Print this Article


දියවඩන නිලමේතුමා සතු කාර්යභාරය

දියවඩන නිලමේතුමා සතු කාර්යභාරය

අතීතයේ සිටම දළදා මාලිගාවත්, රජ වාසලත් දෙකක් වශයෙන් නොව එකම ගොඩනැඟිලි සංකීර්ණයක් ලෙස පැවතුණ බව අතීත රාජධානි පිහිටා ඇති නටබුන් ආශ්‍රයෙන් දැකගත හැකි ය.

ඒ අනුව රජතුමාගේ රාජකාරී නිල පත්කිරීමද, ඒ ආකාරයෙන්ම සමාන ව සිදු වූ බව පෙනේ. මහනුවර යුගයේ රජ මාලිගයේ පැවැති නිල නාමයන් හා ශ්‍රී දළදා මාලිගාවේ පැවැති නිල නාමයන් පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමේ දී ඒ බව මනාව පැහැදිලි වේ. දළදා වහන්සේගේ භාරකරු වශයෙන් සිටි පුරාණතම නිලය දැරූ පුද්ගලයා ධාතු රක්ඛකාධිකාරී යනුවෙන් දාඨා වංශයේ සඳහන් වේ. ධාතුන් වහන්සේ ‘ආරක්ෂා කිරීමේ අධිකාරී බලය’ ඇති යන අර්ථය සහිත එම වචනය කෝට්ටේ යුගයේ අවසන් භාගය හා සීතාවක දෙල්ගමු රජමහා විහාරයේ දළදා වහන්සේ සඟවා තැබූ කාලය දක්වාම භාවිත වූ බවත්, එම කාලයේ දී හිරිපිටියේ දියවඩන නිලමේ නමින් හැඳින්වුණ තනතුරත් සඳහන් වීමෙන් පසුව දියවඩන නිලමේ යන නාමය යෙදුන බවත් සඳහන් කළ හැකිය.

කොත්තේ කලාලේ කිහිල්ලේ දත මැදගන් රාළේ

යන ජනකවි පදයේ එන රාළ යන්නත්, මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මහතාගේ ‘ඥාන දර්ශන’ නමැති කෘතියෙහිත්, “උඩරට විත්ති” නමැති කෘතියෙහිත් හඳුන්වා ඇත්තේ ‘දියවඩන රාළත්’, ‘දියවඩන නිලමේත්’ එකම තනතුරක් බවය. දියවඩන නිලමේ යන්නට තවත් බොහෝ තැන්හි දියරාළ, දියනිලමේ යනුවෙන් ව්‍යවහාර වී ඇත. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාවේ පමණක් නොව, එහි සිටින සෑම දෙනාගේ මෙන්ම ලංකාවාසී සියලු බෞද්ධ ජනතාවගේම ප්‍රධාන ගිහි භාරකරුවා වශයෙන් සිටින්නේ දියවඩන නිලමේ තුමාය. මහනුවර රාජධානි සමය අවසන් භාගයේ රජවාසලේ දියවඩන නිලමේවරුන් කිහිපදෙනෙකු සිටි බවට තොරතුරු සොයා ගත හැකි ය. රජතුමා ස්නානය සඳහා යන ස්නානාගාරයෙහි භාරකරු වශයෙන් දියවඩන නිලමේවරයෙකු පත්කර සිටියේ ය. රජු ස්නානයට පැමිණෙන අවස්ථාවලදී අවශ්‍ය කරන ආකාරයට උණුපැන්, සිසිල් පැන් ආදිය සුපිරිසුදුව සූදානම් කිරීම, දියවැක්කිරීම, නෑවීම, දිය පිසදැමීම ආදී ස්නාන ස්ථානයේ සිදුකළ යුතු සියලු වතාවත් රජු වෙනුවෙන් කළ යුතු ය.

ආහාර ගන්නා භෝජනාගාරයට දියවඩන නිලමේවරයෙකු ද පත් කර ඇත. සාමාන්‍යයෙන් රජු රාජ භෝජනය සඳහා එක් ව්‍යාංජනයකට එක බත් පිඬක් වශයෙන් ලබාගනී.. එක් බත් පිඬක් එක ව්‍යාංජනයකින් අනුභව කොට අත් සෝදා අනිත් බත් පිඬ ආහාරයට ගනී. එසේ භෝජනාගාරයේ ව්‍යාංජන දහයක් තිබුණොත් දසවතාවක් අතසේදීම සිදු කරයි.

රාජ නියමය අනුව වර්තමානයේ දළදා පූජාව සිදු කරන්නේ රාජ භෝජනාගාරයේ පිසූ ක්‍රමයට බැවින් ව්‍යාංජන 32 ක් රාජභෝජනය සඳහා තිබුණේ යැයි කල්පනා කළ හැකි ය.

එසේ අතසේදීම සඳහා පැන්කෙණ්ඩිය තබාගෙන සිටින පුද්ගලයාත්, භෝජනාගාරයේ දියවඩන නිලමේ වශයෙන් හඳුන්වා ඇත. තව දියවඩන නිලමේවරු තුන් දෙනෙක් පල්ලේ වාහල නමින් හැඳින්වුණු බිසෝවරුන් ස්නානය කරන ස්ථානය බාරව කටයුතු කර ඇත. දියවැසීම යන්න අර්ථයෙන් ගත් කළ එම නිලමේවරුන්ගේ කාර්යය රජවාසලේ සිටින නිලයන්ගෙන් තරමක උසස් නිලයක් ලෙස පත්ව ඇත. රජවරුන්, බිසෝවරුන් ස්නානය කරන සෑම දෙනාටම සිදුකළ නොහැකි බවට නියමයක් පැවතුණි. ඒ සඳහා මනා සුදුසුකමක් සහිත පුද්ගලයන් තෝරා ගැනීම රජු විසින්ම සිදුකරන නිසා එම දියවඩන නිලමේවරුන් උසස් තත්ත්වයකට පත්ව තිබුණි.

දළදා මාළිගාව වැඳ පුදා ගැනීම සඳහා රජතුමා පැමිණෙන විට රජුගේ දෑතට පැන්වැඩීම සඳහා නිලමේවරයෙකු පත්කර සිටීයේය. ඔහු රජුගේ අතසෝදනය සිදුකොට පිරිසුදුව දළදා වන්දනය සඳහා රජතුමා සූදානම් කරන්නෙකි. රජතුමා ළඟට යම් නිලතලයක් හෝ බලයක් තිබුණේ නම්, ඒ දියවඩන නිලමේ වශයෙන් හැඳින් වූ පුද්ගලයාටය. අතීතයේ පටන්ම රාජ රාජ මහා මාත්‍යාදීන් ශ්‍රී දළදා වහන්සේ උදෙසා ගම් බිම් කෙත්වතු පූජා කොට ඇත. එම ගම්බිම් ඉඩකඩම්වල මනා පාලනයක් ගෙනයාම, ආරක්ෂාකිරිම, එයින් ලැබෙන ආදායම් ඒ ඒ කොටස්වලට බෙදා නිසියාකාරයෙන් පරිපාලනය කිරීම, ශ්‍රී දළදා මාළිගාවේ සිටි දියවඩන නිලමේවරයාට පැවරී තිබූ කාර්යයන් විය. එසේම රජ වාසලේ සිටි සෙසු නිලධාරීන්ට, සේවකයන්ට අදාළ රාජකාරී නිසි පරිදි සොයා බැලීමද, පොදු ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් රජවාසලින් ඉටුවිය යුතු කටයුතු සිදුකිරීම ද, සියලු දෙනාගේම ප්‍රශ්න, ගැටලු, නඩුහබ ආදිය සොයා බලා විසඳීමද, අතීතයේ පටන් වාර්ෂිකව පැවැත් වූ ඇසළ පෙරහර ප්‍රමුඛ කොට පැවැත්වූ විවිධ පෙරහර

මංගල්‍යයන් නිසියාකාරයෙන් පැවැත්වීමද ඔහුට පැවරුණ කාර්යයන් විය. මීට අමතරව දළදා

හාමුදුරුවන් වහන්සේ උදෙසා උදෑසන සහ දවල් තේවා කටයුතු වලදී තේවාවට අවශ්‍ය පැන් පයිණ්ඩ කිරීම නානු මංගල්‍ය පැවැත්වෙන අවස්ථාවලදී නානු පයින්ඩ කිරීම, සියලු තේවා කටයුතුවලදී විශේෂ සහයෝගයක් දැක්වීමත් ප්‍රධාන තැනක් ගනී. මෙහිදී එම කාර්යය හා බලතල විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය අතිශය භාරදූර මෙන්ම වැදගත් රාජකාරියක් සේ පැවතුන බව ය. වර්තමානයේ දියවඩන නිලමේවරයා මාලිගාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බැවින් එම කටයුත්ත ගෙපරාළ නමින් හැඳින්වෙන රාජකාරි නිලධාරියා විසින් සිදුකරන බව මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතාගේ “ඥානදර්ශන” නමැති කෘතියෙහි විස්තර කර ඇත. එසේම වසර 2500කටත් වැඩි කාලයක් පුරාවටම මෙන්ම දළදා වහන්සේ වැඩම කිරීමේදී පටන් පැවතගෙන ආ චාරිත්‍රානුකූලව ඉටු කරනු ලැබූ පුද සිරිත් ආදී විවිධ කාර්යයන් රාශියක් තිබූ බවටත්, ඒවා මැනවින් ඉටු කිරීම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ කාර්යය වූ බැවින් ඔහු කෙරෙහි සෙසු පිරිසගේ පැවැති ගෞරවය හා සැලකිල්ල අතිශය වටිනාකමකින් යුක්ත වන බවත්, කිව හැකි ය.


ශ්‍රී දළදා පුරාණය - 23:  අතිපූජනීය දන්ත ධාතුන් වහන්සේ වැඩම වීමට පුණ්‍යවන්ත වූ ඇත් පන්තිය