Print this Article


සුත්ත නිපාතයෙන් ...:  ජීවිත යථාර්ථය නුවණින් දැකීම

සුත්ත නිපාතයෙන් ...: 

ජීවිත යථාර්ථය නුවණින් දැකීම

ආමගන්ධ සූත්‍රය - පිළීගඳ ගැන වදාළ දෙසුම

අද අපි ඉගෙන ගන්නේ සුත්ත නිපාත ග්‍රන්ථ රත්නයේ, මූල වර්ගයේ දෙවැනි දේශනාව වන ආමගන්ධ සූත්‍රය යි. සද්ධර්මය කුමක්දැයි හඳුනා නො ගත් ජනතාව අතර මේ දක්වා ම විවාදාත්මකව පවතින කරුණක් මෙම දෙසුමට මුල් වී තිබෙන්නේ. බුද්ධිමත් කෙනෙකුට මේ දෙසුම තුළින් එම කරුණ ඉතාම පැහැදිලිව තේරුම් ගත හැකි ය.

ආමගන්ධ නමින් සිටි බමුණෙක් පන්සියයක් පිරිවර සමඟ හිමාල වනයේ වසමින් කලින් කලට ලුණු, ඇඹුල් සෙවීම පිණිස ගම්දනව්වට පැමිණුනහ. නිර්මාංශ ආහාරයම පුන පුනා වර්ණනා කරන ඔවුන් ගැන පැහැදුන ගම්වාසීහු ඔවුන්ට හොඳින් උපස්ථාන කරති.

ජීවිත යථාර්ථය සෙවීම

දිනක් ඒ ගම්මානයට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත යුතු ජීවිත යථාර්ථය ගැන දහම් දෙසූ සේක. දහම් ඇසූ ගම්වාසීන් බොහෝ දෙනෙක් මගඵල ලැබූහ.

වෙනත් දිනයක ආමගන්ධ තවුසා ඒ ගමට පිරිස සමඟ පිඬු පිණිස පැමිණියේ ය. ගම්වාසීන් තුළ දන් දීමට වෙනදා තිබූ උනන්දුව එදා නො තිබුණි. ආමගන්ධ තවුසා මේ වෙනස ගැන විමසු විට බුදුරදුන් ගමට වැඩි බවත්, ඒ නිසා තමන් ධර්මාවබෝධය ලැබූ බවත් ගම්වාසීහු පැවසූහ.

එවිට ඒ තවුසා ඔබ කියන බුදුරජාණන් වහන්සේ ආමගන්ධය වළදන්නෙ දැයි ගම්වාසීන්ගෙන් විමසී ය. ආමගන්ධය යනු කුමක්දැයි ගම්වැසියන් විමසූ විට ආමගන්ධ යනු මස් මාංශවලට කියන නමක්යැයි පිළිතුරු ලැබිණ. “පින්වත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ නම් මස් මාංශ වළඳිති”යි ගැමියෝ පැවසූහ.

එය ඇසූ ආමගන්ධ තවුසා ඒ ගැන කළකිරී බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට සිතා පිරිසක් සමඟ සැවැත්නුවර බලා පිටත් විය. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසුණු තාපසයා,

”ස්වාමිනි භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ ආමගන්ධය වළඳත් ද? නො වළඳත් ද?

”තවුසාණෙනි, ඔබ කියන ආමගන්ධය යනු කිමෙක් ද?

”ස්වාමිනි, එය මස්මාංශවලට නමකැයි” තවුසා පැවසී ය.

එවිට භාග්‍යවතුන් වහන්සේ මස් මාංශ ආමගන්ධ නො වන බවත්, ලාමක සියලුම අකුසල්, කෙලෙස් ආමගන්ධ බවත් වදාළ සේක.

අතීතයේ දී තිස්ස නම් බමුණෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ “ස්වාමීනි, ආමගන්ධය යනු කුමක්දැයි” විමසූ විට ඒ කාශ්‍යප බුදුරදුන් මෙසේ පිළිතුරු දුන් බව පවසමින් මෙම දේශනය අපගේ ශාස්තෘන් වහන්සේ ආමගන්ධ තවුසාට වදාළ සේක. එම සූත්‍රය ඇසූ තවුසා ඇතුළු පිරිස පැවිදි වී නොබෝ කලකින්ම සීල, සමාධි, ප්‍රඥා වඩා උතුම් වූ අරහත්වය සාක්ෂාත් කළහ.

පිළීගඳ යනු කුමක් ද?

ගෞතම බුදුරජාණන් වහන්සේ අතීත සිදුවීම විස්තර කරමින් මෙසේ වදාළ සේක. 'බමුණානෙණි, එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තිස්ස නම් බමුණාට ගාථා තුනකින් මෙසේ වදාළ සේක. ‘මෙනේරි, අමු ඇට, තල ගුලි, කොළ දළු, අල මුල්, පලතුරු ආදී දැහැමින් ලැබෙන දේ වළඳන, දැහැමින් සැනසෙන උදවිය, කාමය නො පතන බැවින් බොරු නො කියති. එහෙත් රසවත්ව පිසින ලද, ඇල් හාලේ බතින් යුතු දානයක් කෙනෙක් පූජා කළ විට, කාශ්‍යප බුදු සමිඳුනි, ඔහු වළඳන්නේ පිළීගඳ නොවේ ද? ඔබ වහන්සේ කලින් පැවසුවේ පිළීගඳ තමාට කැප නැති බව යි. නමුත් දැන් ඔබ වහන්සේ මනාව පිසින ලද ලිහිණි මස් සමඟ ඇල් හාලේ බත් වළඳති. කාශ්‍යප සමිඳුනි, එසේ නම් ‘පිළීගඳ’ වශයෙන් ඔබ වහන්සේ අදහස් කළේ කුමක් දැයි? විමසී ය.

එම පැනයට පිළිතුරු වදාරමින්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

පාණාතිපාතෝ වධජේදබන්ධනං
ථෙයියං මුසාවාදෝ නිකතී වඤ්චනානි
අජෙෙක්‍ධිනකුජ්ඣං පරදාරසේවනා
ඒසාමගන්ධෝ ත හි මංසභෝජනං

ප්‍රාණීන් ඝාතනය කිරීම, වද දීම, අතපය බිඳලීම, සතුන් සිරකොට තැබීම, අන්සතු දේ සොරකම් කිරීම, බොරුවෙන් රැවටීම, වංචා කිරීම, ක්‍රෝධයෙන් කල් ගෙවීම, අනුන්ගේ බිරින්දෑවරු ඇසුරු කිරීම, යන මේවාට ‘පිළීගඳ” කියන්නේ ය. මාංශහාරය නම් නොවේ.

ඉන්පසු දෙවැනි ගාථාවෙන් තවදුරටත් කරුණු පහදා දුන් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. ‘කාම සැපයෙහි මුළා වූ, කාම රසයෙහි ගිජු වූ, අකුසල් සමඟ එක් වූ, මෙලොව පරලොව පිළි නො ගන්නා, පින්, පව්, නො පිළිගන්නා කෙනෙක් වේ ද, එයයි පිළීගඳ. මාංශහාරය නම් නොවේ. තුන්වෙනි ගාථාවෙන් සැබෑ පිළීගඳ හෙවත් ලාමක අකුසල් මොනවාදැයි කියා වදාළේ මෙලෙසිනි. “යමෙක් නපුරු සිත් ඇතිව, කුරිරු ගති ඇතිව, කපටිව සිටිත් ද, මිතුරන්ට සතුරු වෙත් ද, කරුණා රහිත වෙත් ද, අති මානයෙන් වසත් ද, මෙය යි පිළීගඳ. මාංශහාරය නම් නොවේ.

ඊළඟ ගාථාවෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලාමක අකුසලයන්ගේ තවත් පැතිකඩක් මෙසේ විවරණය කළ සේක.

කෝධෝ, මදෝ, ථම්හෝ, පච්චුට්ඨාපනා ච
මායා උසුයා හස්සසමුස්සයෝ ච
මානාතිමානෝ ච අසබ්හි සන්ථවෝ
ඒසාමගන්ධෝ න හි මංසභෝජනං

ක්‍රෝධය, මදය, දැඩි බව, එකටඑක කිරීම, මායාව, අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, පුරසාරම් දෙඩීම, අතිමානයෙන් සිටීම, දුදනන් සමඟ ඇසුර වේ ද, මේවාය පිළීගඳ. මාංශ හාරය නම් නොවේ.

අකුසල්

ඉන්පසු බුදුරජාණන් වහන්සේ තවත් ගාථා තුනකින් අසත්පුරුෂයන් තුළ පවතින අකුසල් ස්වභාවයන් මෙලෙසින් ඉස්මතු කළ සේක.

නරක ගතිගුණ ඇති, ණය ගත් පසු ආපසු නො ගෙවන, අධාර්මික වේශයෙන් සෑම ගනුදෙනු කරන, අධම මිනිස්සු බොහෝ පව් රැස් කරත්. මේවාය පිළීගඳ. මාංශහාරය නම් නොවේ.

සතුන් කෙරෙහි කරුණාවක් නො මැති, අනුන් සතු දේ බලෙන් පැහැර ගන්නා වූ, අනුන්ට වධ හිංසා කරන, දුස්සීල, කුරිරු නපුරු බස් ඇති, දයා රහිත වූ යමෙක් වේ ද එයයි පිළීගඳ. මාංශාහාරය නම් නොවේ.

පංච කාමයන් කෙරෙහි ගිජු වී, විරුද්ධවාදීන් ඝාතනය කරන, නිති පව් කරන මේ උදවිය අඳුරටම වැටෙත්, මෙයයි පිළීගඳ. මාංශහාරය නම් නොවේ යැයි වදාළ සේක.

එලෙසින් වදාළ බුදුරජාණන් වහන්සේ, නිර්මාංශ ආහාරයෙන් කෙනෙකු පිරිසුදු නො වන බවත්, එය සීලයක් හෝ නිවන්්මගේ අංගයක් නො වන බව කරුණාවෙන් පෙන්වා දුන්නේ මේ අයුරිනි.

න මච්ඡමංසං නානාසකත්තං
න නග්ගියං න මුණ්ඩියං ජටාජල්ලං
ඛරාජිනානි නාග්ගිහුත්තස්සුපසේවනාවා
යේ වාපි ලෝකේ අමරා බහු තපා
මන්තා’හුතී යඤ්ඤමුතුපසේවනා
සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං

‘මාළු, මස් කිසිදෙයක් නො වළඳන, නිර්වස්ත්‍රව තපස් රකින, හිස මුඩු කරන, ජටා මටළු දරන, ගෝන සම් දරන, අළු තවරාගෙන සිටින, ගිනි දෙවියන් පුදන, යාග හෝම කරන මන්තර මතුරන, සෘතු ගුණ සොයන කවරෙකු නමුත්, සැකයෙන් එතෙර නොවුන පුද්ගලයා මේ තුළින් නම් කිසිදා පිරිසුදු නො වෙති.”

සැබෑ පිරිසුදු බව

අවසාන ගාථා රත්නයෙන් සැබෑම පිරිසුදු බව ලබාගත් නිකෙලෙස් හද මඬල දරාගත් උතුම් රහතන් වහන්සේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙලෙසිනි.

සෝතේසු ගුත්තෝ විදිතින්ද්‍රියෝ වරේ
ධම්මේ ඨිතෝ අජ්ජවමජ්ජවේ රතෝ
සංගාතිගෝ සබ්බදුක්ඛප්පහීනෝ
න ලිප්පතී දිට්ඨසුතේසු ධීරෝ

ඉඳුරන් රැකගෙන, සංවර වූ, ඒ ඉඳුරන්ගේ යථා ස්වභාවය අවබෝධ කොටගෙන, සද්ධර්මය තුළම සිටිනා, අවංක වූ, මෘදු වූ, කෙලෙස් දුරු කළ හැම දුක් නසා දැමූ මුනිවරු, අසන, දකින, ආඝ්‍රණය කරන, රස විඳින, පහස ලබන, කිසිවකට නො ඇලෙති.

එනිසා පින්වතුනි, අපද දෘෂ්ඨිගත නො වී, සැබෑ ම සිල්වතුන් බවට පත්වී නිවන් මඟ වඩන්නට මේ උතුම් දේශනාව මහෝපකාරී වේවා!