Print this Article


මම කියා කෙනෙක් සිටිනවා ද නැද්ද ?

මම කියා කෙනෙක් සිටිනවා ද නැද්ද ?

අප නිරන්තරයෙන් මම, මට, මගේ යනුවෙන් සෑම දෙයක් ම තදින් අල්ලාගෙන සිටිනවා. නමුත් බුදුදහම අනුව මම කියා කෙනෙක් නො මැති බව කියනවා. මම කියා කෙනෙක් නො මැතිනම්, දුකසේ හෝ සැපසේ හෝ කර්ම විපාක විඳින්නේ කවරහු ද? කියා ඔබට සිතෙන්නට පුළුවනි. එය මෙසේ පැහැදිලි කර ගන්න.

සම්මුති දේශනා සහ පරමත්ථ දේශනා යනුවෙන් බුදුපියාණන් වහන්සේගේ දේශනා සම්ප්‍රදායන් දෙකක් තිබෙනවා. බුදුදහමට අනුව සත්ත්වයෙක් නැහැ. පුද්ගලයෙක් නැහැ කියා කවුරුන් හෝ ප්‍රකාශ කරනවා නම්, එය වඩාත් නිවැරැදි ප්‍රකාශයක් නො වෙයි. එහෙමනම් බුදු දහමට අනුව සත්ත්වයෙක්, පුද්ගලයෙක් ඉන්නවාද කියන ප්‍රශ්නයට වඩාත් ම නිවැරැදි පිළිතුර වන්නේ සම්මුතියට අනුව බලන කල සත්ත්වයෙක් සිටින නමුත් පරමාර්ථයට අනුව එවන් සත්ත්වයෙක් නොමැති බව යි.

දැන් මම කියලා කෙනෙක් නැහැ කියලා හිතාගෙන යම් කෙනෙක් පඤ්චස්කන්ධයක් දානයක් දුන්නා. ආයතන හයක් වන්දනා ගමනක් ගියා කියා කිව්වොත් මේ මොන විකාරයක් ද කියලා කවුරුත් බලයි. එය ලෝකයා හිනස්සන විහිළු කතාවක් වෙනවා.

සම්මත ලෝකයේ අපි පවතින්න ඕනෑ සම්මුතියට අනුව යි. අපට පරමාර්ථයෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. සම්මත ලෝකයේ සත්ත්වයෙක්, පුද්ගලයෙක් කියා කෙනෙක් ඉන්නවා. ඒ සත්ත්ව පුද්ගලයාගේ පැවැත්මට කර්මය අවශ්‍ය යි. හරියට බැලුවොත් පින් පව් ආදි වශයෙන් කර්ම රැස් කරන්නේ මේ සම්මුතියක් වශයෙන් හඳුන්වන සත්ත්වයා. එසේ නැත්නම් මම කියන පුද්ගලයා යි. ඒ නිසා මේ කර්මවාදය කියන එක තේරුම් ගන්න ඕනෑ. ඒ සම්මුතිය තුළ පිහිටා සිටයි. ඉතින් සම්මුතියට අනුව සත්ත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ සත්ත්වයාගේ පුද්ගලයාගේ පැවැත්මට උපකාර වන්නේ කර්මය යි කියන එක අප වටහා ගන්න ඕනෑ.

සම්මුතියෙහි සත්ත්වයෙක් පවතින්නේ කර්මය නිස යි. කර්මය නැති කළොත්, එහෙම නැත්නම් කර්මක්ෂය කළොත් සත්ත්වයාගේ පැවැත්ම නැති වෙනවා. අන්න එවිට එතැනට පරමාර්ථ සත්‍යය එනවා. සත්ත්වයෙක් පුද්ගලයෙක් නැහැ කියලා අපි තේරුම් ගන්න ඕනෑ මෙන්න මෙතැන දී යි. යම් යම් දේ තේරුම් ගැනීමේ දී අප ඒ ඒ මූලාශ්‍ර අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා.

එකම මූලාශ්‍රයෙන් හැම දෙයක් ම තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. බුදුපියාණන් වහන්සේ කර්මයට අනුව සත්ත්වයෙක් , පුද්ගලයෙක් කියා කෙනෙක් ඉන්නවා කියා දේශනා කළේ මේ සම්මුතියෙහි පිහිටා සිට යි. දිගින් දිගට කර්ම රැස් කරගෙන යන්නේ ඒ කියූ සත්ව පුද්ගලයා යි. හරියට බැලුවොත් සත්ත්වයාගේ පැවැත්ම තිබෙන්නේ ඒ කර්ම රැස් කරන ස්වභාවය නිස යි. එහෙම කර්ම රැස් කිරීමක් නැත්නම් එතැන දී පරමාර්ථ සත්‍යය ඉදිරියට එනවා. කර්ම රැස් කිරීමක් නැත්නම් සත්ත්ව පුද්ගලයෙකුගේ පැවැත්මක් නැහැ.

පරමාර්ථ සත්‍යය අපට විග්‍රහ කරගන්න පුළුවන් වන්නේ සත්ත්වයෙක්, පුද්ගලයෙක් නැති එවන් තැනක දී යි. ඒ නිසා කර්මය කියන එක හඳුනා ගැනීමේ දී සත්ත්වයෙක් , පුද්ගලයෙක් , සම්මුතියක් වශයෙන් ඉන්නවාය කියන මතයේ පිහිටා තේරුම් ගැනීම කළ යුතුයි.

පුද්ගලයෙක් නැත්නම් කර්ම විපාක විඳින්නේ කවරෙක්දැයි සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැකියි. පුද්ගල වාදයක් නැත්නම් කර්ම වාදයක් නැහැ. පරමාර්ථ වශයෙන් ගන්නා ධාතු, ආයතන, ස්කන්ධ පව් කරනවා, පින් කරනවා ආදි වශයෙන් පැවැසීමෙහි තේරුමක් නැහැ. මෙවන් ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ සත්ත්වයෙක්, පුද්ගලයෙක් ඉන්නවා යන සම්මුතියෙහි නො පිහිටා කර්මය විස්තර කිරීම පහසු කටයුත්තක් නො වන බව යි.

යමෙක් පිනක් කරන්නේ නම්, ඒ තැනැත්තා විසින් නැවත නැවතත් ඒ පින කළ යුතුයි. එසේ කිරීමට අවකාශ නො මැති නම්, අවම වශයෙන් ඒ කෙරෙහි වන ඇල්මක්වත් සිහි තබා ගත යුතුයි. කුමක් හෙයින්ද, පින් කිරීම සැපයට හේතුවන නිසා යි. මේ ආදි විවිධ ප්‍රකාශයන් තුළින් බුදුපියාණන් වහන්සේ කර්මය විග්‍රහ කොට ඇත්තේ සම්මුතියෙහි පුද්ගලයෙකු සිටිනවා යන හැඟීම තුළ පිහිටා බව අපට තේරුම් ගත හැකියි.

සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තෝ ය. කර්මය දායාද කොට ඇත්තෝ ය යන ප්‍රකාශය තුළ ද ඒ අදහස විද්‍යමාන වෙයි. ඒ අනුව කර්මවාදය තේරුම් ගැනීමේදී අපට සම්මුති සත්‍යයට මුල් තැන දීමට සිදුවන බව අවධාරණය කර ගැනීම යහපත් වෙනවා.