Print this Article


සතිපට්ඨාන භාවනාව 40: ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි වීර්යය බොජ්ඣංගය - අලසකම දුරලන වීර්යය

ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි වීර්යය බොජ්ඣංගය

අලසකම දුරලන වීර්යය

නිවන් සම්පත් බලාපොරොත්තු වන්නන්ට උට්ඨාන වීර්යය නැතිව නිවන් සම්පත් ලබන්නට බැහැ. උත්සාහය නැති කිසිකෙනෙකුට ධ්‍යාන, සමාපත්ති, මාර්ග ඵල , නිවන ලබන්නට පුළුවන්කමක් නැහැ. බලවත් උත්සාහවන්තයා තමයි, දියුණුවට පත්වන්නේ.

බුද්ධ කාලයේ වැඩ සිටි මහා සීව ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කළා. අවසානයේ යටිපතුල් පැලී සක්මන් කරන්නට නොහැකි වුණා. ඉන්පසුව දණහිසේ රෙදි පටි ගැට ගසා ගනිමින් දණහිසින් සක්මන් කළා. බලන්න, කෙතරම් උත්සාහවත් ද කියා? අවසානයේ දී දණහිසෙන් යන්නට නො හැකිව පසෙකට වී අඬ , අඬා සිටියා. දිව්‍ය පුත්‍රයකුත් ගසක අඬනවා. උන්වහන්සේ විමසුවා, කවුද මේ ගසේ අඬන්නේ යනුවෙන්. මා වෘක්ෂ දේවතාවෙක්. මාර්ග ඵලයක් ලැබේවා යනුවෙන් මා අඬනවා යැ’යි පැවසුවා. මේ මොහොතේ මහා සීව ස්වාමීන් වහන්සේ තමාටම අවවාද කර ගත්තා. පේනවා නේද? දෙවියොත් ඔබගේ රහත් වීම බලාපොරොත්තුවෙන් ඉන්නේ. එසේනම්, මහා සීව ඔබ රහත් වීම සඳහා නොපසුබට වීර්යයෙන් කටයුතු කරන්න. අලස වුණොත් මෙය කරන්නට බැහැ. ඒ නිසා වීර්යය තවත් දියුණු කර ගනිමින් වීර්යය සම්බොජ්ඣංගය දියුණු කර ගෙන ඍද්ධියෙන් වැඩම කර බුද්ධ වන්දනාව සිදු කළා.

එසේනම්, ශාසනික වශයෙන් සියලු පින්දහම් වලින් ඉදිරියට යන්න , දියුණු කරගන්න අත්‍යවශ්‍ය කාරණය උත්සාහය යි. එනම් විරිය සම්බොජ්ඣංගය යි. වීර්යය පදනම් කරගෙන සිහි නුවණ රඳා පවතිනවා. කම්මැළි, මන්දෝත්සාහී අයට සිහි නුවණ දෙකම නැති වී යයි. සිහිය මදිනම් කුමන දෙයක්වත් කරගන්නට බැහැ. සිහිය, නුවණ, උත්සාහය, සන්තෝෂය, සිතේ දරදඬු ගතිය නොමැති බව, සමාධිය ඇති බව, මධ්‍යස්ථබව ආදී කරුණු හත තිබුණොත් ඕනෑම කෙනෙකුට උත්සාහයෙන් වැඩ කරන්න පුළුවන්.

උත්සාහය දියුණු වන තරමටම සැනසුම, දියුණුව, යහපත, සලසා ගන්න පුළුවන්. දියුණුවක් නැතිනම්, උත්සාහය මද වෙයි. නුවණක් නැතිනම් උත්සාහය මද වෙයි. ඒ නිසා කවුරුත් සිහි නුවණ දෙක හොඳට දියුණු කරගන්න වගේ ම බලවත් උත්සාහයෙන් කටයුතු කළ යුතු යි. එය වීර්යය පාරමිතාවක් ලෙස සඳහන් වෙයි.

සතර සම්මග්පධන් වීර්යය, වීර්යය ඉන්ද්‍රිය, වීර්යය බලය, විරිය සම්බොජ්ඣංගය, විරිය ඍද්ධිපාද, සම්මා වායාම, බෝධිපාක්ෂික ධර්ම ස්ථාන රාශියකම සඳහන් වී තිබෙනවා වීර්යය සම්බන්ධයෙන්. එයින් පෙනෙනවා, වීර්යය නැතිව කිසිම දෙයක් කරකියා ගන්නට බැරි බව. ඒ නිසා කවුරුත් වීර්යය ඉස්මතු කරගෙන එහි දියුණුව, සලසා ගත්තොත්, තම සියලු ශාසනික පැතුම් ඉෂ්ඨ කරගන්න පුළුවන්කම තිබෙනවා. වීර්යය සම්බොජ්ඣංගය දියුණු කරගැනීම සඳහා පළමුව අපායේ ඇති භයානකත්වය නිතර , නිතර මෙනෙහි කර ගන්නට අවශ්‍යය යි. තිරිසන්, නරක, ප්‍රේත, අසුර වශයෙන් අපාය සතරක් තිබෙයි. අපායගාමී වන්නේ පව් කළ අයයි. දෙවැන්න වීර්යයේ අනුසස් සැලකිය යුතු යි. දෙව්ලොවට යනවා, නිවනට යනවා යනුවෙන් වීර්යයේ අනුසස් කල්පනා කළ යුතු යි. තෙවැන්න වීර්යයේ අනුසස් සැලකිය යුතු යි. භික්ෂූන් වහන්සේට පූජා කරන දානය ගෞරවයෙන් පිළිගෙන සුවපත් වේවා යනුවෙන් මෛත්‍රියෙන් ප්‍රත්‍යවේක්ෂාවෙන් වැළඳිය යුතු යි. සැදැහැවතුන්ලා ද දෙන දානය ගෞරවයෙන් පිළිගැන්විය යුතු යි. එවිටත් උත්සාහය හොඳින් වැඩී කිසිවිටකත් පිරිහීමට පත් වන්නේ නැහැ. සිව් වැන්න නිවන් මඟ නුවණින් මෙනෙහි කළ යුතු යි. තව ද ශාස්තෘන් වහන්සේ මෙනෙහි කළ යුතු යි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම වූ, අනන්ත බුදු ගුණ, අනන්ත ඥානයන්ගෙන් බැබළෙන ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බව සිතන විටත්, දෙතිසක් මහා පුුරුෂ ලක්ෂණ, අසූවක් අනු ව්‍යංජන ලක්ෂණ , කේතුමාලාවන්, සවණක් ගණ බුදු රැස් මාලාවන් ආදියෙන් තමන්ගේ ශාස්තෘන් වහන්සේ ගැන සිතන විටත්, වීර්යය වැඩෙනවා. තම ජාතිය ගැන සිහිපත් කළ යුතු යි. එනම් අප බුද්ධ ශ්‍රාවකයෝ , බුද්ධ වංශිකයෝ යැයි සිතන විටත් වීර්යය වැඩෙනවා.

සැරියුත් , මුගලන් වැනි සබ්‍රමචාරීන් වහන්සේලා ගැන සිහිපත් කළ යුතු යි. තමන්ට ලැබුණු දායාදය ගැන (බුදු සසුනෙන්) සිහිපත් කළ යුතු යි. කම්මැළි පුද්ගලයෝ ප්‍රහාණය කළ යුතු යි, කම්මැළි , අවාසනාවන්ත පුද්ගලයෝ ආශ්‍රය කළොත් තමන්ද ඒ අනුව ගමන් කරයි. තවද උත්සාහවන්තයෝ ආශ්‍රය කළ යුතු යි. උදේ , දවල් , සවස යනුවෙන් කාලය වෙන් කරවා ගන්නේ නැතිව අවශ්‍ය කටයුතු ඒ මොහොතේ සිද්ධ කරන බලවත් උත්සාහය ඇත්තන් ආශ්‍රය කළ යුතු යි. වීර්යය සඳහා නැඹුරු වූ සිතින් කටයුතු කළ යුතු යි. කම්මැළිකම දුරු කර, දවසම උත්සාහයෙන් කටයුතු කරන්න පුළුවන්නම් බොහොම හොඳ යි. මෙම කරුණු එකොළහ තම සන්තානයේ දියුණු කර ගැනීමෙන් වීර්යය සම්බොජ්ඣංගය වැඩෙන්නේ ය. කුසීතකම අලසකම දුරු වන්නේ ය. මේ ගැන සිතා කල්පනා කළොත් අපට, මේ ගමන ඉදිරියට යන්න පුළුවන්.

ආරම්භ ධාතු වීර්යය, නෙක්ඛම්ම ධාතු වීර්යය, පරාක්‍රම ධාතු වීර්යය, යනුවෙන් වීර්යයේ කොටස් තුනක් වෙයි. යමක් පටන් ගැනීමේ දී ලබා ගන්නා වීර්යය ආරම්භ ධාතු වීර්ය යි. දිගට ගෙන යාමේ වීර්යය නෙක්ඛම්ම ධාතු වීර්ය යි. අවසානය දක්වා ගෙනයාම පරාක්‍රම ධාතු වීර්ය යි.

බුදුරජාණන් වහන්සේ අසංඛ්‍යෙය කල්ප ලක්ෂයකට ඉහත දී පාරමී ගමන ආරම්භ කළා, ආරම්භ ධාතුවේ දී එසේ ම දිගට ගෙනාවා, නෙක්ඛම්ම ධාතුවේ දී ලොවුතුරා බුද්ධත්වය අවබෝධ කළා, පරාක්‍රම ධාතුවේ දී මෙලෙස උත්සාහය පදනම් කරගෙන දියුණු කරගෙන ආවොත්, වීර්යය සම්බොජ්ඣංගය හොඳින් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. එලෙසම ගෞතම මහ බෝසතාණෝ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළේ බලවත් උත්සාහය නිසයි. බුද්ධගයාවට වැඩම කරලා, තද අධිෂ්ඨානයක් කළා, ඇඟේ ලේ , මස්, නහර, ඇට, ඇට මිඳුළු, වියළී ගිය ද, පුරුෂ පරාක්‍රමය, පුරුෂ වීර්යයෙන් ලොවුතුරා බුද්ධත්වය ලබා මිස මේ ආසනයෙන් නැඟිටින්නේ ම නැහැ’යි අධිෂ්ඨාන කළා. මේ බලවත් උත්සාහය පරාක්‍රම වීර්යය යනුවෙන් හඳුන්වනවා. එය අකම්පිත වීර්යයක්. කුමන දෙයකටවත් කම්පා වන්නේ නැහැ.

එසේනම්, මේ ගැන සිතා කල්පනා කර, උත්සාහය දියුණු කර ගැනීම සඳහාම කටයුතු කළොත් වටිනවා. මේවා අනුන්ට නෙවෙයි, තමන්ට යි. තමන්ගේ ම ගුණ දියුණුව, තමන්ගේ ම ගුණ සම්පත්වල ආරක්ෂාව, පතා නොනැවතී ඉදිරියට යා යුතු යි යන අධිෂ්ඨානය වැදගත්. ශීලා දී ප්‍රතිපත්ති කිසිදු අඩුපාඩුවක් නැතිව ඉදිරියට ගෙන යන්න විරිය සම්බොජ්ඣංගය අත්‍යවශ්‍ය කරනවා. වීර්යය තම සිතෙහි පහළ වන ආකාරයත් හොඳින් බලා, එයත් ඇති වී නැති වී යන බව දැන විරිය සම්බොජ්ඣංගයත් අනිත්‍ය, දුක්ඛ ,අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නට අවශ්‍යය යි.

එසේනම්, සමථ , විදසුන් නුවණ දියුණු කර ගත්තොත්, මේ ගමන අවසානය දක්වා අපට යන්නට පුළුවන්. එසේම ඉන්ද්‍රිය බල බොජ්ඣංග හොඳින් දියුණු කළ යුතු යි. පාරමිතා දහය වීර්යය නිසා හොඳින් දියුණු කළ හැකි යි. මේ පිළිබඳ හසළ දැනුමෙන් තමන් යන ගමන් මඟ ඉදිරියට පිරිසුදුවට යාමෙන් අවංක භක්ත්‍යාදරයෙන් කටයුතු කර, මේ ගමන නිවන දක්වාම යාමට පුළුවන්. මාර්ග ඵල අවස්ථාව දක්වාම අපායෙන් නිදහස්ව සුගතියකදී ම වරප්‍රසාද හමු වීම වීර්යයේ ප්‍රධාන ආනිසංසයක්. එසේනම්, අප සම්බුද්ධ ශාසනයක ලැබෙන ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණුවෙන්, ගුණ ධර්ම හොඳින් ආරක්ෂා කර, බුදු සසුන රැකගෙන, පාරමී ගුණ සම්පත් හොඳින් දියුණුවෙන්, ඉක්මන් භවයකදී ම නිවන් පසක් කරගන්නට ලැබේවා!