තෙවළා බුදු වදන් අතරින් 20 :
සුගතිය හෝ දුගතිය තීරණය වන්නේ කෙසේද?
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
භාග්‍යවතුන් වහන්සේ එක් දිනක් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් පිරිවරා කෝසලයෙහි
වැඩම කරන අතරතුර එහි සාලා නම් බ්‍රාහ්මණ ගමකට වැඩම කළහ. බුදුරදුන් තම ගමට වැඩම කළ
බව දුටු සාලා ගම් වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ උන්වහන්සේ බැහැදැකීමට පැමිණියහ.
බුදුරදුන්ට නමස්කාර කිරීමෙන් හා උන්වහන්සේ සමඟ සතුටු සාමීචියේ යෙදීමෙන් අනතුරුව,
මෙලොව ඇතැම් කෙනෙක් මරණින් පසු නිරයට යති. ඇතැම් කෙනෙක් මරණින් පසු ස්වර්ගයට යති.
එයට හේතු කවරේදැයි විමසූහ.
සාලා ගම්වැසියන් ඇමතු බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු දෙමින් නරක ගති ගුණ
(අධම්මචරියා විසමචරියා) ඇති අය මරණින් පසු නිරයට යන බවත්, යහපත් ගතිගුණ ඇති අය
(ධම්මචරියා සමචරියා) මරණින් පසු ස්වර්ගගාමි වන බවත් දේශනා කළ හ. බුදුරදුන්ගේ
සංක්‍ෂිප්ත පිළිතුරෙන් සෑහීමට පත් නොවූ සාලා ගම් වැසි බමුණු ගෘහපතියෝ එය
විස්තරාත්මකව පැහැදිලිකර දෙන මෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ
ධම්මචරියාව හා සමචරියාවත් අධම්මචරියාව හා විෂම චරියාවත් මැනවින් පැහැදිලි කළහ.
අට්ඨකථාවෙහි දැක්වෙන අන්දමට අගාරික ප්‍රශ්න කිරීම හා අනගාරික ප්‍රශ්න කිරීම යනුවෙන්
කොටස් දෙක කි. කුසලය කුමක් ද අකුසලය කුමක් ද යනුවෙන් බුදුරදුන්ගෙන් විමසීම අගාරික
විමසීමයි. එය ගිහි සමාජය විසින් නිතර ඇසිය යුතු ප්‍රශ්නය යි. ආගමික වශයෙන් හොඳ නරක
කුමක් ද? මරණින් පසු කුමක් වන්නේද යන ගැටලු ගිහියා විසින් නිතර අසනු ලබන ප්‍රශ්න ය.
ඒ අනුව අටුවාව එම ප්‍රශ්න අගාරික ප්‍රශ්න ලෙස නම්කර තිබේ. පැවිද්දාගේ අරමුණ කඩිනම්
විමුක්තිය සාධනය කිරීම ය. ඒ අනුව විපස්සනාවට පාදක වන පංච උපාදානස්කන්ධ ආදිය ගැන
ගැටලු විසඳා ගැනීම පැවිද්දාගේ අපේක්ෂාව යි. ඒ වෙනුවෙන් අසන ප්‍රශ්න අනගාරික පුච්ඡා
යනුවෙන් නම්කර තිබේ. සාලා වැසි බමුණු ගෘහපතියෝ අගාරිකයෝ ය. එයට අනුරූපව අගාරික
ප්‍රශ්නයක් ලෙස මරණින් පසු කෙනෙකු සුගති හෝ දුගතිගාමී වීමට බලපාන හේතු කවරේදැයි
බුදුරදුන්ගෙන් විමසා තිබේ.
මජ්ක්‍ධිම නිකායේ සාල්‍යෙයක සූත්‍රයේ අන්තර්ගත ධර්ම චර්යාව හා අධර්ම චර්යාව පිළිබඳ
විවරණය දස කුසල් හා දස අකුසල් පිළිබඳ පැරැණිතම විග්‍රහය වේ. බුදුරදුන් ධම්මචරියා හා
සමචරියා යනුවෙන් අදහස් කළේ දස කුසල ප්‍රතිපදාවට අයත් කායික, වාචසික හා මානසික
සදාචාරය යි. තිදොරින් කෙරෙන දස වැදෑරුම් අකුසල චර්යා අධර්ම චර්යාව හෙවත් විෂම
චර්යාව ලෙස නම්කර තිබේ. කයින් වන ප්‍රාණඝාතය, අදත්තාදානය හා කාම මිත්‍යාචාරයත්
වචනයෙන් වන බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම හා පරුෂ වචන කීමත්, සිතින් වන අන්
සතු දෑ තමා සතුකරගැනීමේ දැඩි ලෝභයත්, අන්‍යයන් නැසෙත්වා, වැනසෙත්වා යන වධක චේතනාවත්
නියත මිත්‍යා දෘෂ්ටියත් යන අකුසල ක්‍රියා දොළොස අධර්ම චර්යාවට අයත් ක්‍රියාකාරකම්
ය. මෙම දස වැදෑරුම් අකුසල චර්යාවල නිරත වීමේ හේතුවෙන් පුද්ගලයා මරණින් පසු නිරයගාමි
වේ. ඒ අනුව කෙනෙකු නිරයගාමී වීම කෙරෙහි බලපාන්නේ ඔහු හෝ ඇය විසින් සිදුකරන ලද අකුසල
ක්‍රියාවන් ය. එම දුශ්චරිත ක්‍රියාවන්ගෙන් වැළකී දශ කුසල ප්‍රතිපදාව ට අයත් චර්යා
ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ස්වර්ග ගාමි වේ.
සාල්‍යෙක සූත්‍රය අනුව නිරය හෝ ස්වර්ගය තීරණය කෙරෙන ප්‍රධාන සාධකය වන්නේ පුද්ගල
චර්යාව යි. චර්යාව යහපත් වුවද, අයහපත් වුවද එහි නිමැවුම් කරුවා පුද්ගලයා ය. ඊට
වගකිව යුත්තා ද පුද්ගලයා ය. තවත් අයෙකුට වෙනත් අයෙකුගේ සුගතිය හෝ දුගතිය තීරණය කළ
නොහැකි ය. සූත්‍රයේ දැක්වෙන පරිදි දස වැදෑරුම් අකුශල චර්යා අධම්මචර්යා හා විෂම
චර්යා යනුවෙන් නම්කොට ඇත.
සුත්‍රයේ දැක්වෙන දසකුසල ප්‍රතිපදාවේ පළමු හා දෙවන අංග දෙකින් පුද්ගලයාගේ කායික හා
වාචසික චර්යාවේ යහපැවැත්ම පැහැදිලි කෙරේ. කොටින් කිවහොත් එයින් අදහස් වන්නේ කායික
වාචසික සංවරය පදනම් කර ගත් බාහිර ශික්ෂණය යි. කෙනෙකු රැකිය යුතු, ආරක්ෂා කළ යුතු,
උසස්ම සිලය හා ශික්ෂණය එය යි. තෙවැන්නෙන් මානසික පවිත්‍රතාව අදහස් වේ. සන්තානගතව
පවතින විෂම ලෝභය හෙවත් අන්‍යයන් සතු දෑ තමා සන්තක කරගැනීමේ ආශාව වන අභිධ්‍යාවත්
අනුන්ට අයහපත ප්‍රාර්ථනා කරන වදක චේතනාව පදනම් කර ගත් ව්‍යාපදයත් හොඳ, නරක මෙලොව,
පරලොව කර්මය හා එහි ඵලය ආදිය නොපිළිගන්නා නියත මිත්‍යා දෘෂ්ටියත් සිත කිලිටි කෙරෙන
සංකල්පනා හා අදහස් ය. ඒවා සිත කිලිටි කිරීමෙන් නොනැවතී යට දැක් වූ අකුසල සහගත කායික
හා වාචසික චර්යාවට අනුබල සපයන, සහාය දක්වන ඒ කෙරෙහි පුද්ගලයා මෙහෙයවන අකුසල සහගත
මනෝ භාවයන් ලෙස ද ක්‍රියාත්මක වේ.
දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය පදනම්කරගත් සාවද්‍ය ආකල්ප පුද්ගලයා අයහපතට යොමුකිරීමට
හේතු වේ. කෙනෙකු මූලික වශයෙන් යහපත් මිනිසෙකුයැයි කිව හැකි වන්නේ අවම වශයෙන් එම
තැනැත්තාගේ චිත්ත සන්තානයෙහි පරිත්‍යාග චේතනා, හොඳ නරක පිළිබඳ විශ්වාසය, මව්පියන්ට
සැලකීම, ආදි සාධු ගුණවත් පවතින්නේ නම් පමණි. එවැනි විශ්වාසයකින් හා පිළිගැනීමකින්
තොර පුද්ගලයා අභ්‍යන්තරයෙන් කිසිදු තෙත් බවක් නොමැති, වියළි එමෙන්ම නිසරු
අදහස්වලින් පිරුණු තැනැත්තෙකි. බුදුසමයෙහි ලෞකික සම්‍යග්දෘෂ්ටිය යනුවෙන් අදහස්
වන්නේ යථොක්ත දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වීමසයි. එයින් බැහැර නොවුණ
තැනැත්තෙකුට බෞද්ධ ප්‍රතිපදාවෙහි ඉදිරිගමනක් නොමැත.
සාල්‍යෙක සූත්‍රය වාර්තා කරන අන්දමට බුදුරදුන් විසින් ධම්මචරියා හා අධම්ම චර්යාවත්,
විසම චර්යා හා සම චරියාවත් යන දසවිධ කුසල හා අකුසල ප්‍රතිපදාව පැහැදිලි කිරීමෙන්
අනතුරුව ප්‍රකාශ කරනු ලැබුවේ, යම් පුද්ගලයෙක් මෙකී දස කුසල ප්‍රතිපදාවෙහි නිරත
වෙමින් හෝ අනුගමනය කිරීමෙන් අනතුරුව මරණින් පසු යම් බමුණු මහාසල් කුලයක, දේවකායික,
බ්‍රහ්ම කායික ලෝකයක ඉපදීමට ප්‍රාර්ථනා කරන්නේ නම් එම ප්‍රාර්ථනා සමෘද්ධ වන බවයි.
එසේ නැතහොත් යම් කෙනෙක් කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් අර්හත්වය ප්‍රාර්ථනා කරන්නේ නම් එය
ද මෙලොව දී ම සාක්ෂාත්කරගත හැකි බව දේශනා කළහ. මේ අනුව දස කුසල ප්‍රතිපදාවෙහි
මැනවින් නිරතවන තැනැත්තාට තමා අපේක්ෂා කරන යහපත් නිෂ්ඨාව වෙත ළඟාවීමේ හැකියාව තිබේ.
යම් නිෂ්ඨාවක් ප්‍රාර්ථනා කරගෙන එය පිළිපැදීමෙන් එකී නිෂ්ඨාව වෙත ළඟා විය හැකි බව
මෙම සූත්‍ර දේශනාවෙන් ගම්‍ය වේ.
සුගතිය තීරණය වන්නේ පුද්ගල චර්යාවට අනුරූපව ය. සදාචාර ප්‍රතිපත්ති බැහැර කොට බාහිර
වශයෙන් අනුගමනය කරනු ලබන වත් පිළිවෙත් වලින් පමණක් විමුක්තිය අපේක්ෂා කළ නො හැකිය
යන්න සාල්‍යෙක සූත්‍රයේ දැක්වෙන විග්‍රහය වේ. සදාචාරාත්මක ප්‍රතිපදාව ස්වර්ගයෙන්
නොනැවතී විමුක්තිය නිෂ්ඨාව කොට ඇති අයුරු මෙයින් පැහැදිලි වේ. ධම්මචරියා හා
සමචරියාව පිළිබඳ බුදුරදුන්ගේ දේශනයට සවන් යොමුකළ සාලා වැසි බමුණු ගෘහපතියෝ තෙරුවන්
සරණ ගිය උපාසක පිරිසක් බවට පත් වූහ. |