මනුෂ්‍යත්වයේ අගය
අස්ගිරි මහාවිහාරීය,
කාරක සංඝ සභික ,
ඓතිහාසික බදුලු මුතියංගන රාජ මහා විහාරීය
භාරකාර
ආචාර්ය
මුරුද්දෙනියේ
ධම්මරතන හිමි
" නෙළුම් මල විලෙහි ජලය, මඩ, හා සූර්ය රශ්මිය ආදිය උපකාරීත්වයෙන් හැදී වැඩෙයි.
අවසානයෙහි නෙළුම් මල ජලයෙහිත්, මඩෙහිත් නොදැවටී ඉහළට විත් පිපී බබළයි. එයින්
කියැවෙන්නේ ආර්යයන් වහන්සේලොගේ ජීවිත මිනිස් සමාජය පදනම් වී ගොඩ නැගෙන බවත් අවසානයේ
එකී සමාජයෙන් උත්තරීතර තත්ත්වයට පැමිණෙන බවත් ය."
බුදු දහමේ ඇතුළත් ඉගැන්වීම් පරලොව ජීවිතයට පමණක් අදාළ වු දේශනා පමණක් නොව මිනිසාගේ
එදිනෙදා ජීවිතයටත් අදාළ ඉගැන්වීම් සමුදායක් ඒ තුළ අන්තර්ගත වේ. එම ඉගැන්වීම්වල
අරමුණ වන්නේ මෙලොව වෙසෙන මනුෂ්‍යයන්ගේ අධ්‍යාත්මික හා සමාජයීය ජීවිතය ගුණාත්මකව
වර්ධනය කර සුඛිත මුදිත සමාජයක් බිහි කිරීමයි. මෙලොව ජීවත්වන සියලු මිනිස් වර්ගයා
මනුෂ්‍ය යන පොදු ව්‍යවහාරයට යටත් වේ. එබැවින් මනුෂ්‍ය නාමයෙන් අගයන සියලු දෙනා
මනුෂ්‍යත්වයෙහි අගය නොදනියි. මෙම කෙටි ලිපිය මනුෂ්‍යත්වයේ අගය හඳුනා ගැනීම සඳහා ය.
බුද්ධත්වය, පසේ බුද්ධත්වය හා අර්හත්වය යන උත්තරීතර අධ්‍යාත්මික තත්ත්වයන් අවබෝධ
කිරීම සඳහා තිබිය යුතු ප්‍රධාන සුදුසුකම වන්නේ මනුෂ්‍යත්වය ලැබීමයි. මනුෂ්‍යත්වය
යනු මිනිසෙක් වශයෙන් මේ ලෝකයේ උපත ලැබීමයි. මිනිසා වශයෙන් උපත ලබන්නේ මව්පිය
සම්බන්ධතාවයෙන් ජනිත වු ප්‍රතිඵලයක් ලෙස ය. ඒ අනුව මේ ලෝකයේ එදා මෙදා තුර පහළ වූ
බුදු, පසේබුදු මහරහත් යන උත්තමයන් වහන්සේලා ද කවර වූ මව්පියන් විසින් ජනිත කරන ලද
දරුවන් ය. එබඳු නිර්වාණගාමි පුද්ගලයන් බිහි වන්නේ ගිහි ජීවිතයෙන් ම ය. ඒ අනුව
මිනිසෙක් වශයෙන් උපත ලැබීමේ විශිෂ්ටත්වය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ට ය.
නමුත් යමෙකුට එකී ශ්‍රේෂ්ඨත්වය ජීවිතය තුළ පවත්වා ගැනීමට හැකියාව ඇත්නම් එය එයටත්
වඩා උදාරතර කාරණාවක් වන්නේ ය.
ජීවිතයේ ලැබිය හැකි උසස්තම අධ්‍යාත්මික ඵලය වන්නේ නිර්වාණාවබෝධයයි. එය ලැබීමට
හැකියාව ඇත්තේ මනුෂ්‍ය භාවයක් ලැබූ පුද්ගලයන්ට පමණි. මනුෂ්‍යත්වය ලෞකික වූවකි. එකී
ලෞකික සමාජයෙහි අග්‍රතම ඵලය වන්නේ නිර්වාණාවබෝධයයි. නිර්වාණාවබෝධය ලැබූ බුදු
පසේබුදු මහ රහතන් වහන්සේලා නෙළුම් මලකට උපමා කර ඇත. නෙළුම් මල විලෙහි ජලය, මඩ, හා
සූර්ය රශ්මිය ආදිය උපකාරීත්වයෙන් හැදී වැඩෙයි. අවසානයෙහි නෙළුම් මල ජලයෙහිත්,
මඩෙහිත්. නොදැවටී ඉහළට විත් පිපී බබළයි. එයින් කියැවෙන්නේ ආර්යයන් වහන්සේලොගේ ජීවිත
මිනිස් සමාජය පදනම් වී ගොඩ නැගෙන බවත් අවසානයේ එකී සමාජයෙන් උත්තරීතර තත්ත්වයට
පැමිණෙන බවත් ය. එනිසා මිනිසත් බවින් උත්තරීතර තත්ත්වයට පැමිණීම මිනිස් භාවයක් ලැබූ
සියලු දෙනාගේ වගකීම වන බවයි. එවිට තමන්ට දුර්ලභව ලැබුණු මිනිසත්බව සංසාරය තුළ
සුරක්ෂිත වේ.
මිනිස් සමාජය ලෞකික වූවකි. එය කාමයට බර වූවකි. වගකීම් සමුදායකින් හෙබි වූවකි.
සාමාජයීය වශයෙන් යුතුකම් වගකීම් හා බැඳුණකි. එනිසා සංසාරයට යොමු වූවකි. මෙම තත්ත්වය
නොදන්නා වු පුද්ගලයෝ සාංසාරික ජීවිතය තවදුරටත් පෝෂණය කරමින් වැරැදි කායික, මානසික
හා වාචසික ක්‍රියා සිදු කරමින් කාලය ගෙවා දමමින්, නැවත නැවතත් සංසාරයට ඇලෙමින්
කටයුතු කරති. දස අකුසල්වල නිරත වීම මූලික වශයෙන් පුද්ගලයා අගාධයට පමුණුවයි. වැරැදි
කරමින් තමනුත් අනුනුත් සමඟ කලහ, වාද විවාද කරමින් සමාජය හා ගැටෙමින් වෛරය,
ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, හිංසාව, සොරකම,අනාචාරය , සුරාව , සූදුව වැනි
දුර්ගුණවලින් යුතුව ජීවත් වීමට මිනිස් බවෙහි වගකීම හා වටිනාකම නොදත් ජනයා පුරුදුව
සිටියි. ඔවුන්ගේ ජීවිත තමාට මෙන්ම සමාජයටත් මහත් විනාශයක් ගෙන දෙයි. එබඳු ජනයාගෙන්
යහපත, සදාචාරය හා උත්තරීතර ජීවිතය දුරින් දුරට යයි.
මිනිසත් බව පෝෂණය කරන උදාරතර ගුණධර්ම සමුදායක් බුද්ධ දේශනාව තුළ ඇතුළත් වේ. ඒ අතර
මංගල, මෙත්ත, ව්‍යග්ඝපජ්ජ, සිඟාලෝවාද , පරාභව ,අණන ආදි සූත්‍ර දේශනා රාශියක් වේ.
එකී දේශනාවල ඇතුළත් වන්නේ මිනිසත් බව සුරක්ෂිත කරමින් ආත්මාවබෝධයට පමුණුවන
ඉගැන්වීම් සමුදායකි. මෙම කෙටි ලිපියෙන් එම යහගුණ සියල්ල පැහැදිලි කිරීම අපහසු ය.
නමුත් සමස්තයක් වශයෙන් සැලකීමේ දී මිනිසත් බවෙහි වගකීම හුවා දක්වන එකී දේශනාවන්
අධ්‍යයනය කර තම ජීවිතය සැපවත් කර ගැනීම කවරෙකුට වුවත් සිදු කළ හැකි ය. මෙහි දී
මිනිසත් බව ලැබූවෙකු සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම පමණක් විමසනු ලැබේ.
ශිෂ්ට සමාජයක මූලික ලක්ෂණයක් වන්නේ සදාචාරාත්මක වූ අඹු – සැමි සම්බන්ධතාවක් පවත්වා
ගෙන යාමයි. එහි සාර්ථක පියවරක් වන්නේ දරු සම්පත් සමාජයට දායාද කිරීමයි. මෙම
තත්ත්වයත් සමඟ අඹු සැමියන් මව්පිය යන ගෞරවණීය පදවියට පැමිණෙයි. අනතුරුව මව්පිය දූ
දරු හා සහෝදර සහෝදරියන් යන සම්බන්ධතාවලින් සපිරි ඒකකයක් සමාජය තුළ ස්ථාපිත වෙයි.
මෙම සියලු දෙනාටම අනන්‍ය වූ යුතුකම් සමුදායක් සිඟාලෝවාද සූත්‍රයෙහි මනාව පැහැදිලි
කර ඇත. දෙමාපියන්ගේ වගකීම වන්නේ ගුණ නැණ සපිරි දරුවන් දැයට දායාද කිරීමයි. ඒ අනුව
පවින් වැළකීම , යහපතෙහි ඇසුරු කරවීම, ශිල්ප ශාස්ත්‍ර කියාදීම, ආවාහ විවාහ කර දීම හා
දායාද පැවැරීම නිවැරැදිව සිදු කරමින් දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනයක් සිදු
කරමින් සුඛිත මුදිත සමාජයක් හා සදාචාර සම්පන්න සමාජයක් කිරීමයි. ඒ අනුව සෑම
දෙමාපියන්ගේ ම මූලික කාර්යභාරය ඉටු කරන්නේ නම්, මිනිසත් බව අගයන සමාජයක් බිහි වීම
අනිවාර්යයෙන් ම සිදු වේ. ඊට අනුරූපව දරුවන් විසින් ද සිය යුතුකම් දෙමාපියන් වෙත ඉටු
කරමින් කල් ගෙවයි. මෙබඳු සමාජයක මූලික ඒකකය වන පවුල ගුණාත්මකව ශක්තිමත් වන විට
සමාජයත් ගුණාත්මකව හා සදාචාර සම්පන්නව ක්‍රියාත්මක වේ. එකී සමාජයක මිනිසත් බව
සුරක්ෂිත වේ.
මෙසේ මිනිසත් බව අගයන සමාජයක ජීවත්වන විට මිනිසත් බවේ උත්තරීතර තත්ත්වයට පිවිසීමට
අපහසු නොවේ. සමාජගත ගිහි පුද්ගලයෙක් වශයෙන් සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය, අංග
සම්පූර්ණ උපදෙස් සමුදායක් බුදුන් වහන්සේ විසින් පැහැදිලි කර ඇති අතර, එය සිය
ජීවිතයට බද්ධ කර ගැනීම මිනිසත් බව ලැබූ සැමගේ යුතුකමක් වේ. |