Print this Article


පහන් සිතක කවි

කුජ්ජුත්තරා

දුව ආහාර ගන්නා විට දස අතට
ඉසිරී යන සිරිත ඉවසුම් නැත මවට
දවසක් ඔවදනක් දෙන විලසින් දුවට
කීවා වසල නිවසක් මෙනි ගෙය අවට

රොස් වී උත්තරා එම ඔවදන ඇසුව
අම්මේ ඔබයි වසලිය මැදුරෙහි විසුව
යනුවෙන් කියා සිදුකර ගත් පව මුසුව
හැම බවයකම පළදුන්නා ඉන් පසුව

ඇය ඉපදුනේ කුදු අඟනක් ලෙසිනි පසු
නම කුජ්ජුත්තරා විය අප හැම දෙනම ඇසූ
එයි හොඳ නරක භවයෙන් භවයට ම පසු
මෙය බණ කතාවක් බුදු හිමි විසින් දෙසූ

ගරහන ම ව්පියන් කළගුණ නොම දන්නා
මෙය පාඩමකි සිහියට ගත යුතු වන්නා
ගෙදරට බුදුන් ලෙස දහමෙහි දුන් පෙන්නා
පෙර සිට බොදු ලොවම ඇදහුව මේ දෙන්නා

****

ප්‍රේමය

හැම පෙමකටම වඩා බලවත් වූ සංසාරේ
ආ පෙම උතුම් වේ අප ඇසූ දිවි කතරේ
සිදුහත් සමඟ බිම්බාගේ පෙම පැතිරේ
මුළු සක්වලට ඇති පෙම ලොව්තුරු මිහිරේ

ලොව්තුරු ආදරය සසරේ පටන් එන
ආවේ බුදු බවට පත්වන දිනය දැන
ඒ ආදරය කෙතරම්දැ’යි නොදැන දන
වැලන්ටයින් දිනයක් ගැන කියති බණ

****

අපේ නා හිමි

නොහඳුනතත් කෙනෙකු මද සිනහා පාන
ගිරි හෙල් නොසලකා දෙපයින් ඇවිද යන
පන්සල් කිහිපයක දෙපයින් ඇවිද යන
පියතිස් සමිඳු සැරදේ තෙරුවන් බෙලෙනු

****

නිවන් දොර

සසර සරන තුරු අම්බලමක නැවතී
දෙවුර පුරා එසවූ කද මලු දරතී
සතර දෙසින් එන උවදුරු ගැන සිතතී
නිතර එකතුකර තුන්යම නිදි මරතී

කැටිකර සිතැඟි අටලෝ දම මෙනෙහි කර
දවසැර හරිමු සදහම් මඟ අවධි කර
ගොරතර සසර ලෙන ගත හැර යනෙන තුර
අඩුකර අකුසලය අරිමුව නිවන් දොර

****

මත් උවදුර දුරලමු

මත් රකුසා දිවයිනෙන් තුරන් කර
අත් වැල් බැඳගෙන පෙරට ගමන් කර
නෙත් යුග විදහා පිරුණ පෙමින් බර
අත් කර දෙමු දේශයක් නව වසරේ මතින් තොර

****

අනවරාග්‍ර සංසාරය

යහතින් ගත කොට
පින් පුරවා , පවු දුරලා
නිවන් මඟ ගොස්
අනවරාග්‍ර සංසාරය නිවනින්
අවසන් කරන්නට
උත්සාහ කරමු
සැමටම අජර, අමර
නිවන් සුව

****

අනිත්‍ය

බට පතුරු
දෙකක් ගෙන
එකිනෙකට බැඳ
සෑදු සරුංගලය
නේක වර්ණ කොළෙන්
මනරම්ව අලවා...
සවස අහසට යවා...
එළි දැක්වූ සරුංගලය
බැමි බැඳි ගිලිහී
බිම වැටී වැතිරුණා