු කළා. මෙන්න මේ යුගයේදී අපට සිහිපත් වෙනවා මේ පළවෙනි පරාක්‍රමබාහු රජුගේ යුගයෙන් පසුව අපේ රටේ සිදුවු ආක්‍රමණයත් පිළිබඳව.

ඉතිරි කොටස නවම් අව අටවක පෝදා (පෙබරවාරි 26) පත්‍රයේ පළවේ.