අකුරටියේ නන්ද නා හිමි
ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි සම්බුදු සසුන ආලෝකවත් කරමින් වැඩවෙසෙන ශික්ෂාකාමී
විද්වත් යතිවරයන් වහන්සේ නමකි.
දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ බද්දේගම ගිං ගඟ අසබඩ පිහිටි අකුරටිය නමැති ගම්
පියසෙහි විසූ සාම විනිසුරු පියදාස බෝපේ කොඩිතුවක්කු මහෝපාසකතුමාගේ මහතාගේ හා ගුණවතී
වීරතුංග මහෝපාසිකා මාතාවගේ පුත්‍ර රත්නයක් ලෙස 1954 ජනවාරි 20 වැනි දා නන්ද නා
හිමියෝ ජන්ම ලාභය ලැබූහ.
එවකට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, විද්‍යෝදය පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති කීර්තිශේෂභාවෝපගත අකුරටියේ අමරවංස නාහිමියන්ගේ සහ ගාලු කෝරළයේ ප්‍රධාන
සංඝනායකව වැඩසිටි බද්දේගම පුඤ්ඤාසාර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1965 ජූනි 24 වැනි
දා පහළකීඹිය පුරාණ මහා විහාරයේ දී ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූහ. ගාල්ලේ විද්‍යාලෝක
පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ ධර්ම විනය භාෂා ශාස්ත්‍රාදිය මැනවින් හදාළහ. ප්‍රාචීන
භාෂෝපකාර සමාගමේ උත්තරීතර විභාගයන්ගෙන් ද ඉතා උසස් ලෙස සමත් වූහ.
1979 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියත්, 1986 දී
ශාස්ත්‍රපති උපාධියත්, 1990 දී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ වූ උසස් ඩිප්ලෝමාවත්, 1992 දී
දර්ශනපති උපාධියත් පිළිවෙලින් ලබාගත් නන්ද නාහිමියෝ එංගලන්තයේ කේම්බ්‍රිජ්
විශ්වවිද්‍යාලයෙන් ඉංගී‍්‍රසි ඩිප්ලෝමාවත්, තායිලන්තයේ මහාචූලාලංකාර රාජ්‍ය
විශ්වවිද්‍යාලය, එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය වැනි අධ්‍යාපන ආයතනයන්
වෙතින් පශ්චාත් උපාධි හා ඩිප්ලෝමා හිමිකර ගත්හ.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයානුබද්ධ ආයතන සතරෙන් එකක් වූ විද්‍යෝදය
ආයතනාධිපති ලෙස 1983 සිට 1994 දක්වා ක්‍රියා කළ නන්ද නාහිමි 1994 සිට 1996 දක්වා
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද, සිංහල ශබ්ද කෝෂයේ
ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකු ලෙස ද පසුව එහි ප්‍රධාන කර්තෘ ධූරයට ද පත්ව ඉතා දිගු කලක්
අද්විතීය සේවාවන් රැසක් සිදු කළේ ය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී
ලෙස සිදුකරන සේවාව ද බෙහෙවින්ම සම්භාවනාවට ලක් කළ යුත්තකි. මහනුවර මල්වතු මහා
විහාරය මඟින් කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ
වෙත පුද කළේ පූර්වෝක්ත සේවාවන් වෙනුවෙන් මහා විහාරය දැක් වූ ඉහළ ම ඇගයීමක් ලෙසයි.
අකුරටියේ නන්ද නාහිමි ස්වයංලිඛිත චරිතාපදානයක් ලෙස වර්ෂ 2016 දී මුද්‍රණද්වාරයෙන්
පළ කළ ‘මතක ඇති දා සිට..’ ග්‍රන්ථය තුළින් උන්වහන්සේ පිළිබඳ අප නොදත් අසිරිමත් ජීවන
තොරතුරු රැසක් දිග හැරෙයි. අකුරැටියේ නන්ද හිමිපාණෝ බොහෝ කල් සුදිලෙත්වා!
ඌරුගමුවේ අස්සජී හිමි
****
මොලිගමුවේ ධම්මවිමල නාහිමි
1931 සැප්තැම්බර් මස 22 දින කෑගල්ල දිස්ත්‍රික්කයේ මොලිගමුව නම් වූ ගම්මානයේ ඒ.ජී.
කිරනෝලිස් හා එස්.පී. සිළිඳුහාමි දම්පතීන් ලද පුත් කුමරු හෙම්මාතගම කනිෂ්ඨ
විද්‍යාලය හා බලවත්ගම කනිෂ්ඨ විද්‍යාලය ඇසුරෙන් අධ්‍යාපනය ලැබීය.
1947 මැද භාගයේ අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරස්ථානයට පැමිණීමේ භාග්‍යය ලැබ 1948
මැයි 05 දින අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරාධිපති විලේගොඩ ශ්‍රී ධම්මානන්ද
මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්‍යා භූමියට පත් වූයේ මොලිගමුවේ ධම්මවිමල නමිනි.
ගුරු හිමි ඇසුරෙන් හා විද්‍යාලෝක පිරිවෙන් අධ්‍යාපනය ලබමින් ප්‍රාචීන ප්‍රාරම්භ
පරීක්ෂණයේ දී සිංහල, පාලි, සංස්කෘත, හින්දි, දෙමළ ආදී විෂයන්ගෙන් සමත් වූහ. 1955 දී
මාදම්පා නදි උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලදහ. 1963 දී ප්‍රාචීන මධ්‍යම
මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශයද සමත්ව 1966 දී කැලණිය විද්‍යාලංකාර
විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූහ.
1966 දී විද්‍යාලෝක පිරුවන්හි ගුරුවරයකු ලෙස සේවයට එක් වූ උන්වහන්සේ 1967 – 1969
කාලය තුළ දිවිතුර ඇඹිලකන්ද අභිනවාරාම විහාරාධිපතිත්වය දැරූහ. 1969 අප්‍රේල් මස
ඌරගස්මන්හන්දිය කළුවලගොඩ ශ්‍රී ශෝභනාරාම විහාරාධිපතිත්වයට පත්වූහ. විහාරස්ථානයට
අවශ්‍ය සියලුව විහාරාරාංග සම්පූර්ණ කිරීමට සමත් වූහ.
1976 නොවැම්බර් 01 සිට අවුරුදු හතක් මොනරාගල ගැඩවිල කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කොට
1983 ජූලි 01 දින කරන්දෙණිය දකුණු මාගල කනිෂ්ඨ විද්‍යාල සේවයට මාරුවීම් ලදහ.
අනතුරුව 1990 දී හිපන්කන්ද ගා/ විද්‍යා සමාධි පිරිවෙනේ පරිවේණාධිපතිත්වය දරමින්
1991 සැප්තැම්බර් 22 දින ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූහ.
2003 දී විලේගොඩ ධම්මානන්ද නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නය වූ උන්වහන්සේට සුනන්දාරාම මහා
විහාරස්ථානයේ අධිපතිත්වය හිමි විය. කළුවලගොඩ ශ්‍රී ශෝභනාරාමයෙහි දියුණුව සැලසූ
උන්වහන්සේ අම්බලන්ගොඩ සුනන්දාරාමයටද බොහෝ සේවය කළහ.
උන්වහන්සේගේ හැත්තෑවසරක පැවිදි දිවිය අගයමින් මහා පින්කම් මාලාවක් අම්බලන්ගොඩ
සුනන්දාරාම මහා විහාරස්ථානයේ දී සිදු කැරිණි. තව තවත් ලෝ සසුන් වැඩුමට මොලිගමුවේ
ධම්මවිමල නාහිමියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.
ආචාර්ය සිරිපාල මාදුවගේ
****
කොටවිල ශ්‍රී දීපානන්ද නා හිමි
දෙහිවල වෛද්‍ය පාරේ විද්‍යාවර්ධන පිරිවෙන් විහාරයේ නිර්මාතෘ, අපවත් වී වදාළ කොටවිල
ශ්‍රී දීපානන්ද නාහිමිපාණන් වහන්සේ 30 වන ගුණ සමරුව පෙබරවාරි 04 වනදා පැවැත්වේ.
මාතර වැලිගම්පත්තුවේ කොටවිල ග්‍රාමයට ආසන්න ගම් ප්‍රදේශයක් වූ හේන්වල දී ජන්ම ලාභය
ලැබූ කුමරුවා කොටවිල ශ්‍රී රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස කොටවිල
දීපානන්ද යන නමින් පැවිදි විය.
අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව නිමාකළ දීපානන්ද හිමියෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා
කැලණියේ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් විය. පණ්ඩිත උපාධිය දක්වා තම අධ්‍යාපන කටයුතු
කරගෙන යමින් විදුලකරේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වීය.
රත්මලානේ පුරාණ විහාරස්ථානයට පැමිණ ගුරුවරයකු ලෙස අධ්‍යාපනික සේවාව පුළුල් කරමින්
කුඩා ආරාමයකින් ආගමික සේවාව ආරම්භ කළ උන්වහන්සේ දහම් පාසල් සේවාව ලබාදීම සඳහා
‘යශෝධරා’ නමින් ධර්ම විද්‍යාලයක් ආරම්භ කළහ.
1934 සිට 1960 දක්වා ආගමික හා සමාජ සේවා පවත්වාගෙන ගිය විද්‍යාවර්ධන විහාරය 1960 දී
නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් “විද්‍යාවර්ධන පිරිවෙන” එහි ආරම්භ කොට රජයේ අනුග්‍රහය
ද ඇතිව ශාසනස්තිථිකාමි පැවිදි ශිෂ්‍ය පිරිසක් බිහි කළහ.
ප්‍රදේශයේ බෞද්ධ නොවන පිරිස්, විශේෂයෙන් සිංහල මාධ්‍ය අධ්‍යාපනය නොලැබූ දූ දරුවන්ට
සිංහල ඉගැන්වීම ද, පිරිවෙන් අධ්‍යාපනයට සමගාමීව කරගෙන ආ අතර ඒ තුළින් බිහි වූ සිංහල
කතා කරන පිරිස් අතර පසුකාලීනව දේශපාලන ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය වූ අයද වේ.
දශක හතරකට ආසන්න සේවාව ඇගයීම පිණිස මහනුවර මල්වතු මහා විහාරයේ විංශද් වර්ගික කාරක
සංඝ සභාව කොළඹ හල්පිටි කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය දීපානන්ද නාහිමියන්ට
පිරිනැමීය. 1972 දී ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදාන උත්සවය පැවැත් වූ අතර එවකට
විපක්ෂ නායකධූරය හෙබවූ පරලොව සැපත් ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන
ශ්‍රීමතාණන් ද සහභාගී වූ සම්භාවනීය පිරිස අතර විය. මෙම නායක පදවිය ලැබීම ගැන
ප්‍රසාදයටපත් ජේ.එම්. පීල්ලගොඩ මහතා හා පවුලේ සැම තමන්ගේ ගෙයක් හා ඉඩම උත්සව සභාවේ
දී පිළිගැන්වීම ද විශේෂත්වයකි.
1980 දශකය දීපානන්ද නාහිමියන් විශ්‍රාමික සුවයෙන් ගත කළ අතර උන්වහන්සේ 1989 දී
අපවත් වී වදාළහ.
විද්‍යාවර්ධන පිරිවෙනේ ආදි ශිෂ්‍ය
කැකනදුරේ ධම්මසිරි හිමි
****
කළුගල නන්දරතන නා හිමි
ඩී.එස්. රණවක මහතා සහ ඩී.එම්. ගමගේ උපාසිකා මාතාව නා හිමියන්ගේ මව්පියන් වේ. 1955
ජනවාරි මස 19 වැනි දින කළුතර දිස්ත්‍රික්කයේ කළුගල ග්‍රාමයේ දී උපන් කළුගල නන්දරතන
නා හිමියන් සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙන් යුත් පවුලේ හයවැනි සාමාජිකයා ය.
බුලත්සිංහල ප්‍රාථමික විදුහලේ හා දිවලකඩ කණිෂ්ඨ විදුහලෙන් අධ්‍යාපනය ලබා 1964 ජූනි
මස 25 වැනි දින බුලත්සිංහල නන්දාරාම නාහිමියන් වෙතින් පැවිදි බව ලැබූ අතර හොරණ
විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයෙන් පිරිවෙන් අධ්‍යාපනය ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන්
ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇත.
1980 ජනවාරි 19 වැනි දින ගල්පාත විහාරස්ථානයට වැඩම කළ කළුගල නන්දරතන හිමියන්ගෙන්
එදා මෙදා තුර ඉටුවුණු සේවය අතිමහත් ය. කුඩා විහාරස්ථානයක් ලෙස පැවැති ගල්පාත
විහාරස්ථානය දියුණු තත්ත්වයට පත් කිරීමට කළුගල නන්දරතන නා හිමියන් අප්‍රතිහත
ධෛර්යකින් කටයුතු කළ අතර සමාජ සුබසාධන සංවිධාන රැසක සහයෝගය ලබා ගෙන ගල්පාත ප්‍රදේශය
දියුණු කිරීමට උන්වහන්සේ අතිවිශිෂ්ට කාර්යභාරයක් ඉටු කළහ. විශේෂයෙන් ම ගංවතුර උවදුර
නිසා නිරන්තරයෙන් පීඩා විඳින ගල්පාත හා අවට ප්‍රදේශවාසී ජනතාවට එම අවස්ථාවලදී
අවශ්‍ය සහන ලබාදීම සඳහා ද ගල්පාත ශ්‍රී සද්ධාරාම දහම් පාසල තුළින් ප්‍රදේශයේ දූ
දරුවන්ගේ බෞද්ධ අධ්‍යාපන ප්‍රබෝධය ඉහළ නැංවීම සඳහා ද නා හිමියන් උදාර වැඩකොටසක් ඉටු
කර තිබේ.
1987 දී බැල්ලපිටිය විද්‍යාශේකර පිරිවෙන නැවත ආරම්භ කිරීමෙන් පසු එහි ප්‍රථම
පරිවේනාධිපති හිමියන් ලෙස ද පත් වූ කළුගල නන්දරතන හිමියන් එතැන් සිට අඛණ්ඩව පුරා
වසර 27 ක් එම පිරිවෙන හරහා ගිහි පැවිදි සිසු දරුවන්ගේ ගුණ නැණ වර්ධනය කිරීමෙහිලා
ප්‍රමුඛ වැඩකොටසක් ඉටුකර ඇත.
රයිගම් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක ධූරයකින් පිදුම් ලැබූ නා හිමියන්ට උගත් බුද්ධිමත්
ශිෂ්‍ය පිරිසක් ද සිටීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවකි. පණ්ඩිත වතුරුවිල සරණංකර
හිමි, පිටිගොඩ සාරානන්ද හිමි, දෙනගම සිරි සුදම්ම හිමි, කිතුලාවේ ධම්මින්ද හිමි,
පුන්සිරිපුර සුමේධ හිමි, බුලත්සිංහල සෝරත හිමි, වතුරුවිල සද්ධානන්ද හිමි හා දොඹගොඩ
සීලානන්ද හිමි ඇතුළු හිමිවරු රැසක් කළුගල නන්දරතන නා හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවට
අයත්වේ. උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලත් කළුගල නන්දරතන නා හිමියන්ට දිගාසිරි
පතමු.
ආරියපාල එදිරිමාන්න
සභාපති
ගල්පාත විහාරස්ථ දායක සභාව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර පාලක |