Print this Article


විනිශ්චය සහ අභිමතය

විනිශ්චය සහ අභිමතය

ලෞකික ජීවිත ගත කරන ඔබට බොහෝවිට යම් යම් කරුණු පිළිබඳව විනිශ්චයක් ලබා දීමට සිදුවන අවස්ථා ඕනෑ තරම් එළැඹිය හැකි ය. නිදසුනක් ලෙස ඔබ මවකගේ හෝ පියෙකුගේ භූමිකාව තුළ ජීවත් වන්නේ නම්, දරුවන් අතර ඇතිවන ගැටලුවල දී විනිශ්චය ලබා දීමට සිදුවන්නේ ඔබට ය. එමෙන් ම ඔබ ගුරුවරයෙකු නම්, ශිෂ්‍යයින් අතර වන ගැටලුවක දී විනිශ්චය ලබා දීමට සිදුවන්නේ ඔබට ය.

මෙලෙස ගෘහ ජීවිතය තුළ දී ද, ආයතනික ජීවිය තුළ දී ද, යම් යම් කරුණු පිළිබඳව තීන්දු තීරණ ලබා දීමට බොහෝ අවස්ථාවන්හි දී සිදු වේ. එවැනි අවස්ථාවක නීතිය ඉක්මවාගෙන ඔබගේ අභිමතයක් ඉදිරිපත් වුවහොත් බොහෝ විට සාධාරණය සිදු විය යුතු තැනැත්තාට එම සාධාරණය ඉටු නොවීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව වැඩි ය. එබැවින් මෙහි දී අපගේ අවධානය යොමු වන්නේ එවැනි විනිශ්චයක දී ඔබගෙන් සිදු විය හැකි අයුක්ති සහගත විනිශ්චයක් ලබාදීම අවම කිරීම සඳහා බෞද්ධයකු ලෙස අවධානය යොමු කළ යුතු කරුණු කවරේද? යන්න පිළිබඳව විමසා බැලීමටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සම්පූර්ණ කෙලෙස් දුරු වීමක් සිදු නොවූ තැනැත්තෙකු ඕනෑම අවස්ථාවක ඡන්දයෙන්, ද්වේශයෙන්, භයෙන් සහ මෝහයෙන්. අගතියට පත්වීමට අවකාශයක් ඇත. විශේෂයෙන් දරුවන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු සිටින නිවසක මවකගේ හෝ පියෙකුගේ හෝ සිත තුළ එම දරුවන් අතුරින් කෙනෙකු පිළිබඳව විශේෂ ආදරයක්, ලැදියාවක් ඇති වීමට ඉඩ කඩ පවතී. එය ඇතැම්විට පවුලේ බාල දරුවා වීම හෝ තමන්ට ලැබුණු පළමු දරුවා වීම ආදී කාරණා මත හෝ., ඉතා දක්ෂ කම් ඇති දරුවා වීම හෝ පි‍්‍රය මනාප දරුවා වීම යනාදී කරුණු මත හෝ සිදුවිය හැකි ය. දීර්ඝ කාලයක් මෙකී පි‍්‍රය බව මවකගේ හෝ පියෙකුගේ සිත තුළ යම් දරුවෙකු කෙරෙහි ඇති වුවහොත් අනෙක් දරුවන් සමඟ එම දරුවා ඇති කර ගන්නා ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමේ දී විශේෂ පක්ෂග්‍රාහී බවක් නීතිය ඉක්මවාගෙන, සත්‍ය ඉක්මවාගෙන ඔබ වෙතින් ප්‍රකට වීමට ඉඩ ඇත.

මෙලෙස මනුෂ්‍යයාගේ සිතෙහි ඇතිවන සුවිශේෂී රසඥතාවයක් තීන්දු තීරණ ලබා දීමේ දී බලපෑමට ලක් විය හැකි ය. පන්ති කාමරයක වුවද යම් ශිෂ්‍යයෙකු හෝ කීප දෙනෙකු පිළිබඳව හෝ විශේෂ ලැදියාවන් ඇති කර ගැනීමෙන් සමහර වැරැදි කරන ලද අවස්ථාවල ද නොදැක්කා සේ හිඳීමට, එවැනි දඬුවමක් ලබා දිය යුතුම අවස්ථාවක වුව ද එහි යම් ලිහිල් බවක් ඇතිව කටයුතු කිරීම කෙනෙකු විසින් සිදු කරන්නේ නීතිය, යුක්තිය, සාධාරණය ඉක්මවා තම කැමැත්ත ඉදිරියට එන බැවිනි. අකැමැත්ත ද මෙලෙසම බොහෝ කරුණු පිළිබඳව විනිශ්චය කිරීමේ දී ඉදිරිපත් විය හැකි ධර්මයකි.

නිදසුනක් ලෙස ගතහොත් ලංකාවේ රථ වාහන පිළිබඳව නීතියෙහි කිසිදු තැනෙක භික්ෂුවකට රියදුරු බලපත්‍රයක් ලබා දීම වරදක් ලෙස දක්වා නැත ද එක් අවස්ථාවක බෞද්ධ භික්ෂුවක් විසින් රියදුරු බලපත්‍රයක් ලබා නොදීම පිළිබඳව නඩුවක් ගොනුකළ අවස්ථාවේ අධිකරණය විසින් ඒ සඳහා තීන්දුව දෙනු ලැබුවේ නීති පොත අනුව නොවේ. එම නඩු තීන්දුවේදී බලපෑ මුඛ්‍ය කාරණය වෙනුයේ ලංකාවේ භික්ෂූන් රථවාහන පැදවිය යුතු නැතය යන්න හෝ එය ශීලාචාර නොවේය යන , එය භික්ෂු විනයට කැප නොවේය යන ආගම දහම මත පදනම් ව ගරු විනිසුරුවරුන් විසින් ඇති කරගත් අදහසයි. ඒ අනුව නීතියෙහි කුමක් තිබුණ ද බෞද්ධ භික්ෂුව රියදුරු බල පත්‍රයක් ලබා නොගත යුතු බව තීන්දු තීරණය කෙරිණි. එයින් අපට පෙනෙනුයේ නීතිය, යුක්තිය කුමක් වුවත් අභිමතය ඒ සියල්ල යට කරගෙන ඉදිරිපත්විය හැකි බවයි.

(මාගේ අභිමතය වන්නේ ද එම නඩු තීන්දුව නිවැරැදි බවයි. එහෙත් මා ද එම නිගමනයට පැමිණෙනුයේ විනය පිටකයේ ඒ පිළිබදව පනවන ලද නීතියක් දක්නට ලැබෙන නිසා හෝ ලංකාවේ ඊට අදාළ නීතියක් ඇති නිසා නොව ලංකාවේ දී භික්ෂුවක් එලෙස වාහනයක් පදවනවාට මාගේ ඇති පුද්ගලික අකැමැත්ත නිසයි) එලෙස අපගේ අභිමතය යුක්තිය හෝ සාධාරණත්වය ඉක්මවාගෙන ඉදිරිපත්වන අවස්ථාවලදී ලබා දෙන සමහර තීරණ නිවැරැදි විය හැකි අතර, ඇතැම් තීරණ වැරැදි සහගත ඒවා බවට ද පත්වීමට ඉඩ තිබේ. ඒ නිසා ඔබ ගුරු භූමිකාවේ සිටියත්, මව්පිය භූමිකාවේ සිටියත්, ආයතන ප්‍රධානියෙකු ලෙස යම් භූමිකාවක් නියෝජනය කළත් යම් ගැටලුවක් සම්බන්ධව විනිශ්චයක් ලබා දීම සිදුවන අවස්ථාවල දී ඡන්දය, ද්වේශය, භය, මෝහය යන කරුණු හතරෙන් අගතිගාමී නොවී එම තීන්දුව ලබා දීමට කැපවිය යුතු ය. ඔබත් යම් කිසි ආකාරයක තීන්දුව ලබාදීමේ දී අගතිගාමී බවක් ඇති වීමට ඉඩ පවතින්නේ නම්, හෘදය සාක්ෂියට එකඟව ඔබ කළ යුත්තේ එකී විනිශ්චය ලබා දීමට ඉදිරිපත් නොවීමයි. නැතහොත් තනි විනිශ්චයකට එළඹීම වෙනුවට කණ්ඩායමක් සමඟ කතිකාකොට සාධාරණ විනිශ්චයකට එළඹීමට කැප වීමයි.

කෙනෙකුට මෙහිදී ඉදිරිපත්විය හැකි ප්‍රධාන සැකය වන්නේ තනි පුද්ගලයකු ලබාදෙන විනිශ්චයක දී අභිමතය ඉදිරිපත් විය හැකි මෙන් ම දෙතුන් දෙනෙකු, පස් දෙනෙකු හෝ සත් දෙනෙකු එක් වී ලබා දෙන විනිශ්චයක දී අභිමතය ඉදිරිපත් විය නොහැකිද යන කරුණයි. සැබැවින්ම විනිශ්චය සභාවක එවැනි වැඩි පිරිසක් සිටිය ද එලෙස නීතිය, යුක්තිය ඉක්මවාගෙන අභිමතය අනුව තීන්දු ලබා දීමට ඉඩ ප්‍රස්ථාවක් ඇති බව ද මෙහිදී අවබෝධ කරගත යුතු ය. අප රට තුළ දී නම්, එවැනි අවස්ථාවක යම් පාර්ශ්වයකට අසාධාරණයක් සිදු වී ඇත්තේ යැයි පසුව සනාථ වුවහොත් ජනාධිපතිවරයා විසින් සියලු නඩු තීන්දු වෙනස්කොට සමාව දීම සිදු කරනු ලබයි.

නමුත් ගෘහයක දී හෝ, පාසලක දී හෝ වෙනත් ස්ථානයක දී යම් පාර්ශ්වයක් අගතිගාමී වී ලබා දෙන තීන්දුවක් වෙනස් කිරීමට බලය ඇත්තෙක් නොමැති විට කෙනෙකු බලගතු අසරණ භාවයකට පත්වීමට ඉඩ ප්‍රස්ථාව ඇත. එවැනි අවස්ථාවක පීඩාවට පත්වන පාර්ශ්වය ඉතාමත් වැරැදි හැසිරීම්වලට එළඹීමට ඉඩ ප්‍රස්ථාවක් ඇති බව අපි අවබෝධ කරගත යුතු වෙමු. නිදසුනක් ලෙස බාල දරුවාට පවතින වැඩි ආදරයක් මත ඔහුගේ වැරැදිවලට සාධාරණ විසඳුම් ලබා නොදෙන්නේ යැයි වැඩිමහල් දරවෙකුට හැඟී ගියහොත් මව සම්බන්ධව, පියා සම්බන්ධව මෙන්ම සොහොයුරා සම්බන්ධව ද බලවත් ද්වේෂයක්, ක්‍රෝධයක්, ඉපදීමට අවකාශයක් ඇත. එයම ඇතැම් විට එම දරුවාගේ විනාශයට ප්‍රබල හේතුවක් වීමට ද ඉඩ ඇත. එබැවින් තථාගත දේශනාවට අනුව මෙහිදී මා ඔබට අවධාරණය කරනුයේ යමෙකු පිළිබඳව ඇති පුද්ගලික පැහැදීම්, අපැහැදීම්, තැති ගැනීම් සහ අනවබෝධයන් මත කිසිදු වැදගත් තීරණයකට එළඹීම් නොකළ යුතු බවයි. යමෙකු පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ දී උපරිමය, මධ්‍යස්ථ ප්‍රබුද්ධ මනසකින් කටයුතු කිරීම සිදු කළ යුතු බවයි.