Print this Article


සියල්ල සිදුවන්නේ කර්මය අනුව ද?

සියල්ල සිදුවන්නේ කර්මය අනුව ද?

" අතීත කර්මයක විපාකයක් හැටියට මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුණ බව ඇත්තයි. නමුත් ඒ මනුෂ්‍ය ශරීරය පවත්වාගෙන යන්නට අවශ්‍ය ක්‍රියාකාරකම් අප විසින් සිද්ධ කරන්න ඕනෑ. තමන්ට ලෙඩක්, රෝගයක් වැළඳුන වෙලාවට ඒවාත් කර්මයට බාර කරන අය සිටිනවා. ලෙඩ රෝග සෑදෙන්නේ විවිධ හේතූන් නිසා බව ගිරිමානන්ද සූත්‍රයට අනුව අපට තේරුම් ගන්න පුළුවන්."

දරාගන්න අමාරු, විසඳා ගන්න බැරි, ඉවසාගත නො හැකි ප්‍රශ්නයක දී බොහෝ දෙනා කියන්න පුරුදුවෙලා ඉන්නවා මොනවා කරන්නද? මේ සියලු දේ වෙන්නේ කර්මය අනුවයි කියලා. එක් ලේසියෙන් කියන වාක්‍යයක්.

එනිසාම හැමදේම කරුමෙට ම බාරදීලා ඇඟ බේරා ගැනීමේ ස්වභාවයක් අපට තිබෙනවා. බෞද්ධයන් වන අපි සියල්ල කරුමෙට ම බාර දෙනවා වාගේ ම අබෞද්ධයන් මෙය තව කෙනෙකුට භාරදෙනවා. ඒ තමයි ඒක ඉතින් දෙවියන්ගේ කැමැත්ත කියලා ඒ අය ඒවා සේරම දෙවියන්ට බාර දෙනවා. නමුත් මේක මගේ පෙර කරුමේ කියලා සියල්ල පෙර කරුමෙට බාර දෙන එක බෞද්ධකම නො වෙයි. ඒ නිසා ඔය ඇත්තෝ යම් යම් ප්‍රකාශ කරන විට බෞද්ධකමට නො ගැලපෙන ආකාරයේ ප්‍රකාශ නො කරන්න වග බලාගන්න ඕනෑ. සියල්ල කරුමෙට භාර දීලා බෞද්ධකමට හානි වෙන කතා කියන්න එපා.

බුදුදහම හේතුඵල දහමක්

සබ්බං පුබ්බේ කත හේතුවාදය හෙවත් සියල්ල පෙර කරන ලද කර්මවලට අනුව සිදුවෙනවාය යන අදහස බුදු දහම පිළිගන්නේ නැහැ. අතීතයේ දී හෝ වර්තමානයේ දී කරන ලද කර්මයක විපාකයක් ලෙස සියල්ල සිදුවන බව බුදුපියාණන් වහන්සේ පිළිගෙනත් නැහැ. සෙම්ප්‍රතිශ්‍යාවක්, උණක් හැදුනොත් එය ද පූර්ව කර්මයක විපාකයක් යැයි සිතන, සියල්ල කර්මයට බාර කරන අය අදත් ඉන්නවා. අර වේදනාව ඉවසා දරා ගන්න බැරි වුණාම තමයි ඒ අය බොහෝ විට එහෙම කියන්නේ. වේදනාව ඉවසාගන්න බැරිකම වගේ ම තමන්ගේ වැරැද්ද පිළිගන්න බැරි වුණාමත් ඇතැම් අය ඒවා කරුමෙට වුන දේවල් කියා කියනවා. නමුත් කළ වැරැද්ද, වංචාව වැරැද්දක් විදිහට නො දකින, එහෙම එකක් පිළිගන්න අකැමැති පුද්ගලයා මගේ අතින් එහෙම දෙයක් වුණේ නැහැ කියලා හිතාගෙන තමන් ම මුළාවට පත් වෙලා, තමන් දැන් විඳින දුක් අතීත කර්මවලට කොටු කරනවා.”මම දැනුවත්ව නම් මේ ආත්මයේ දී මගේ අතින් කිසිම වරදක් වෙලා නැහැ. මේ සංසාරේ කරපු දෙයක් වෙන්න ඇති” කියලා බොහෝම ලෙහෙසියට ඒවා අතීතයට ගලපා යවන අය ඔබ දන්නවා ඇති. එහෙම අය සිටිනවා. කෙනෙක් මනුලොව උපදින්නේ පෙර කරන ලද කර්මයක විපාකයක් නිසා බව සත්‍යයක්. නමුත් ඒ පුද්ගලයා ඉපදී ජීවත් වන්නට නම් සිව්පසය සම්පාදනය කරගන්න ඕනෑ.

ඔන්න අපි හිතමු කෙනෙක් මියගොස් නැවත මනුෂ්‍යයෙක් ලෙස උපදිනවා. එහෙම ඉපදීමට බලපාන කර්මයට ජනක කර්මය කියා කියනවා. ඒ ප්‍රබල ජනක කර්මයක ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍ය ජීවිතයක් ඒ පුද්ගලයාට ලැබුණා. එහෙම ලැබුණ තැනැත්තා මට මේ මනුෂ්‍ය ජීවිතය ලැබුණේ මම සංසාරේ කළ කර්මයක් නිසා කියලා හිතලා ඒ කර්මයට ජීවත් වීමත් බාර කරලා නිකම්ම හිටියොත් මොකද වෙන්නේ? අර ජනක කර්මය ඉක්මනටම ඉවර වෙයි. එහෙම නේද? මම කරපු ජනක කර්මයෙන් ම මම ජීවත් වෙයි කියා කන්නේ බොන්නේ නැතිව, අඳින්නේ, පළඳින්නේ නැතිව, ලෙඩට දුකට බෙහෙත් ගන්නේත් නැතිව හිටියොත් ඒ පුද්ගලයාට ඒක විශාල පාඩුවක්. ඒ නිසා හැම දෙයක් ම කරුමෙට බාර දෙන්න බැරි බව අපි මතක තියාගන්න ඕනෑ.

පැවැත්මට අවශ්‍ය සිව්පසය

මේ ලොව ඉපදෙන කිසිවෙකුට ආහාරපානාදිය නැතිව අතීත කර්මයෙන් ම ජීවත් වීමට බැහැ. එහෙම ආහාරපානාදිය සොයා ගැනීමේ දී අපට ඒ සඳහා වෙහෙසෙන්න, කැප වෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ පැවැත්මට අවශ්‍ය සියල්ල අතීත කර්ම විපාක ලෙසින් බලා සිටින්නෝ කුසීතයෝ ය කියා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ අන්න ඒ නිසායි. අතීත කර්මයක විපාකයක් හැටියට මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුණ බව ඇත්තයි. නමුත් ඒ මනුෂ්‍ය ශරීරය පවත්වාගෙන යන්නට අවශ්‍ය ක්‍රියාකාරකම් අප විසින් සිද්ධ කරන්න ඕනෑ. තමන්ට ලෙඩක්, රෝගයක් වැළඳුන වෙලාවට ඒවාත් කර්මයට බාර කරන අය සිටිනවා. ලෙඩ රෝග සෑදෙන්නේ විවිධ හේතූන් නිසා බව ගිරිමානන්ද සූත්‍රයට අනුව අපට තේරුම් ගන්න පුළුවන්. පිත්ත සමුට්ඨානා ආබාධා, සෙම්භ සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා, උතුපරිණාමජා ආබාධා, ආදී වශයෙන් සෑදෙන විවිධ රෝග වර්ගයන් පිළිබඳව ගිරිමානන්ද සූත්‍රයෙහි විස්තර කෙරෙන බව ඔබ අහලා ඇති. අපට වැළඳෙන සියලුම රෝග කර්මය මුල්කරගෙන වැළඳෙන ඒවා නො වන බව මේ අනුව අපට තේරුම් ගන්න පුළුවන්. එම රෝග ලයිස්තුවට අනුව කර්මය එක් හේතුවක් පමණයි. ඔය අතරින් කර්මය නිසා හටගන්නා ලෙඩ රෝග කම්ම විපාකජා ආබාධා වශයෙන් හැඳින්වෙන අතර, සමහර ලෙඩ පිත වැඩිවීම නිසා ද, තවත් සමහර ලෙඩ සෙම වැඩි වීම නිසා ද, ඒ වාගේම වාතය වැඩිවීම නිසා හටගන්නා තවත් රෝගයන්ද ඇති බව අවධාරණය කළ යුතු ය.

ඉතින් මේ ලෙඩවලින් වළකින්න නම් අප කළ යුත්තේ කුමක් ද? බෝධි පූජාවක් තියන එක ද? බලු කපුටු දානයක් දෙන එක ද? එහෙම නැත්නම් කුරුල්ලෝ ටිකක් නිදහස් කරන එක ද?. නෑ, ඒවා නොවෙයි, පිත වැඩි නම් පිත අඩු කරගන්න ඕනෑ. පිත වැඩි වෙන්නේ කෑම බීම නිසා. මේ පිත වැඩි වෙන කෑම නොකා ඉන්න ඕනෑ. සෙම වැඩි වෙන්නේ නෑම නිසා නම් කරන්න ඕනෑ උදේට හවසට නැතිව හොඳින් ඉර පායා ඇති වේලාවට නාන එකයි. එහෙම නැතිව අනේ මේක නම් මගේ කරුමේ, හැමදාම සෙම කියලා කනගාටුවෙන් හිටියාට හරියන්නේ නැහැ. එහෙම නේද? ඒ විදිහට හැමදේ ම කර්මයට බාර දෙන්න හොඳ නැහැ. නමුත් ඔය ඇත්තෝ තේරුම් ගත යුතු තවත් කාරණාවක් මෙතැන තියෙනවා. මේ කියන ලෙඩවලට කර්මය කියන එකේ පොඩි සම්බන්ධයක් තිබෙන බව අපි පිළිගන්න ඕනෑ. සමහරු කන කෑමවලට පිත වැඩිවෙනවා පමණක් නොවේ හරිනම් පිත උතුරා යන්න ඕනෑ. සෙමත් එහෙම යි. නමුත් එහෙම කෑවා කියලා ඒ අයට සෙමක් නැහැ. එහෙම අයත් ඉන්නවා. සමහරු බොන්නේම කූල් වතුර, ඉන්නේ ම ශීත කාමරවල. සීතලයි කියන කෑමත් කනවා. නමුත් ඔය කියන කිසිම සෙම් අමාරුවක් ඒ අයට නැහැ. එහෙම වෙන්නේ මොකද? අන්න එතැන දී තමයි අර කර්මය කියන සිද්ධාන්තය අපට ගන්න වෙන්නේ. තමන්ගේ කර්මයත් සමඟ කිසියම් සම්බන්ධයක් එතැන තිබෙන බව පැහැදිලියි.

කරුමෙන් බේරෙමු

ඉතින් පින්වත්නි, ලෙඩක් හැදුණාම පටන් ගත් තැනදී ම එය කර්මයට දාන්නේ නැතිව මේ ලෙඩේ හැදෙන්න හේතුව මොකක්ද කියා බලන්න ඕනෑ. එහෙම බලන විට ලෙඩේ හැදෙන්න හේතුව කර්මය නොවෙයි කියා අපට තේරෙන්න පුළුවන්. කර්මය සමහර විට එයින් දහයෙන් එකක් පමණක් විය හැකියි. ඉතිරි හේතු නවය සනීප කරගත්තොත් ඒ කර්ම ශක්තියත් දුරුවී යන්න පුළුවන්. ඒ නිසා සියල්ල කර්මයට ම බාර දිය යුතු නැති බව අප අවධාරණය කළ යුතු යි.

ඒ වාගේ ම බුදුපියාණන් වහන්සේගේ ධර්මයෙහි කම්ම නියාම, බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම සහ ධම්ම නියාම වශයෙන් නියාම ධර්ම පහක් දක්වා ඇති බව පින්වතුන් දන්නවා. කර්ම නියාමය ඔය පහෙන් එකක් පමණයි. සියල්ල නොවෙයි. නමුත් ඒ ඉතිරි හතරටම කර්මයෙහි යම් සම්බන්ධයක් තිබිය හැකියි. දැන් අපේ රටට සුනාමියක් ආවානේ. එතකොට සුනාමිය කියන්නේ මොන නියාමයට අයත් එකක් ද? එය උතු නියාමයට අනුව සිදු වූ එකක්. එතකොට කුරුණෑගල කට්ටිය එදා ගාල්ලේ ගිහින් තියෙනවා. එහෙම කුරුණෑගල හිටි අය එදා ගාල්ලේ ගියේ ඒ අයගේ කරුමයට ද? ඒ අය ගාල්ලේ ගියේ කරුමෙට නොවෙයි. කරුමේ ගාල්ලේ ගිහින් සූනාමියට අහුවුණ එකයි. එහෙම නැතිව ගාල්ලේ ගිය පමණින් ඒක කරුමයක් වන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනෑ.

එදාම ගාලු මුහුද අයිනේ හිටි අය නුවර ගිහින් තිබෙනවා. ඒ කට්ටිය සුනාමියට හසු නොවී බේරෙන්නටත්, රට මැද හිටපු අය එදාම ගාලු ගිහින් සුනාමියට හසුවෙන්නටත් කර්මයේ බලපෑමක් තියෙන්න ඕනෑ. එහෙම නෙ ්ද? සුනාමිය ඇති වූයේ කාගේවත් පූර්ව කර්ම විපාකයක් හැටියට නොවෙයි. එය ස්වභාව ධර්මය හේතුකොට ගෙන සෘතු නියාමය නිසාවෙන් ඇති වුවත් එයට ගොදුරු වූ අය තම තමන්ගේ පුද්ගලික කර්ම ඉස්මතු වූ අය යි. ඒ නිසා එතැන දී මේ කර්මයෙහි කිසියම් සම්බන්ධතාවයක් තිබෙන බව අවධාරණයට ගත යුතු වෙනවා.

එනිසා සියල්ල සිදු වන්නේ පෙර කළ කර්මයට නොවේ, හේතුඵල දහමක් අනුව බව යන්න ඔබට පැහැදිලි ඇත.