Print this Article


ගමට වැඩ ඇති "බලාපොරොත්තුවේ අපි මිතුරෝ"

ගමට වැඩ ඇති "බලාපොරොත්තුවේ අපි මිතුරෝ"

ගම්පහ, මීරිගම අංක 09 පුරාණ මීරිගම ග්‍රාම නිලධාරී වසමේ ගොඩැල්ලවත්ත ඉහළ මීරිගම ගම්මානය පිහිටා ඇත. දුටුවන්ගේ නෙත් සනහන සොඳුරු දසුන් රැසකින් හෙබි එම ගම්මානය ගැමි දිවියේ සුන්දරත්වය සැබැවින් ම කියා පායි. එම ගමට ප්‍රවේශ වීමට පිවිසුම් ද්වාර යුගලයක් තිබේ. දහ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටින මීරිගම පුරාණ විහාරය ඉන් එක් දොරටුවක් වන අතර විල්වත්ත දුම්රිය ස්ථානය අනෙක් දොරටුව වේ. ගම්මානය ඇතුළත පවුල් එකසිය විස්සක් පමණ ජීවත් වෙයි.

ගමේ පවතින සියලු සුබ සාධන කටයුතු සඳහා දහතුන් දෙනෙකුගෙන් සැදුම් ලත් සුවිශේෂී මිතුරු හවුලක් 2012 වසරේ සිට ක්‍රියාත්මක වේ. එය නමින් “බලාපොරොත්තුවේ අපි මිතුරෝ” වේ. මෙලොව බිහිවී මියැදෙන්නට පෙර සමාජයට යම් මෙහෙවරක් කිරීම ඔවුන්ගේ එකම අරමුණයි.

2012 වසරේ රත්නසිරි ලියනගේ සහ චතුරංග ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් එම මිතුරු හවුලට අඩිතාලම වැටී ඇත. එහි නායකත්වය ගෙන නන්දසිරි නානායක්කාර මහතා ද, ලේකම් ලෙස එම්. ජී.ඩී. වික්‍රමසිංහ මහතා ද, භාණ්ඩාගාරික ලෙස උපුල් ජයසේකර මහතා ද, උපනායක ලෙස තරංග පි‍්‍රයංකර මහතා ද, සෙසු සාමාජික මහත්වරු ලෙස සඳුන් ගාල්ලගේ, සේන දසනායක, සරත් ප්‍රේමචන්ද්‍ර, නන්දන පුෂ්පකුමාර, ආර්. සෙනෙවිරත්න, ශාලික නයනජිත් සහ සංජය කුමාර යන මහත්වරු ද කටයුතු කරති.

සියලු දෙනා ජීවිතයේ අසරණබවට පත්වන එක් අවස්ථාවකි අවමංගල අවස්ථාව. ගම්මානයේ නිවසක අවමංගල අවස්ථාවක් පැමිණි විට ඊට අවශ්‍ය කොඩි, හට්, පුටු, පිඟන් බඩු හා ශබ්ද විකාශන යන්ත්‍රය ද නොමිලයේ ලබා දෙන අතර අවසන් කටයුතු මිතුරු හවුලේ මූලිකත්වයෙන් සංවිධානය කර දීම, ආදාහනාගාරය හෝ සුසාන භූමිය වෙත යෑමට බස් රථයක් ද නොමිලයේ සැපයීමටද “බලාපොරොත්තුවේ අපි මිතුරෝ” කටයුතු කරති.

එමෙන් ම සත් දින ධර්ම දේශනය සඳහා අටපිරිකර, ශබ්ද විකාශන යන්ත්‍රය, පුටු සහ හට් නොමිලයේ ලබාදෙන අතර ඊට අවශ්‍ය ශ්‍රම ශක්තිය නොපැකිලිව ලබා දීමද සිදු කෙරේ. අවමංගල්‍ය නිවැසියන්ට එය අස්වැසිල්ලක් නොවන්නේ ද? පුරා සය වසරක කාලයක සිට සත් දින ධර්මදේශනා පින්කම් මාලාව ද අඛන්ඩව සිදු කිරීම පැසසිය යුතු වේ.

ප්‍රදේශයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන් විශේෂ ඇගයීමකට ලක් කොට තිළිණ ප්‍රදානය සිදුකිරීම ද තවත් එක් සත් ක්‍රියාවකි. එහි දී ශිෂ්‍යත්වය සමත් දරු දැරියන් පමණක් නොව කඩඉම් ලකුණු ආසන්නයට පැමිණි දරුවන්ට ද, තිළිණ ප්‍රදානය සිදු කරති. එය දරුවන්ට සහ මව්පියන්ට ද මහත් අස්වැසිල්ලකි.

වසරක් පාසා ගම්වැසියන්ගේ සමඟිය, සුහදතාවය වර්ධනය කිරීම උදෙසා විශේෂ චාරිකාවත් මිතුරු හවුල විසින් සංවිධානය කරනු ලබයි. පසුගිය වසරවලදී ගාල්ල, පොළොන්නරුව, යාපහුව, සිංහරාජය නැරඹීමට සංවිධානය කළ චාරිකා අතිශය සාර්ථක විය.

කිරි අම්මාවරු 49 දෙනෙකුට ඉතා උසස් ලෙස කිරි අම්මා දානයක් පිරිනැමූ අතර එය පිළිගැන්වීම තවත් කාන්තාවන් 49 දෙනෙකු අතින් වීමද සුවිශේෂී වූවකි. එමෙන්ම එදින ජයමංගල ගී ගායනා වැඩසටහනක් ද ගමෙහි සියලු බාලිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගමෙහි ශ්‍රමදානයක් ද සංවිධානය කොට එදින සන්ධ්‍යා සමයේ විචිත්‍ර ධර්මානුශාසනාවක් ද, මීරිගම කටුවාකැලේ ආරණ්‍යසේනාසනාධිපති අයගම චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූහ.

2017 වසරේ දී සංගමයේ 05 වන සංවත්සරය නිමිති කොට ගෙන ‘හරසර’ නමින් සමාලෝචන සිහිවටන කෘතියක් එළිදැක්වීමට ද මිතුරු හවුලට හැකි විය. එහි කර්තෘ මිතුරු හවුලේ නිර්මාතෘවරයකු මෙන් ම ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ශාස්ත්‍රපති රත්නසිරි ලියනගේ මහතා ය.එමඟින් සමාජ සුබසාධන අරමුදලක් බිහිකොට ආර්ථික අපහසුතාවයට පත් ගම්වාසීන්හට සහනයක් ලබා දීම ද එහි අපේක්ෂාවකි.

මෙම සත්කාරය සඳහා විශාල දායකත්වයක් ලබා දුන් අපවත් වී වදාළ මීරිගම පුරාණ විහාරාධිපති හිමියන් ලෙස වැඩ විසූ කහටන්නේ රතනජෝති හිමියන් ගෞරවයෙන් සිහිපත් කරන අතර වර්තමාන විහාරාධිපති නාරංගමුවේ විමලජෝති හිමි, විහාරවාසී රතන වංශ ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සඟරුවනට ප්‍රණාමය පුද කෙරේ. තව ද හරසර කෘතියට පූර්විකාවක් සපයා ඇගයීමට ලක්කළ අපරැක්කේ පුඤ්ඤානන්ද නා හිමියෝ ද ගෞරව පූර්වකව සිහිපත් කෙරේ.

ඉදිරියටත් මෙම සත්කාරය සාර්ථකව පවත්වාගෙන යාමට අදහස් කරන අතර තවත් පිරිස්ද සහභාගී කර ගැනීම අපේක්ෂාව බව මිතුරු හවුලේ නායක නානායක්කාර මහතා කියයි. මිතුරු හවුල නඟා සිටුවීමට කාලය, ධනය, ශ්‍රමය වැය කළ සාමාජික මහත්වරු සැමට ප්‍රණාමය පිරිනැමේ.