තෙවළා
බුදු වදන්
අතරින්
19 :
සිත කිලිටි කරන
දුගතියට මග කියන
චිත්තෝපක්ලේශ ධර්ම
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ
දේශනා කොට වදාළහ.
“මහණෙනි, රෙදි සායම් කරන්නෙකු කිලිටි වූ මළ බැඳුණු වස්ත්‍රයක් නිල්පාට හෝ, කහපාට
හෝ, රතුපාට හෝ, මදටිය පාට හෝ සායම් භාජනයකට දැමුව හොත් එම වස්ත්‍රය කිලිටි වූවක්
නිසා නොමනා පැහැය ඇත්තක් බවට පත් වේ. අපිරිසුදු පෙනුම ඇත්තක් බවට පත්වෙයි. එමෙන්ම
සිත කිලිටි වූ කල්හි දුගතිය ම බලාපොරොත්තු විය යුතුයි.”
බුදුරදුන්ගේ මෙම දේශනය ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ වත්ථූපම සූත්‍රයේ ය. වස්ත්‍රයක්
උපමා කරගෙන දේශිත හෙයින් එම සූත්‍රය වත්ථූපම යනුවෙන් හඳුන්වා ඇත. අභිනවයෙන් සායම්
පොවන වස්ත්‍රය පිරිසුදු එකක් විය යුතුයි. අපිරිසුදු වස්ත්‍රයකට සායම් පෙවූ විට එය
දුර්වර්ණ එකක් ලෙස දිස් වේ. එහෙත් හොඳීන් සෝදා පිරිසුදු කළ වස්ත්‍රයකට යම් සායම්
වර්ගයක් යොදන්නේ නම් එම වස්ත්‍රය එකී වර්ණයට අනුව වර්ණවත් වූ දීප්තිමත් වස්ත්‍රයක්
බවට පත් වෙයි. ඒ පරිද්දෙන් ම සිත අපිරිසුදු වුවහොත් දුගතිය ම බලාපොරොත්තු විය හැකි
ය. සිත විවිධ කලෙස් ධර්මයන්ගෙන් කිලිටි වූ කල්හි පුද්ගලයා තිදොරින් ම අකුශල
ක්‍රියා, පාපක්‍රියා ආදියෙහි නිරත වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු දුගතිගාමි
වෙයි. පිරිසුදු වස්ත්‍රයකට සායම් යෙදුවහොත් එය වර්ණවත් එකක් බවට පත්වන්නා සේ සිත
පිරිසුදු නම් සුගතිය බලාපොරොත්තුවිය හැකි ය. ඉහත බුද්ධ වචනය අනුව සිත පිරිසුදු වීම
හා අපිරිසුදු වීම මත සුගතිය හා දුගතිය තීරණය කෙරෙන බව පැහැදිලි ය.
දෙවනුව බුදුරජාණන් වහන්සේ සිත අපිරිසුදු කෙරෙන උපක්ලේශ ධර්ම දහසයක් භික්ෂූන්
වහන්සේලාට පැහැදිලිකර දුන්සේක. ඒ අනුව අභිධ්‍යා විෂම ලෝභය, ව්‍යාපාදය, ක්‍රෝධය,
බද්ධ වෛරය, ගුණමකුකම, පලාසය, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව, කපටිකම, තදබව, එකට එක
කිරීම, මානය, අතිමානය, මදය හා ප්‍රමාදය යනු එම චිත්තෝපක්ලේශ ධර්මයෝ ය. මෙම අකුශල
සහගත චිත්ත ස්වභාවයන් යම් කෙනෙකුගේ සිතේ තැන්පත්ව තිබේ නම් එම තැනැත්තාගේ සිත නියත
වශයෙන් ම අපිරිසුදු ය. අපිරිසුදු සිතක් ඇති අයෙකුට දුගතිය මිස වෙනත් යහපත් සුගතියක්
අපේක්ෂා කළ නොහැකි ය. සිත කිලිටි කෙරෙන උපක්ලේශ ධර්ම දෙස බලන විට පෙනීයන්නේ ඒ
සියල්ල එකිනෙකින් වෙනස් අකුශල සහගත සිතිවිලි නාමාවලියක් බවයි. මතුපිටින් බලන විට
සමාන බවක් ඇතැයි පෙනෙන මුත් ඒ සියල්ල එකිනෙක ගෙන විමර්ශනය කිරීමේ දී එම චිත්ත වේගවල
පවතින සියුම් වෙනස හඳුනා ගැනීමට පුළුවන. විවිධ හේතු නිසා ඇතිවෙන මෙම අකුශල සහගත මනෝ
භාවයන් පුද්ගලයාගේ අධ්‍යාත්මික ජීවිතය කිලිටි කරයි.
මෙම මනෝභාවයන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට අට්ඨකථාවේ සහාය අවශ්‍ය වේ. ඒ අනුව
ස්වකීය වස්තුව කෙරෙහි පවතින ආශාව අභිධ්‍යාවයි. අනුන් කෙරෙහි අයත් වස්තුවට දක්වන
කැමැත්ත විෂම ලෝභයයි. නව වැදෑරුම් ආඝාත වස්තුව වන “මට අනර්ථයක් කළේ ය, දැනුදු කරයි,
මතුවටත් කරන්නේ ය. මගේ හිතවතාට අනර්ථයක් කළේ ය, දැනුදු කරයි, මතුවටත් කරන්නේ ය. මගේ
අහිතවතාට යහපතක් කළේ ය, දැනුදු කරයි, මතුවටත් කරන්නේ ය” ආදි වශයෙන් තමාටත්, තම
හිතවතාටත්, අහිතවතාටත් කළ දෑ අනුව කාලත්‍රය වර්තීව කල්පනා කිරීමෙන් ඇතිවෙන කෝපය
ව්‍යාපාදයයි. මේ අනුව නවවිධ ආඝාත වස්තුව ව්‍යාපාදය ඇති වීමට පදනම වේ. යට දක්වන ලද
ආඝාත වස්තු නවයට අමතරව “අස්ථානයේ කිසිදු කරුණක් නොමැතිව තරහ ඇති කරගැනීම” යන කරුණත්
සමග ආඝාත වස්තු දහයකි. මෙම ආඝාත වස්තු දහය පදනම් කරගෙන ඇතිවන තරහව ක්‍රෝධය යි. නැවත
නැවතත් සිතේ ක්‍රෝධය වර්ධනය වීමෙන් උපනාහ හෙවත් බද්ධ වෛරය ඇති වේ. කෙනෙකු තමන්ට කළ
උපකාර හා යහපත අමතක කොට කටයුතු කරයි නම් එය ගුණ මකුබව හෙවත් මක්ඛ නම් වේ. තමන්ට වඩා
උසස් දැනුම සහිත බහුශ්‍රැතයන්, විවිධ සම්පත්වලින් ආඪ්‍ය ධනවතුන්, විවිධ ශිල්පීය
හැකියාවන්ගෙන් යුක්ත පුද්ගලයන් තමන් හා සමකොට සැලකීමත් තමන්ට ද ඔවුන්ට මෙන් එවැනි
හැකියාවන් ඇතැයි කල්පනා කිරීමත් පළාස නම් වේ. අනුන්ට ලැබෙන සම්පත් හා ගරු සත්කාර,
ලාභය, කීර්තිය හා යසස නොඉවසන සුළු ගතිය ඊර්ෂ්‍යාව නම් වේ. තමා අයත් සම්පත් අනුන් හා
සාධාරණ වනු දැකීමට ඇති අකැමැත්ත, අනුන් එය පරිහරණය කරනු අකැමැත්ත මච්ඡරිය නම් වේ.
වංචනික චර්යාව හෙවත් වරද සැඟවීම මායා නම් වේ. කපටි කයිරාටික බව සාඨෙය්‍ය නමි.
කණුවක් මෙන් තද අනම්‍යශීලි බව ථද්ධ නමින් හැඳීන් වේ. සාරම්භ යනු එකට එක කිරීම ය. එය
ද චිත්තෝපක්ලේශයකි. ජාති ආදි වශයෙන් සිතේ පවත්නා උන්නති භාවය මාන නම් වේ. මෙම
චිත්තෝපක්ලේශය විවිධ හේතු නිසා ඇති විය හැකි ය. විවිධ නයින් තමා උසස් කොට සැලකීම
එහි ස්වභාවය යි. අනුන් පහත් කොට සලකමින් තමා හුවා දැක්වීම අතිමානය යි. මෙහිදී
සාමාන්‍ය වශයෙන් පැවති මානය තවදුරටත් දැඩි ලෙස වර්ධනයට පත්ව තිබේ. බලවත් මුලාව
පදනම් කරගත් මානය මදය යි. අභිධර්මයෙහි එහි ප්‍රභේද රැසක් දක්වා තිබේ. ජාතිය ගෝත්‍රය
ආරෝග්‍ය යෞවන අදී වශයෙන් මදයෙහි ප්‍රභේද විසි හතක් අභිධර්ම ග්‍රන්ථවල සඳහන් වේ. පංච
කාම වස්තූන් කෙරෙහි ආසක්ත වෙමින් සිතට කැමැති පරිද්දෙන් එම අරමුණ අනුව
ක්‍රියාකිරීමට ඉඩ හසර සලසා දීම පමාද නමි. මෙම චිත්තූපක්ලේශ ධර්ම පිළිබඳ මනා
විවරණයක් අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් විසින් සම්පාදිත වඤ්චක ධර්ම හා
චිත්තෝපක්ලේශ ධර්ම නමැති ග්‍රන්ථයේ ඇතුළත් වේ.
වත්ථූපම සූත්‍රයේ එන මෙම චිත්තෝපක්ලේශ ධර්ම කිලිටි වස්ත්‍රයක් සෙයින් සිත කිලිටි
කරයි. ඒ හේතුවෙන් සිතේ පිරිසුදු ප්‍රභාස්වර බව යටපත්ව එය අඳුරු ස්වභාවයකට පත් වේ.
සිත අපිරිසුදු වූ විට පුද්ගලයා කිලිටි අයෙක් බවට පත් වේ (චිත්ත සංකිලිට්ඨා සත්තා
සංකිලිස්සන්ති). සිත පිරිසුදු වූ විට පුද්ගලයා පිරිසුදු අයෙකු වේ (චිත්ත වොදානා
සත්තා විසුජ්ඣන්ති). ඇතැම් අකුශල සහගත චිත්තෝපක්ලේශ ධර්ම වර්ධනය වීම හේතුවෙන් විවිධ
මානසික ව්‍යාධි හෙවත් මනෝරෝග ඇතිවීමේ ප්‍රවණතාවක් තිබේ. පුහුදුන් සිතෙහි අඩු වැඩි
වශයෙන් යට කී උපක්ලේශ ධර්ම නිරන්තරයෙන් ම දක්නට ලැබේ. එම චිත්තෝපක්ලේශ ධර්ම ඇති වීම
මෙන්ම ඒවායේ ක්‍රියාකාරිත්වයත් මැනවින් හඳුනා නොගන්නාතාක් එයින් පුද්ගලයාගේ සිත
පීඩාවට පත් වේ. එසේ ම අභ්‍යන්තර චිත්තෝපක්ලේශ ධර්ම පවතිනාතාක් පුද්ගලයා අධ්‍යාත්මික
වශයෙන් පවිත්‍ර අයෙකු වශයෙන් නො පිළිගැනේ. හෙතෙම බාහිර වශයෙන් කොතෙක් අලංකාර වුව ද,
පවිත්‍ර වුව ද ඇතුළතින් අපිරිසුදු අයෙකි. යම් කෙනෙක් මෙම චිත්තෝපක්ලේශ ධර්ම මැනවින්
හඳුනාගෙන ඒවා මුළුමනින්ම බැහැර කළේ නම් එම තැනැත්තා ඇතුළතින් ස්නානනය කළ අයෙකු ලෙස
පිළිගැනේ. බුදුසමය කෙනෙකුගේ අභ්‍යන්තර හා බාහිර යනුවෙන් දෙයාකාරයක පාරිශුද්ධත්වයක්
අවධාරණය කරයි. ජලය හා වෙනත් ද්‍රව්‍ය ආශ්‍රයෙන් බාහිර ශරීරය පිරිසුදු කිරීමෙන්
මතුපිට පවිත්‍රත්ත්වය පහසුවෙන් සලසා ගත හැකි වුවද අභ්‍යන්තර පාරිශුද්ධත්වය එසේ
පහසුවෙන් සලසා ගත නොහැකි ය. එය අතිශය දුෂ්කර කර්තව්‍යය කි. ඒ සඳහා පළමු ව මනසේ
ඇතිවන විවිධ උපක්ලේශ ධර්ම මැනවින් හඳුනා ගැනීම අවශ්‍ය වේ. නිසි හඳුනාගැනීමකින් පසුව
ක්‍රමයෙන් ඒවා බැහැර කෙරෙන ප්‍රතිපදාවක නිරත විය යුතු ය. බෞද්ධ භාවනාවෙන් අපේක්ෂා
කරන්නේ එයයි. එයින් තොරව චිත්තෝපක්ලේශ සමනය කරන, විශෝධනය කරන, මුලිනුපුටා දමන වෙනත්
ක්‍රමවේදයක් නොමැත. එබැවින් සිත කිලිටි කරන දුගතියට හේතුවන චිත්තෝපක්ලේශ මැනවින්
හඳුනා ගෙන ඒවා බැහැර කොට අභ්‍යන්තර ස්නානයෙන් පවිත්‍ර වීමෙන් චිත්ත විශුද්ධිය ඇතිකර
ගත හැකි වේ. |