ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි
ධම්ම විචය සම්බොජ්ඣංගය:
ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට...
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ධම්ම විචය සම්බොජ්ඣංගය දියුණු කර ගැනීම සඳහා කොයි කවුරුත් තම දහම් දැනුම දියුණු
කරගත යුතු යි. ධම්ම විචය යනු නුවණට නමකි. එනම්, ධර්මයේ හැසිරීම යි. බෝධි අංග
නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා ප්‍රඥාව විශේෂාංගයක් ලෙස සැලකෙනවා.
බොජ්ඣංග පිළිබඳ කොයි කවුරුත් ඉගෙන ගෙන සිහි නුවණ වැඩිකරගෙන ඉදිරියට යාම බුදු දහමින්
ප්‍රකාශ වෙයි. මෙම බොජ්ඣංගය සෑම කෙනෙකු විසින් ම කුමක්දැ’යි අවබෝධ කළ යුතු යි.
නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා කරුණු හතක් අවශ්‍ය වෙයි. එනම්, සිහි කල්පනාව,
නුවණ, වීර්යය, සන්තෝෂය, කෙලෙසුන්ගෙන් ධරත භාවයක් නැති බව, සමාධිය සහ මධ්‍යස්ථබව යි.
මෙම කරුණු හත සඳහා මූලික වන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව නැති වුණොත් සිහිය, වීර්යය,
සොම්නස එකකවත් සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. ධම්මවිචය සම්බොජ්ඣංගය තමා කෙරෙහි
විද්‍යමානව ඇත්තා වූ හෝ ධම්මවිචය සම්බොජ්ඣංගය මාගේ අධ්‍යාත්මිකව හෝ ධම්මවිචය
සම්බොජ්ඣංගය දැන් මා කෙරෙහි ඇත්තේ යැ’යි දත යුතු යි. තමා කෙරෙහි අවිද්‍යමාන වූ ධම්ම
විචය සම්බොජ්ඣංගය මාගේ සිතේ නැති කල්හි නැති බව දැනගත යුතු යි. නූපන්නා වූ
ධම්මවිචය
සම්බොජ්ඣංගය නූපන්න බව දැනගත යුතු ය. උපන්නා වූ ධම්මවිචය සම්බොජ්ඣංගය උපන්නා වූ බව
දැනගත යුතු යි. එවිට තමන්ගේ යටවී තිබෙන නුවණ මතු වී ධම්මවිචය සම්බොජ්ඣංගය හෙවත්
ප්‍රඥාව දියුණු වන්නේ ය. ඒ නිසා ඔබ සෑම කරන කියන සෑම කටයුත්තක්ම නුවණ පහළ කරගෙන කර
ගැනීම තුළින් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩෙන්නේ ය. දියුණු වන්නේ ය. ධම්මවිචය
සම්බොජ්ඣංගය නුවණට නමක් බව කාටත් වැටහෙනවා. නුවණ නැතිව නිවන් මඟ, සුගති මඟ යන්න
පුළුවන්කමක් නැහැ. නිවන් සම්පත් අවබෝධ කරගැනීම සඳහා ධම්මවිචය සම්බොජ්ඣංගය විශේෂයෙන්
උපකාරක ධර්මයක් වෙයි.
ධම්ම විචය සම්බොජ්ඣංගය උපදවා ගන්නට කරුණු හතක් අවශ්‍ය වෙයි. එනම්, ස්කන්ධ ධාතු
ආයතනය ඉන්ද්‍රිය බල බොජ්ඣංග ආදී ගැඹුරු ධර්ම පිළිබඳව නොදත් දේ දැන ගැනීම සඳහා
ප්‍රශ්න විචාරීම ආදී සාකච්ඡා කිරීම් වෙයි. දෙවැන්න අධ්‍යාත්මික– බාහිර වස්තූන්
පිරිසුදුව තබා ගත යුතු යි. අඳින , පළඳින දේ , කන බොන දේ , ඉන්න හිටින තැන් ආදිය සෑම
දෙයක් ම පිරිසුදුව තබා ගැනිම යි. තෙවැන්න ශ්‍රද්ධා- ප්‍රඥා , සමාධි- වීර්යය එකට
එකක් වැඩි නොවන සේ ඉන්ද්‍රියන් සමව තබා ගැනීම එනම්, ඇඟිලි පහක් සේ ඇති ඉන්ද්‍රියයන්
පහ ඇඟිලි පහ වගේ තබා ගන්නේ නැතිව සම මට්ටමට ගෙන ආ යුතු යි. සිව්වැන්න නුවණ මද මෝඩ
පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකීම, පස්වැන්න ඥානවන්ත පුද්ගලයන් ආශ්‍රය කිරීම, හයවැන්න
ගම්භීර ඥාන චර්යාව ඇති පුද්ගලයන්ගේ චරිත මෙනෙහි කිරීම, වැදගත් උදවියගේ ඥාන, වීර්යය,
ධීර උතුමන්ගේ චරිතාපදාන කියවීම, එයින් ද නුවණ වැඩෙයි. තව ද සෑම ක්‍රියාවකදී ම නුවණ
වැඩෙන සේ කටයුතු කිරීම, මේ හැම දෙයක් කෙරෙහිම ඇලී ගැලී වාසය කිරීම, ආදී කරුණු හත
ධම්ම විචය සම්බොජ්ඣංගය දියුණු කර ගැනීමටත් අත්‍යඅවශ්‍ය කරුණු හතක්. ඒ නිසා කොයි
කවුරු වුණත් තමන්ගේ නුවණ දියුණු කර ගැනීම සඳහා හොඳට ධර්මයට අනුව කටයුතු කළ යුතු යි.
එවිට ධම්මවිචය සම්බොජ්ඣංගයත් ඇති වෙනවා, පවතිනවා,නැති වෙනවා. නැවත ඇති වෙනවා,
පවතිනවා, නැති වෙනවා. ඒ නිසා මෙම බොජ්ඣංගයත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සැලකිය
යුතු යි. තමන්ගේ සිතෙහි නුවණ තියෙනවානම් එය තිබෙන බවත්, නැති නම් නුවණ නැති බවත් ,
නූපන් නුවණ ලැබුණු බවත්, උපන්නා වූ නුවණ දියුණු වූ බවත් දැනගත යුතු යි. එය ධම්මවිචය
සම්බොජ්ඣංග භාවනාව නම් වෙයි.
හොඳට නුවණින් පරික්ෂා කර බලමින් නුවණ මෙහෙයවා කටයුතු කළොත් සෑම දෙනාටම පුළුවන්කම
තියෙනවා, ගුණ ධර්ම හොඳින් දියුණු කර යහපතට අනුව කටයුතු කරන්න. මේ ගැන හසල දැනුමක්
කවුරුත් ඇතිකරගෙන ධම්මවිචය නම් වූ නුවණ හොඳට දියුණු කරගත යුතු යි. ඥාන සම්ප්‍රයුක්ත
නමින් වදනක් තිබෙනවා, සිත දියුණු කර ගැනීමේ ක්‍රමයක් ලෙසට. සෝමනස්ස සහගත සහ ඥාන
සම්ප්‍රයුක්තය, එහි සෝමනස්ස යනු සන්තෝෂය යි. ඥාන සම්ප්‍රයුක්ත යනු නුවණ යි. මේ නුවණ
නොයෙක් ක්‍රමවලට බෙදෙයි. අභිධර්ම පිටකයෙහි ධර්ම සංගනී ප්‍රකරණයෙහි ප්‍රඥාවට, නම්
තිස් ගණනක් තිබෙයි. ධම්ම විචය වදනත් එයට ම ඇතුළත්. ඒවා එකිනෙක අර්ථ වෙනස් කරන්නේ
ප්‍රඥාව එකක් වුණත්, ඒ නම්වල අර්ථ වෙනස්. අවබෝධාර්ථ වෙනස්. එසේනම් , අපි බණ අසන
වේලාවේත්, භාවනා කරන වේලාවේත් හොඳ නුවණින් කටයුතු කළොත් ධම්මවිචය සම්බොජ්ඣංගය
හොඳින් වැඩෙයි. කරන, කියන , සිතන සෑම දෙයක් කෙරෙහි ම සිහි නුවණින් ම කටයුතු කළොත්,
මේ බොජ්ඣංගය තම සිතෙහි හොඳින් පහළ වෙයි. ඒවා දියුණු කර ගැනීම සඳහා මේ තථාගත ධර්මය
අපට පෙන්නුම් කරන්නේ. කිසිම දෙයක් කෙරෙහි අවධානයක් නැතිව, ඕනෑවට එපාවට කටයුතු
කළොත්, විශාල පිරිහීමක් වෙයි. එම පිරිහීම වළක්වා ගන්නට එක එක උපදේශ බුදුරජාණන්
වහන්සේ අපට ලබා දුන්නේ. ඒ සෑම උපදේශයකින් ම ක්‍රියාත්මක කරන්නේ, නුවණ දියුණු කර
ගැනීම සඳහා යි. පොත පත කියවීමත්, රැකියාව කිරීමත්, ගුරු බසට සවන් දීම, ශිල්ප
ශාස්ත්‍ර හැදෑරීමත් නුවණ මෙහෙයවා සිද්ධ කෙරෙනවා. විශේෂයෙන් දාන , ශීල, භාවනා
පින්කම්, අමෝහය ප්‍රඥාව යොදා කළොත් එය ගරු ගාම්භීර පිනක් බවට පත් වෙනවා.
යමක ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට, තේරුම් බේරුම් කරගන්නට, අවශ්‍ය කරන්නේ මෙම
ප්‍රඥාව යි. මේ ප්‍රඥාවේ බලගතු බව කෙසේදැ’යි සඳහන් කළොත්, ධ්‍යාන ලබන්න, සමාධි,
සමාපත්ති, විදර්ශනා ඥාන, ලබන්නට මහෝපකාරී වෙනවා. එපමණක් නොව , මේ ප්‍රඥාවටම යි,
සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල ලැබෙන්නේ. පසේ බුද්ධ ඥාන, සර්වඥතා
ඥාන, ලොවුතුරා බුද්ධත්වය ආදී සියලුම දේ ලැබෙන්නේ ප්‍රඥාවට යි. කයට නෙවෙයි, හිතට යි
ලැබෙන්නේ. හිත සමඟ ලැබුණා වූ ප්‍රඥාව නිසා හොඳට දියුණු තියුණු කරගන්නට, තරම් ශක්තිය
ලැබිලා තිබෙන්නේ. යමක් දේශනා කළ විට එය තත්ත්වාකාරයෙන් දැන ගැනීම ධම්ම විචය යි.
‘නිවන පිණිස හේතු වේවා’ යන පැතුම ධම්මවිචය සම්බොජ්ඣංගය යි. මොහොතක් පාසා ම එය
නුවණින් පිරික්සා බලද්දී වැටහෙනවා. බණ ඇසීමේ දී,භාවනාවේ දී ද, සෑම පින්කමකදී ම නුවණ
වැඩිවෙත්ම ධම්ම විචය සම්බොජ්ඣංගය අනිවාර්යෙන් වැඩෙයි.
මේ ගැන හසල දැනුමක් කවුරුත් ඇතිකරගෙන බණ භාවනා කටයුතු හොඳට දියුණු කර, ගුණ නුවණ දෙක
දියුණු තියුණු කර ගැනීම සඳහා තමන්ගේ බොජ්ඣංග ධර්මය වඩාත් දියුණු තියුණු කරගන්නට
වෙනවා. කුඩා කල පටන් ජීවිතය අවසානය දක්වා ම අපේ ක්‍රම, සැලැස්ම විවිධාකාර වෙයි. ඒවා
නුවණට ගෝචර කර ගැනීම සඳහා සැමට ම ලැබුණා වූ නුවණ භාවිත කළ යුතු යි. විද්‍යාඥයා
තමන්ට අයිති කාර්යය නිවැරැදිව නුවණින් බලා, ප්‍රකාශ කරනවා, එය දැන ගන්නවා. ඒ , ඒ දේ
පිළිබඳ දක්ෂ විය යුතු යි. ධර්ම ශාස්ත්‍රය පිළිබඳවත්, සෑම දෙයක් ම දැනගැනීම
පිළිබඳවත් දැනීම ලැබෙන්නේ නුවණින්. එසේනම්, මේ නුවණ හොඳට වටහාගෙන ඥාන සම්ප්‍රයුක්ත
අමෝහ වචනවලින් ප්‍රකාශ වන දේ දියුණු කරන්නට වෙනවා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන කොට,
බලවත් ඕනෑකමකින්, උත්සාහයකින් කටයුතු කළ යුතු යි. එය හොඳට දියුණු තියුණු කර, තමන්ගේ
පිළිවෙත ඉදිරියට ගෙන යන්න. ඒ සඳහා නුවණ අත්‍යවශ්‍ය වෙයි. බුදු, පසේබුදු , මහ රහතන්
වහන්සේලා දීර්ඝ කාලයක් ධම්මවිචය සම්බොජ්ඣංගය දියුණු කළ නිසා තමන් වහන්සේලාට
උත්තරීතර තත්ත්වය ලැබුණේ. ඕනෑම කෙනෙක් නිවන් සම්පත් ප්‍රාර්ථනා කරනවානම්, ඒ
ප්‍රාර්ථනාව තුළ ඇත්තේ ධම්ම විචය සම්බොජ්ඣංගය යි. මේ කරුණු කාරණා කවුරුත් හොඳින්
දැනගෙන, මගේ සිතෙහි මේ මොහොතේ නුවණ තිබෙනවා යැ’යි , මේ මොහොතේ නුවණ නැතැ’යි පෙර
සඳහන් කළ ක්‍රම හයටම අනුකූලව හොඳට පිරික්ෂා කර බැලීමෙන් ධම්ම විචය සම්බොජ්ඣංගය
වැඩෙයි. එය තවත් දියුණු කර ගැනීම සඳහා කවුරුත් ආගමට, දහමට , ශාසනයට ලැදිව කටයුතු
කිරීම ඉතාමත් ම වැදගත්. ලොවුතුරු බුදු දහමට අනුව ශීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන, ඕනෑම
කෙනෙකුට පුළුවන්කම තිබෙනවා, බුදු දහමට අනුව කටයුතු කරලා, තමන්ගේ ධම්ම විචය ප්‍රඥාව
දියුණු කර ගන්න. ප්‍රඥාවේ ඉහළම තනතුර සර්වඥතා ඥානය යි. එය ලැබෙන්නේ ලොවුතුරා බුදු
කෙනෙකුට පමණ යි. මේ ලෝක ධාතුව, අනන්ත ලෝක ධාතු දෙස, බැලිය හැකි සෑම ලෝකයක් පිළිබඳව
ම අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. එතරම්ම දීර්ඝ, ඉහළටම ගිය නුවණක් ලබන්නටත්,
ධම්මවිචය සම්බොජ්ඣංගය ප්‍රයෝජනවත් වෙනවා. අන් දේ ගැන කවර කතා ද? ඒ නිසා කවුරුත් තම
නුවණ භාවිත කර , සිහි කල්පනාව හොඳින් යොදවා, සම්බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු ගුණ ධර්ම
ටික ලබාගෙන, ධම්මවිචය සම්බොජ්ඣංගය උපදින ආකාරය හොඳට බලාකියාගෙන ඉන් තම සිතට විශාල
දැනුමක් ලබාගෙන, මේ කියන කරුණු කාරණා හිතට ගෙන, ඉදිරියට යාමෙන් තමන්ගේ භාවනා ක්‍රම
හොඳට වඩා වර්ධනය කරගන්න පුළුවන්.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් සිතන විටත්, ධම්ම විචය සම්බොජ්ඣංගය වැඩෙනවා.
ඉතිපි සෝ භගවා, අරහං, සම්මා සම්බුද්ධෝ යන බුදු ගුණ මෙනෙහි කිරීමේ දී ත් ලැබෙන්නේ
ධම්මවිචය සම්බොජ්ඣංගය යි. මේවා හොඳින් සිතාගෙන සිහි නුවණින් ආගමික කටයුතු සම්පූර්ණ
කරගත් විට කරදර, පීඩා , බාධක වලින් තොරව මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. එසේනම්,
තුනුරුවන් සරණින් ධම්මවිචය සම්බොජ්ඣංගය හොඳට වඩා වර්ධනය කර ගනිමින් දැනුම වැඩි
දියුණු කරගෙන , සීලා දී ප්‍රතිපත්තිත් වැඩි කරගෙන මාර්ග ඵල නිවන් පසක් කර ගැනීම
සඳහා හේතු වාසනා වේවා!
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |