Print this Article


බුදුරදුන් වැඩි කැලණි පුදබිම

බුදුරදුන් වැඩි කැලණි පුදබිම

වෙසක් පුන් පොහෝදාත් කැලණිය පුදබිමත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය ත් සම්බුද්ධත්වය ත්, බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයත් සිහිකරන වෙසක් පුන් පොහෝ දවස කැලණි පුදබිම සමඟ සම්බන්ධ වන්නේ උන්වහන්සේ කැලණි පුදබිමට වැඩම කිරීම වෙසක් පුන් පොහෝ දිනකම සිදු වූ නිසා ය.

බුදුරජාණන් වහන්සේ තුන් වරක් ශ්‍රී ලංකාවට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. එහි සඳහන් වන අන්දමට සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසුව ලංකාවට වැඩම කළ උන්වහන්සේ මහියංගනයේ මහානාග උද්‍යානයේ දී යක්ෂයින් දමනය කර ඇත. එම ස්ථානයේ සිටි අය අතර කැලණියේ මණිඅක්ඛික නාග රජු ද සිටි බව සඳහන් කරන මහාවංශය, හෙතෙම බුදුරජුන්ගෙන් බණ අසා සරණ සීලයේ පිහිටි බව ද සිහි කරයි. භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී සිදුවිය. චූලෝදර නාරජු සහ මහෝදර නාරජු අතර මිණිපළගක් අරභයා එනම් සිහසුන පිළිබඳ හටගත් අරගලය සමථයට පත් කිරීම සඳහා උන්වහන්සේ දෙවන වරට නාගදීපයට වැඩම කරන ලදී. මහෝදර නාරජුගේ සහෝදරිය වූ තිරච්ඡිකා උතුරේ නාගදීපයේ කන්වඩමන් පව්වේ වාසය කළ නාරජුට සරණ පාවා දෙන ලදී. ඇගේ පියා විසින් එහි දී මණිපල්ලංකය ඇයට දෙන ලදී. ඇගේ ඇවෑමෙන් ඇගේ පුත් චූලෝදරට එය අයිති විය. නමුත් චූලෝදරගේ මාමා වූ මහෝදර ඊට විරුද්ධ වූ බැවින් දෙපක්ෂය අතර මහා සටනකට සූදානමක් ඇතිවිය. ශාස්තෘන් වහන්සේ ගැටුම වැළැක්වීමට එම ස්ථානයට පැමිණි සේක. එහි දී ද කැලණියේ මණිඅක්ඛික නාරජුට බුදුරජාණන් වහන්සේ හමුවිය. එහි දී සිය රාජධානිය වන කැලණියට වැඩම වන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ ය. ආරාධනාව පිළිගත්තත් එය ඉක්මනින් සිදුනොවූ නිසා මණිඅක්ඛික නාරජු ඉන්දියාවේ ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ මුණ ගැසී තම ආරාධනය නැවත සිහිපත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙසට බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී වෙසක් පුන් පොහෝ දිනක පන්සීයයක් රහතන් වහන්සේලා පිරිවරා කැලණියට වැඩම කළහ. (මහාවංශය 1 පරිච්ඡේදය, 65 – 68 ගාථා) මේ ගමන අනෙකුත් ගමන් අවස්ථා දෙකකට වඩා වැදගත් වන්නේ උන්වහන්සේ පළමුවතාවට මේ ලංකා භූමිය ස්පර්ශ කිරීමයි. අනෙක් අවස්ථා දෙකේ දී ම උන්වහන්සේ ආකාශයේ වැඩසිටිමින් ප්‍රාතිහාර්ය පෑම් සහ අවවාද අනුශාසනා දීම සිදුකර ඇත. එහෙත් කැලණියට වැඩමවීමේ වැදගත්කම සනිටුහන් වන්නේ එහිදී උන්වහන්සේ කායිකව ලංකා භූමිස්පර්ශය සිදුකිරීමයි. මෙම ගමනේ දී කැලණි නදියෙන් ජලස්නානය ද කර ඇත. පූජාවලිය සඳහන් කරන අන්දමට ජලස්නානය කරන අවස්ථාවේ දී උන්වහන්සේ කැලණි ගඟ අසබඩ ශ්‍රී පාද ලාංඡනයක් ද පිහිට වූ බවයි. “එම නාරජුහුගේ ආරාධනාවෙන් කැලණි ගඟයට ද ඕහට පාද ලාංඡනයක් දී “(පූජාවලිය 33 වැනි පරිච්ඡේදය) ඉන් අනතුරුව වර්තමාන සෑය පිහිටි තැන වැඩහිඳ මහරහතුන් සමඟ දන් වළදා මණි අක්ඛික නාරජුන් ඇතුලු පිරිසට දම් දෙසූහ. මේ සිද්ධිය ශිලා ලේඛනවල මෙන්ම සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් කර ඇත.

කැලණියේ විභීෂණ දේවාලයේ තිබී හමුවූ ටැම් ලිපියක, ‘කැලණි රද්මහවෙහෙරැ උදකස්දා නින්දු මගුල් දාගැබ්බහි’ යන සඳහනත් කිත්සිරිමෙන් කැලණියේ තිබී හමුවූ ටැම් ලිපියක, ‘කැලණි වෙහෙරැ උදකස්දා කොට’ යන ප්‍රකාශයෙන් සඳහන් වන ‘උදකස්දා’ යන වචනය බුදුරජාණන් වහන්සේ ජලස්නානය පිණිස පොරවන ලද ජල සාටක ධාතුව බව සෙනරත් පරණවිතානශූරීහු පවසති. (ලංකා ශිලා ලිපි සංග්‍රහය, හතරවන වෙළුම එක කොටස පිටු 1 – 7)එම ජලසාටකය තැන්පත් කර ඉදිවූ දෙවන ස්තූපයක් කැලණියේ තිබූ අතර කණිෂ්ටතිස්ස රජු එම ස්තූපයට කළ පූජාවක් ගැන එම සෙල්ලිපියේ සඳහන් වේ. මීට අමතරව එම භූමියේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රත්න වූ මණ්ඩපයෙහි වූ මණිපල්ලංකය තැන්පත් කර පළමු ස්තූපය ඉදිකර ඇත.

ක්‍රි.පූ. තුන සහ දෙක සියවස්වල කැලණියේ ස්වාධීන රාජ්‍යයක් පැවතුණි. බෝධි වංශය, දඹදෙණි අස්න ආදී ග්‍රන්ථවල කල්‍යාණි දේශ යන නමින් එය හඳුන්වා ඇත. ඒ කාලයේ ප්‍රාදේශීය පාලකයකු ලෙසට උත්තිය කුමරා කටයුතු කළ අතර, ඔහු මණිඅක්ඛික නාරජු විසින් ගොඩනැඟූ කැලණි චෛත්‍යය නැවත පිළිසකර කර ඇත. විහාර මන්දිරයක් සහ සංඝාවාසයක් ද ඉදිකර ඇත. උත්තිය කුමරුගේ ඥාති පුත්‍රයෙකු වූ යඨාලතිස්ස පසුව පස්මහල් ප්‍රාසාදයක් විහාරයට එක්කළ බව සඳහන් වේ. ඉන්පසු මෙහි පාලනය සිදුකර ඇත්තේ උත්තිය කුමරුගේ මුනුබුරෙකු වූ කැලණිතිස්ස රජතුමා ය. එතුමාගේ දියණිය විහාර මහාදේවිය රුහුණේ කාවන්තිස්ස රජුගේ මහේෂිකාව බවට පත්වීමෙන් අනතුරුව කැලණි පුරවරය රෝහණයට යටත් විය. දුටුගැමුණු රාජ්‍ය සමයේ දී කැලණි විහාරයේ පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේ විසූ බව මහාවංශයේ 32 පරිච්ඡේදයේ සඳහන් වේ. මෙයින් ප්‍රකට වන කරුණ නම් මේ කාලයේ දී කැලණි විහාරය ප්‍රධාන භික්ෂු මධ්‍යස්ථානයක් ලෙසට පැවති බවයි. ඉන්පසුව කණිෂ්ඨතිස්ස රජතුමා කැලණි විහාරයේ උපෝෂථාගාරයක් ඉදිකළ බව මහාවංශයේ 36 වන පරිච්ඡේදයේ සඳහන් කර ඇත. එසේම වෝහාරිකතිස්ස රජතුමා ඡත්‍රකර්ම කරවූ බව එහිම සඳහන් කර ඇත.

මින් පසුව කැලණිය ගැන වංශකතාවේ සඳහන් වන්නේ අවුරුදු නවසීයකට පසුව ය. අභ්‍යන්තරික සිවිල් යුද්ධයක දී වික්‍රමබාහු කුමාරයා විසින් මානාභරණ කුමාරයා ඇතුළු පිරිස කැලණියට පලවා හරින ලද බව 61 වන පරිච්ඡේදයේ සඳහන් කර ඇත. එසේම මහා පරාක්‍රමබාහු සමයේ කැලණියේ යුද හමුදාව පුහුණු කරන කඳවුරක් තිබූ බව සඳහන් කරන අතර මහා පරාක්‍රමබාහු නමැති පින්වත් කුමරා ලබා ගැනීම සඳහා මව්පියන් කැලණි විහාරයට පැමිණ පිහිට පැතූ බව සඳහන් වේ. කීර්ති නිශ්ශංකමල්ල රජු කැලණිය විහාරය වැඳපුදා ගැනීමට නොයෙක් වර පැමිණි බවත්, එහි නව කර්මාන්ත සඳහා වස්තු පරිත්‍යාග කළ බවත් ගල්පොත ලිපියේ සහ පී‍්‍රති දානක මණ්ඩප ලිපියේ සඳහන් කර ඇත. (සිංහල ශිලා ලේඛන සංග්‍රහය 11 පිට 98 – 123 / 165 – 178) ක්‍රි.ව. 1213 දී කාලිංග මාඝ කැලණි විහාරය විනාශ කළ අතර ඔහු පරදවා රජවන තුන්වන විජයබාහු රජතුමා කැලණි චෛත්‍යය නැවත සාදා ස්වර්ණමය වූ කොතක් ද, වාහල්කඩක් ද, පිළිම ගෙවල් සහ පවුරු වළලු ආදිය ප්‍රතිසංස්කරණය කළ බව මහාවංශයේ 81 වන පරිච්ඡේදයේ සඳහන් වේ. විල්ගම්මුල සංඝරාජ මාහිමියන් විසින් පිහිටුවන ලද සෙල්ලිපියක කිත්සිරිමෙවන් කැලණි විහාරය ගැන සඳහන් කරයි. දසවෙනි අළගක්කෝනාර ඇමැතිවරයා විසින් එම විහාරයේ කළ ප්‍රතිසංස්කරණ කටයුතු ගැන එහි සඳහන් වේ. මින් අදහස් වන්නේ රජමහ කැලණිය සහ කිත්සිරිමෙවන් කැලණිය යන උභය විහාරයම රාජ්‍යමාත්‍යාදීන්ගේ සැලකිල්ලට සහ වන්දනාවට පාත්‍ර වූ සිද්ධස්ථාන දෙකක් ලෙසට පැවති බවයි.

කෝට්ටේ යුගය වන විට කැලණි විහාරය සහිත කැලණි පුරවරය ඉතා දියුණු, සිත් ගන්නා, උසස් තත්ත්වයකට පත්ව තිබූ බව සාහිත්‍යය සන්දේශ පෙන්වා දෙති. මහා විහාර පරම්පරාවේ ථෙරවාදී භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානය වශයෙන් පුද පූජා ලබන ලද්දේ කැලණි විහාරස්ථානයයි. ලෝකය පුරාම කැලණි විහාරයේ වටිනාකම පැතිරීගොස් තිබුණ හය වන බුවනෙකබාහු රාජ්‍ය සමයේ (1470) බුරුමයේ හංසවති නුවර ධම්මසෝදි රජු එම රටේ නැතිවී ගිය උපසම්පදාව නැවත ස්ථාපිත කිරීමේ අදහසින් චිතුදුත සහ රාමදුත යන ඇමැතිවරුන් දෙදෙනා සමඟ බුරුම සාමණේර පිරිසක් ක්‍රි.ව. 1475 දී කැලණියට එවන ලදී. දෙවන වීදාගම මහාස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝයා වහන්සේ විසින් කැලණි වෙහෙර අභියස කැලණි ගඟබැඳි සීමාවක දී බුරුම භික්ෂූන් හතළිස් හතර නමක් උපසම්පදාවේ පිහිටවූ බව සඳහන් වේ. කල්‍යාණි ශිලා ලේඛනයට අනුව නවවන පරාක්‍රමබාහු රජු කැලණි විහාරය විහාරාංග පිළිසකර කර වත්තල, මාබෝල ගල්වලුතොට, ගොන්ගිතොට ආදී ප්‍රදේශ විහාර නඩත්තුව සඳහා පූජා කර ඇත. පෘතුගීසි සමය කැලණි විහාරයට දුර්භාග්‍යය උදා කළ සමයක් ලෙසට හඳුන්වා දිය හැකි ය. 1557 ධර්මපාල කුමරු දොන් ජුවන් ධර්මපාල ලෙසට අන්‍යභක්තිකයකු වීමෙන් අනතුරුව 1555 විහාර භූමිය ප්‍රැන්සිස්කන් පූජක සභාවට පවරා දෙන ලද අතර 1557 දී දියෝගෝද මෙලෝ කැලණි විහාරය බිඳ හෙළා ගිනිබත් කර විහාරය සතු භූමිය වෙනත් ආගමිකයින්ට පවරා භූමිය තුළ බුදුදහම ඇදහීම ද තහනම් කරන ලදී. ලන්දේසි යුගයේ මුල්භාගයේ දී මේ තත්ත්වය එලෙසම පැවතිණි. 1692 දී ලන්දේසීන් කැලණි විහාරයේ ආගමික කටයුතු කිරීම නැවත තහනම් කරන ලදී. නමුත් ගණන් නොගෙන දිගින් දිගට භික්ෂූන් වහන්සේ ද කැලණි විහාරයට පැමිණ, ආගමික කටයුතු සිදුකර ඇත. මේ ප්‍රශ්නයට පිළිතුරක් 1767 දී ලැබුණි. සිංහල රජු කීර්ති ශ්‍රී රාජසිංහ රජු සතුටු කිරීමට ලන්දේසි ආණ්ඩුකාරයා කැලණි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අවසර දෙන ලදී. ඉන්පසුව දෙහිගස්පේ අත්ථදස්සි තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් විහාර කර්මාන්ත සහ කැලණි සඟ පරපුර ආරම්භ විය. ශිෂ්‍ය පරම්පරාවේ ආරම්භකයා පුජ්‍ය මාපිටිගම බුද්ධරක්ඛිත නාහිමියන් ය. ඉන් අනතුරුව පූජ්‍ය මාපිටිගම ධම්මරක්ඛිත, මාපිටිගම සංඝරක්ඛිත නාහිමිවරු පත්වූ අතර එම නාම සහිතව විහාර පැවිදි ශිෂ්‍ය පරපුර අද දක්වා පවත්වාගෙන එනු ලබයි. මේ කාලයේ දී විහාර මන්දිරය විභීෂණ දේවාලය, ධර්මශාලාව, පොහොයගෙය, මකර තොරණ සහ පන්සල් ගෙය ඉදි වූ බව සඳහන් වේ. 1927 ජනවාරි 23 වන දින හෙලේනා විජයවර්ධන මැතිණිය විසින් සිය ධන පරිත්‍යාගයෙන් නව විහාරමන්දිරයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර 1946 දෙසැම්බර් 28 වන දින එය නිමාකොට විවෘත කරන ලදී. සෝලියස් මෙන්දිස් නමැති ප්‍රතිභාපූර්ණ චිත්‍රශිල්පියා විසින් මෙහි චිත්‍ර කර්මාන්ත සිදුකර ඇත. අද වන විට තුන් වාහල්කඩ, සංඝාවාස දාන ශාලා, අතිරේක ශාලා, ශෛලමය පියගැටපෙළ සහ ධාතු මන්දර ඉදිවෙමින් පවතින අතර විහාරයට නව ආලෝකයක් ඉන් ලැබී ඇත. බුදුරජාණන් වහන්සේගේ තුන් වන ලංකාගමනයෙන් පරිශුද්ධ වූ කැලණි පුදබිම කවදත් මිනිස් මනස උපශාන්තියට පත් කරවන අතර අකුසල බලවේග තුනීකර කුසල ශක්තිය වර්ධනය කරන පුදබිමක් ලෙසට ජන හදවත් තුළ කාලාන්තරයක් පැවති බව කැලණි හෑල්ල සනාථ කරයි.

පසන් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවති යේ
එසම්පත් ඇති අය ද යනවා මරුව සමඟින් උරු දි යේ
පසන් ඇති දා කරනු පින්මයි කැටුව යන්නේ සැම දියේ
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්ඳොත් කැලණියේ