Print this Article


සිත් සේ පින් කරමු සුගති සැප විඳිමු

සිත් සේ පින් කරමු සුගති සැප විඳිමු

පින්වත් දරුවනේ, අද නවම් පුර අටවක පෝය දිනයේත් අපි කියලා දෙන්නේ දිව්‍ය ලෝකයේ සැප සම්පත් විඳින දෙවි දේවතාවුන් ගැනයි.

මහානුභාව සම්පන්න, සුනිම්මිත දිව්‍ය රාජයා වගේ බබළන, දිව්‍ය අප්සරාවන් පිරිවරාගත් ආනුභාව සම්පන්න දේවතාවෙක් සිටියා. යසසින්, කීර්තියෙන්, පුණ්‍ය මහිමයෙන් ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. මේ සා දිව්‍ය සම්පත්, රූ සිරි ලබන්නට කළ පින කුමක්දැයි මේ දේවතාවාගෙන් මුගලන් මහ රහතන් වහන්සේ විමසා සිටියා.

එයට හේතුව තමයි දරුවනේ, මිනිස් ආත්ම භවයක දී සුමේධ නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වී ඉපදීම. එතුමා මුලින් ම පෘථග්ජන කෙනෙක්. පෘථග්ජනයා කියන්නේ කාටද? තෙරුවන් සරණ ගියේ නැති, ධර්ම මාර්ගයට යොමු නොවුණු පුද්ගලයාට යි. මිථ්‍යාදෘෂ්ඨික පුද්ගලයාටයි. ඉතින් මෙතුමා එසේ මිථ්‍යාදෘෂ්ටිකව ඉන්නා කාලයේ හොඳින් බණ දහම් ශ්‍රවණය කිරීමෙන් පසු පැවිදි දිවියට ඇතුළත් වුණා. මහණවෙලා සත් අවුරුද්දක් ගත වූ පසු සුමේධ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවුණා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කර සෑදූ චෛත්‍යයට වැඳ නමස්කාර කළා. බුදුරජාණන් වහන්සේට පූජා පිණිස කිසිම දෙයක් නො තිබූ අවස්ථාවේ පැහැදුණු සිතින් වැඳ නමස්කාර කළ නිසා මේ වගේ දිව්‍ය සම්පත් ලැබුණා.

පෙනෙනවා නේද දරුවනේ, බුදුරජාණන් වහන්සේ උදෙසා වන්දනා කළත් මොනතරම් කුසලයක් ලැබෙනවා ද? නිතර විහාරස්ථානයට යන්නට අවස්ථාව නොලැබුණත් තමන්ගේ නිවෙස්තුළ උදේ සවස බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා නම්, මල්, පහන්, සුවඳ දුම් පූජා කරනවා නම් ඒ පිනෙහි ආනිශංස බොහොමයි. මේ පින්වත් දරුවො අද සිටම තමන්ගේ නිවෙසේ තෙරුවන් වන්දනාව සිදු කරන්නට ඕනෑ.

තාරකාවක් වගේ බබළන දෙව්දුවක්

මනා රූසිරියෙන් යුතු, තාරකාවක් වගේ බබළන දිව්‍යාංගනාවක් සිටියා. තාරකාවක් වගේ බබළන ඡවි වර්ණයක් ලබන්නට කළ පින පිළිබඳව ඒ දිව්‍යාංගනාවගෙන් මුගලන් මහරහතන් වහන්සේ විමසා සිටියා.

“පින්වත් ස්වාමීන් වහන්ස, මම එසිකා කියන රටේ (කසීරට) මිනිස් දුවක් ව ඉපදී සිටියා. ඒ කාලයේ දිනක් ‘පණ්ණකත’ නම් වූ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කරනවා දුටුවා.

උන්වහන්සේට පූජා කරන්නට මා සතුව කිසිවක් ම තිබුණේ නෑ. ඒත් අසල ගසක ඇහැළ මල් පිරී තිබෙනු දුටුවා. පැහැදුණු සිතින් ඒ මල් නෙළාගෙන ඒ ස්වාමීන් වහන්සේට පූජා කළා. දෙව්දුවක් ව ඉපදී මේ සා බබළන ඡවි වර්ණයක් ලැබුවේ ඒ අනුහසිනුයි.” ඒ දෙව්දුව සතුටින් විස්තර කළා.

පින් අනුමෝදන් වීමේ අනුසස්

ඔන්න දරුවනේ, මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍යලෝක තලයන්හි වඩින අවස්ථාවේ තවත් දිව්‍යාංගනාවක් දුටුවා. ඒ දෙවඟනගේ ශරීරයත් අතිශයින් දිදුලනවා. නැටුම් නටනවිට, ගී ගයන විට ඉතා මිහිරි හඬක් ශ්‍රවණය වෙනවා. නර්තනයේ යෙදෙන අවස්ථාවන්හි අඟ පසඟින් දිව්‍යමය සුගන්ධයක් විහිදෙනවා. පැළඳ සිටින මා හැඟි ආභරණයන්ගෙන්, හිස පළඳනාවෙන් මනා සුගන්ධයක් හමනවා. හිස පැළඳි මල් දාමයන් බොහොම අලංකාරයි. අතිශයින් සුගන්ධයි. මුගලන් මහරහතන් වහන්සේ ඒ දිව්‍යාංගනාවගෙනුත් මේ සා සම්පත් ලබන්නට කළ පින පිළිබඳව විමසූවා.

“පින්වත් ස්වාමීන් වහන්ස, පෙර ආත්ම භවයක මම මනුෂ්‍ය ලෝකයේ මිනිස් දුවක් ව ඉපදී සිටියා. දිනක් මාගේ යෙහෙළියක් භික්ෂූන් වහන්සේලාට ආරාමයක් පූජා කළා. ඒ දුටු මා සිත බොහෝ පැහැදුණා. ඒ වගේම ඒ පින් අනුමෝදන් වුණා. ඒ අනුහසින් මේ සා දිව්‍ය සම්පත් ලැබුණා. එදා මාගේ යෙහෙළිය දැන් නිම්මාන රතිය දිව්‍ය ලෝකයේ වාසය කරනවා. සුනිම්මිත දිව්‍ය රාජයාගේ දේවිය වී සිටින්නේ එතුමියයි. ඒ දෙව්දුව විස්තර කළා.

දරුවනේ, කෙනෙක් සිදු කරන පින්කමක් දැක සතුටු වී, සිත පහදවා ගැනීමත්, ඒ පින් අනුමෝදන්වීමත් මහා කුසලයක් වන බව පෙනෙනවා නේද?

කැවුමක් පිදූ පින

මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝකයන් හි, පේත ලෝකයන්හි වැඩම කොට සැප සම්පත් විඳින අය ගැන, බොහෝ දුක් පීඩා විඳින අය ගැන විස්තර මිනිසුන්ට කියලා දුන්නා. ඉතින් තවත් වතාවක් උන්වහන්සේ දිව්‍ය ලෝකයෙහි වඩින වෙලාවක රූපශි‍්‍රයෙන් බබළන ඉතාම සැප සේ සිටින දෙව්දුවක් දුටුවා. ඇයගෙනුත් මේ සා සම්පත් ලැබුණේ කෙසේදැයි විමසුවා.

“පින්වත් දෙව්දුව, මේ සා විශාල සැප සම්පත් ලබන්නට ඔබතුමිය කළ පින කුමක්ද? “ස්වාමීන් වහන්ස, මා මිනිස් ආත්ම භවයක් ලබා ඉන්නා කාලයේ මාගේ මාමණ්ඩියට යහපත් ලේලියක ව සිටියා. දවසක් අල්පේච්ඡ දිවි පෙවෙතක් ගත කරන, රාගාධී ක්ලේශ ධර්මයන් නැති කළ, සුපේශල, ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වැඩම කළා. උන්වහන්සේ පිළිබඳව සිත පහදවා ගත් මා මගේම දෑතින්, ධාන්‍යවලින් සැකසූ කැවුමක් පූජා කළා. ඒ අනුහසින් මා මේ සා සැප සම්පත් සහිත දිව්‍යාංගනාවක් වී ඉපදුණා.” දිව්‍යාංගනාව මුගලන් මහ රහතන් වහන්සේට විස්තර කළා.

උපාසිකාවක් වීමේ කුසලය

දරුවනේ, තවත් දවසක් මුගලන් මහරහතන් වහන්සේ මහානුභාව සම්පන්න දිව්‍ය විමානයක් දුටුවා. එක් දෙව් දුවක් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන බොහොම පී‍්‍රතියෙන් විනෝද වෙමින් සිටියා. ඒ දිව්‍ය ප්‍රාසාදය මහල් ගණනාවකින් යුතුයි. මේ සා අලංකාර, සුවිසල් ප්‍රාසාදයක් වගේම අසීමිත සැප සම්පත් ලබන්නට කළ පින් මොනවා දැයි, ඒ දිව්‍යාංගනාවගෙන් උන්වහන්සේ විමසා සිටියා.

“පින්වත් ස්වාමීන් වහන්ස, මිනිස් ආත්ම භවයක, මිනිස් දුවක් වී ඉපදී බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා උපාසිකාවක් වීමේ කුසලයෙන් මම දෙව්ලොව ඉපැදුණා. මම කිසිම සතෙක් ඝාතනය කළේ නෑ. කාටවත් හිංසා පීඩාවක් කළේ නෑ. අනුන්ගේ දේ ගන්නේ නැතිව, ස්වාමියාට අවංකව ජීවත් වූණා. කවදාවත් බොරු කීවේ නෑ. මත් වතුර භාවිත කළේ නෑ.

ඒ වගේම භික්ෂු සංඝයා වහන්සේ උදෙසා පැහැදුණු සිතින් එකම දානයක් පූජා කළා. මිය පරලොව ගිය පසු ඒ ආනිශංසයෙන් මේ සා විශාල සැප සම්පත් ලැබුණා.” ඇය ද විස්තර කළා.

“සුඛස්ස භික්ඛවේ අධ්වචනං යදිධං පුඤ්ඤං’ යනුවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. සැප ලබන්න ඕනෑ නම්, ඒ සැපයන්ට කියන අනෙක් වචනය තමයි කුසලය කියන්නේ. ඒ නිසා සැප ලබන්නට කැමැති මගේ දරුවෝ නිතර කුසල් කරන්නට ඕනෑ. කුසල් කියන්නේ යහපත් දේ කියලා දන්නවානේ. තමන් සතුටු වෙන, අනෙක් අය ද සතුටුවන නිවැරැදි ම දේ කරන්න පුරුදු වෙන්නට ඕනෑ. එහෙම නොවුණොත් අපි දුගතිගාමී වෙනවා. මැදින් පුර පසළොස්වක පෝ දා බුදුසරණ පුවත්පතෙන් අපි දුගතිගාමී ස්වභාවය ගැන දැන ගනිමු.