Print this Article


කළ කම් පල දෙන හැටි 21: ලෝක ධර්මතාවලට අවබෝධයෙන් මුහුණ දිය යුතුය

ලෝක ධර්මතාවලට අවබෝධයෙන් මුහුණ දිය යුතුය

බුදුදහම, ලෝක ධර්මතාවලට මුහුණ දෙමින්, ලෝක ධර්මතා අභියෝග ලෙස කල්පනා කරමින් මිනිසාට අවබෝධයෙන් ජීවත්වීමට උගන්වයි. පුද්ගලයකුට ජීවිතයේ වැදගත්ම වන්නේ අවබෝධය යි.

මෙලොව ජීවත් වන ඔහු තමාගේ පරලොව ජීවිතය පිළිබඳව ද අවබෝධයකින් ජීවත් විය යුතු ය.

මිහිරි මී පැණි සේ සිතා සිදුකරනු ලබන ක්‍රියාවල විපාක පිළිබඳවත්, ඒවායේ ආදීනවයන් පිළිබඳවත් දැනුම්වත් විය යුතු ය. ආදීනවයන් පිළිබඳව වැටහීමකින් තොරව කිසිවක් නොකළ යුතු ය. තමා විසින් අන්‍යයන්ට යම් අයහපතක් කරනු ලබන්නේ නම්, එහි විපාකය තමාට ද අනිවාර්යෙන් ම අත්විඳීමට සිදුවන බව දැනගත යුතු ය. වචනයෙන් යම් අයහපත් ක්‍රියාවක් කරන්නා එය කරන අවස්ථාවේ දී ම එය කරන්නට පළමුව, එහි විපාකය තමන්ට භුක්ති විඳීමට සිදුවන බව සිතාගෙන කළ යුතු ය.

සමාජයේ ජීවත්වන කිසිදු පුද්ගලයකුට කර්මයෙන් ගැලවී යෑමට හෝ මිදීමට නොහැකි ය. කවර පුද්ගලයකු අසාධාරණ ලෙස සමාජය තුළ ජීවත් වුව ද, ධර්මයට අසාධාරණ ලෙස ජීවත් විය නොහැකි ය. ඒ අනුව ධර්මානුධර්ම ප්‍රතිපදාව අනුව ජීවත් නොවන්නා සමාජයෙන් දුරස් කරවයි. එය ස්වභාව ධර්මයට අනුව, එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වන්නකි.

බුදු දහම මඟින් සත්ත්වයාට උගන්වනු ලබන්නේ මෙකී යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වන්නට ය. එසේ ජීවත් වූ පුද්ගලයාගේ ජීවිතය සාර්ථක වෙයි.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයෙහි තෝදෙය්‍ය බමුණු පුත් සුඛ නම් තරුණයා බුදුරජාණන් වහන්සේ ගෙන් මිනිසුන් අතර විවිධ විශේෂතා ඇතිවීමට කාරණා විචාළේ ය.

“ බුදුහිමියනි,

අඩු ආයුෂ ඇති, වැඩි ආයුෂ ඇති

රූසිරි සහිත, රූසිරි රහිත,

ලෙඩ රෝග වැඩි, ලෙඩ රෝග අඩු,

බොහෝ පිරිස් ඇති, බොහෝ පිරිස් නැති,

භෝග සම්පත් ඇති, භෝග සම්පත් නැති,

උසස් කුලවල උපන්, පහත් කුලවල උපන්,

මනා නුවණ ඇති, නුවණින් පිරිහුණු

පුද්ගලයා තුළ මේ ආකාරයේ විවිධත්වයක් ඇතිවීමට හේතු කාරණා කවරේද?” .

” තරුණය, මිනිස්සු කර්මය තමා කොට ගෙන, කර්මය දායාද කොටගෙන, කර්මය උප්පත්තිය කොටගෙන, කර්මය නෑයා කරගෙන, කර්මය පිළිසරණ කරගෙන වාසය කරති. එම කර්මය විසින් මිනිසා තුළ මෙබඳු විවිධත්වයක් ඇති කරවනු ලබයි.”

”බුදුහිමියනි, ඔබ වහන්සේ සැකෙවින් කළ ඒ දෙසුම වඩාත් විස්තරාත්මකව දේශනා කරනු ලබන්නේ නම්, ඉතා මැනවි.

එවිට බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ විශේෂතා ඇතිවීමට හේතු මෙසේ විස්තර කළ සේක.

අඩු ආයුෂ ඇතිවීමට හේතු – කරුණා මෛත්‍රී ගුණ නැති, මුදු මොළොක් සිත් නැති, රුදු සිත් සහිත පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් ප්‍රාණඝාත කරත් නම්, මරණින් මතු අපායේ උපත ලබයි. පසුව කවර කලෙක හෝ මිනිසත් බව ලැබූ පසු කළ කර්මය හේතුවෙන් අල්ප වූ ආයුෂ ඇත්තෙක් වෙයි.

දීර්ඝායුෂ ලැබීමට හේතු – කරුණා මෛත්‍රී ගුණ ඇති. මුදු මොළොක් සිත් ඇති, පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් ප්‍රාණඝාත නොකරන්නේ නම් හැටි, මරණින් මතු දෙව්ලොව උපදියි. කවර කලෙක හෝ මිනිසත් බව ලැබූ පසු කළ කර්මය හේතුවෙන් දීර්ඝ වූ ආයුෂ ඇත්තෙක් වෙයි.

ලෙඩ රෝග බහුල වීමට හේතු – යම් කෙනෙක් කයින් හෝ, වචනයෙන් හෝ, මනසින් හෝ දඬු මුගුරු කැට කැබිලිතිවලින් සත්ත්වයාට හිංසා කරත් නම්. ඔහු මරණින් මතු අපායේ උපත ලබයි. එසේ නොවී මිනිසත් බවට පත් වේ නම් , ඔහු බොහෝ ලෙඩ රෝග සහිත කෙනෙක් වෙයි.

අඩු ලෙඩ රෝග සහිත වීමට හේතු – යම් කෙනෙක් කයින් හෝ වචනයෙන් හෝ මනසින් හෝ දඬු මුගුරු කැට කැබැලිතිවලින් හෝ සත්ත්වයාට හිංසා නොකරත් නම්, මරණින් මතු දෙව්ලොව උපදියි. එසේ නොවී මිනිසත් බව ලබත් නම්. පිරූ ප්‍රතිපදාව නිසා ලෙඩ රෝග රහිත හෝ අල්ප ලෙඩ රෝග ඇත්තෙක් වෙයි.

රූසිරි සහිත වීමට හේතු – යමෙක් ක්‍රෝධ නැති, වහා නොකිපෙන බොහෝ වචන කීව ද නිහඬ වන ස්වභාව ඇත්තෝ හෙතෙම මරණින් මතු සුගතියේ උපදියි. මිනිසත් බව ලැබූ විට කර්මය නිසා රූමත් කෙනෙක් වෙයි.

දුර්වර්ණ වීමට හේතු – යමෙක් ක්‍රෝධ සහිත, වහා කිපෙන සුලු, සුළු දෙයකට පවා කිපෙන ස්වභාව පවතී ද මරණින් මතු දුගතියේ උපත ලබයි. මිනිසත් බව ලැබූ විට කළ කර්මය නිසා විරූපී කෙනෙක් වෙයි.

බොහෝ පිරිවර සම්පත් ඇති වීමට හේතු - යමෙක් ඊර්ෂ්‍යා සහගත සිත් නැති ද, අන්‍යයාගේ සැපතෙහි ඊර්ෂ්‍යා නොකරයි ද, ද්වේෂ නොකරයි ද එබඳු ස්වභාව ඇත්තා මරණින් මතු සුගතියෙහි උපත ලබයි. මිනිසත් බව ලැබූ විට කළ කර්මය නිසා මහා පිරිවර සහිත කෙනෙකු බවට පත්වෙයි.

හුදකලා වීමට හේතු - යමෙක් ඊර්ෂ්‍යා සහගත සිත් ඇති ද,අන්‍යයාගේ ලාභ සත්කාරයේ ඊර්ෂ්‍යා කරයි ද ,ද්වේෂ කරයි ද,එබඳු ස්වභාව ඇත්තා මරණින් මතු දුගතියේ උපදියි. මිනිසත් බව ලැබූ විට කළ කර්මය නිසා හුදකලා කෙනෙකු බවට පත් වෙයි. පිරිවර රහිත වෙයි.

මහා භෝග සම්පත් ඇතිවීමට හේතු - යමෙක් පිරිසුදු කරගත් සිතින් දන් පහන් දෙයි ද, මරණින් මතු සුගතියේ උපදියි. මිනිසත් බව ලැබූ විට කළ කර්මය නිසා මහත් භෝග සම්පත් සහිත කෙනෙකුව උපත ලබයි.

අල්ප භෝග ඇතිවීමට හේතු - යමෙක් දන් පහන් නොදෙන්නේ ද?

මරණින් මතු දුගතියෙහි උපත ලබයි. මිනිසත් බව ලැබූ විට කළ කර්මය නිසා අල්පභෝග සහිත හෝ භෝග සහිත හෝ භෝග නැති අයෙකු වෙයි.

උසස් කුලවල උපත ලැබීම ට හේතු - යමෙකු අධික මාන්නය නැත්තේ ද, නිරහංකාර ද වැඳුම් පිදුම් කළ යුත්තන්ට වැඳුම් පිදුම් කරයි ද, වැඩිහිටියන් දුටුවිට හුනස්නෙන් නැගිටී ද, ආසනය ලබාදිය යුත්තාට ලබාදෙයි ද, ගරු බුහුමන් කළ යුත්තාට ගරු බුහුමන් කරයි ද, පිදිය යුත්තා පුදයි ද, එබඳු ස්වභාවයන් සහිත පුද්ගලයා තමා කළ කර්මය නිසා උසස් කුලවල උපදියි.

පහත් කුලයන්හි උපත ලැබීමට හේතු - යමෙකු අධික මාන්නයෙන් යුක්ත වේ ද, අහංකාර වූයේ ද, වැඳුම් පිදුම් කළ යුත්තාට වැඳුම් පිදුම් නොකරයි ද, වැඩිහිටියන් දුටුවිට හුනස්සෙන් නොනැගිටී ද,ආසනය දිය යුත්තාට ආසනය නො දෙයි ද, ගරු බුහුමන් කළ යුත්තාට ගරු බුහුමන් නොකරයි ද, පිදිය යුත්තා දැක එසේ නොකරයි ද, එබඳු ගති ස්වභාවයෙන් යුතු පුද්ගලයා මරණින් මතු දුගතියේ උපදියි. මිනිසත් බව ලැබුව ද, පහත් කුලවල උපදී.

මනා නුවණ ඇතිවීමට හේතු - යමෙකු තමාට වඩා නුවණින් හා ගුණයෙන් උසස් අය හමු වී කුසල් අකුසල් කුමක් ද? වරද නිවරද කුමක් ද? කළ යුතු නොකළ යුතු දෙය කුමක්ද? වඩා යහපත පිණිස කළ යුත්තේ කුමක් ද? තමා විසින් කරනු ලබන්නේ නම්, සිත සුව පිණිස පවතී ද, ආදි වශයෙන් විමසනු ලබන්නේ නම්, ඒ කර්මය හේතු කරගෙන ඔහු මනා නුවණ ඇති කෙනෙකු බවට පත් වෙයි. එම හේතු කාරණා ඔහු ප්‍රඥාවන්තයකු කරයි.

අනුවණයකු වීමට හේතු - යමෙකු තමාට වඩා නුවණින් හා ගුණයෙන් උසස් අය හමු වී, කුසල්, අකුසල්, හොඳ , නරක, කළ යුතු ,නොකළ යුතු දෙය, තමාගේ දියුණුව පිණිස තමා කළ යුතු ක්‍රියා ආදිය නොවිමසයි නම්, ඒ කර්මය හේතු කොටගෙන ඔහු අනුවණයකු වී උප්පත්තිය ලබයි.

සුඛ තරුණයාගේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ සංසාරගත අවබෝධය අනුව ය. සමාජ ක්‍රියාදාමයන් විෂයයෙහි හා විශ්ව මෛත්‍රිය කෙරෙහි නැඹුරු වී ඇති ආකාරය පිළිබඳව සිතා බැලිය යුතු ය. අවබෝධ කරගත යුතු ය.