සිල් ගුණ හඳුනාගන්න
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
මෙම ලිපියේ
තවත් කොටසක් දුරුතු පුර පසළොස්වක පෝදා (20වනදා) පත්‍රයේ පළවිය.
ඇතැම් විට ස්වාමීන්වහන්සේ නමකට ආපත්ති සිදුවෙන්න පුළුවන්. සමහර ආපත්තිවලට පාරාජිකා
ආපත්ති කියනවා. ඒවා සිදුවුවහොත් භික්ෂුවකට සාමණේර තත්ත්වයට පත්වෙන්න පුළුවන්.
සාමණේර වෙලා සිල් රැකගෙන යනකොට නැවත එයා සිල්වතෙක් වෙනවා.
ඒ වගේම සංඝාධිසේසා ආපත්ති තියෙනවා. එවැනි තත්ත්වයට පත්වුණොත් ඒ හාමුදුරුවන්ට ඒ සඳහා
පිළියම් යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඒ භික්ෂු සංඝයා වෙතින් පිරිවෙතක් මානතක්
අරගෙන ඒවා පුරා නැවත පිරිසුදු වෙන්න පුළුවන්. ඇසුරු කරන හාමුදුරුවන් දන්නවා මේ
හාමුදුරුවෝ අතින් යම් යම් අඩුපාඩු සිදුවුණත් නැවත ඒවා හදාගෙන නැගී සිටිනවා කියලා .
නමුත් ගිහි සමාජය භික්ෂුවක් දෙස බලන්නේ බාහිර ස්වරූපයෙන්. මේ හාමුදුරුවෝ සිල්වත්.
අර හාමුදුරුවෝ සිල්වත් නැහැ. එහෙම මනිනවා. නමුත් ඒ මිම්ම සම්පූර්ණයෙන් ම වැරැදි බව
බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා.
දැන් ඔබට පැහැදිලියි අපේ සමාජයේ සමහර මිනිස්සු මොනතරම් ප්‍රාථමික මට්ටමෙන් ද මේ
තීන්දු තීරණ ගන්නේ කියන කාරණාව. බුද්ධ දේශනාවට අනුව යම් පුද්ගලයෙක් පිළිබඳ නිර්වචනය
කරන්න සෑහෙන කාලයක් අධ්‍යයනය කරන්නට ඕනෑ.
අපේ ඇතැම් පිරිස් හාමුදුරුනමක් එක දවසින් ම දැක පැහැදී හරි සිල්වත් හාමුදුරුවො කියල
කතා කරනවා. කතා කළ විලාසයට, වචනවලට පැහැදෙනවා.නමුත් එහෙම කියන්න බැහැ. අතීතයේ වැඩ
සිටි පිලින්දිවච්ච මහ රහතන් වහන්සේගේ කතා ශෛලිය හරි ගොරෝසුයි. කතා කරන්නේ ‘වසලය එව,
යව“ කියලා. නූතනයේ ක්‍රමයට අනුව අපේ අය කියයි, මේ හාමුදුරුවො නම් කිසිම සීලයක්
නැහැ. කතා කරන්නවත් දන්නේ නැහැ කියලා. ඒ නිසා දීර්ඝ කාලීන ආශ්‍රයක් තිබීම ඉතාම
වැදගත්.
ගිහි සමාජයට පැවිදි හාමුදුරුවන්ගේ සීලය පිළිබඳ හඳුනාගන්නට අපහසුයි. විනය පිළිබඳ
දැනුමක් තියෙන කෙනෙකුට ඇතැම් කරුණුවලදී හඳුනාගන්නට පුළුවන්.
උදාහරණයක් ගනිමු. අපි හිතමු හාමුදුරුනමක් දවල් දොළහ පසුවී දානය වළඳනවා. බුදුරජාණන්
වහන්සේ දේශනා කළ විනය ශික්ෂාවට අනුව දවල් දොළහ පසුවී දානය වැළඳුවහොත් විකාල භෝජනයට
හසුවෙනවා. නමුත්, සැබෑවටම විකාල භෝජනයට අහුවෙනවද කියල හඳුනාගන්න පුළුවන්. නුවණින්
බලන කෙනෙකුට පමණයි. නමුත් දවසක්, දෙකක් දවල් දොළහ පසුවී දානය වළඳනවා දුටු පමණින්
කෙනෙකුට තීරණය කරන්න බැහැ ඒ හාමුදුරුවෝ දුස්සීලයි කියලා. ඒ මොකද උන්වහන්සේට පුළුවන්
ඒ ශික්ෂාපදය රකින හාමුදුරු කෙනෙකුට එය මතක් කර ඒ ශික්ෂාපදයෙන් සිදු වූ ආපත්තිය නැවත
සකස් කර ගන්නට. සමහර විට ඒ හාමුදුරුවන්, යම් අසනීප තත්ත්වයකින් පසුවන්නට ඇති. එසේත්
නැතිනම් දානයට වැඩම කරවීමට ප්‍රමාද වූවා විය හැකියි.
නමුත් මේ දුටු විගසින් ම තීරණය කරනවා හාමුදුරුවෝ දුස්සීලයි කියලා . නමුත් ඔහු හෝ ඇය
දන්නේ නැහැ ඊළඟ අවස්ථාවේදී ඒ හාමුදුරුවෝ ඒ සීලය රකින හාමුදුරු නමක් ඉදිරියට
ගිහිල්ලා උන්වහන්සේ දැනුවත් කරලා “මගෙන් මෙවැනි ආපත්තියක් සිදු වුණා. මම නැවතත් එසේ
කරන්නේ නැහැ” කියලා විකාල භෝජනයෙන් වැළකී සිටින්නේ. නමුත් ඒ දෙවැනි අවස්ථාව අර
චෝදනා කරන පුද්ගලයාට පෙනෙන්නේ නැහැ. ඒ නිසා මේ පළවෙනි කාරණාව ඉතා වැදගත්.
දෙවැනි කාරණයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුගේ පිරිසුදු බවයි.
පින්වත්නි, කතා බස් කිරීමෙන් පුද්ගලයෙකු ගේ පිරිසුදු බව දැනගන්නවා. ඒ සඳහා බොහෝ
කාලයක් ඇසුරු කළ යුතුයි. සුළු කාලයක් නොවෙයි. එය දැනගත හැක්කේ නුවණින් මෙනෙහි කරන
තැනැත්තාටයි. නුවණින් මෙනෙහි නොකරන තැනැත්තාට නොවෙයි. ඒ වගේම ඤාණවන්ත තැනැත්තාටයි.
නුවණ නැති තැනැත්තාට නොවෙයි.
අපි මෙහෙම හිතමු. යම්කිසි පුද්ගලයෙක් එකට වාසය කරනවා. ඔහු කල්පනා කරනවා මේ පුද්ගලයා
තනිව සිටින විට තවත් කෙනෙක් සමඟ වෙනත් විදිහකට කතා කරනවා. දෙදෙනෙක් සිටින විට තවත්
විදිහකට කතා කරනවා. තිදෙනෙක් සිටින විට තවත් විදිහකට කතා කරනවා. බොහෝ දෙනෙක් සිටින
විට තවත් විදිහකට කතා කරනවා.
ඉතිරි කොටස දුරුතු අමාවක පෝදා (පෙබරවාරි 04) පත්‍රයේ පළවේ.
- අයන්ති විතාන |