Print this Article


මුරගලේ නිරූපිත පද්ම සහ සංඛ

මුරගලේ නිරූපිත පද්ම සහ සංඛ

මෙරට බෞද්ධ කලාශිල්පීන් පැරැණි විහාර දේවාල හෝ මාලිගා හෝ ,විශේෂ ගොඩනැගිල්ලක් ඉදිකර අවසන් කිරීමේ දී, ඒවාට ඇතුළුවන දොරටු අලංකාර කිරීමට විශේෂ නිර්මාණ සැකසූ බව පෙනී යයි. පුරාණ ගොඩනැගිල්ලක් පිහිටි මළුවකට ඇතුළුවන හෝ මළුවෙන් ගෙට ඇතුළු වන හෝ පියගැට පෙළ මනා සේ අලංකාර කළ පියගැටවලින් යුක්ත විය.

මෙයින් පළමුවැන්න බෙහෙවින් මට සිලිටු කළ රූකම් වලින් යුක්ත සඳකඩපහණ විය. පියගැට පෙළ දෙපැත්තේ කැටයම් ඇතිව හෝ නැතිව කොරවක්ගල් දෙකකි. කොරවක්ගල් දෙක ඉදිරිපිට ඒවා රඳා සිටීම පිණිස කැටයම් නැති කුඤ්ඤයක් මෙන් සිටුවන ලද ගල්පුවරු දෙකක් දැකිය හැකි ය. මේවා දොරටු අලංකාර කිරීමට පසු කාලයේ දී පුන් කළස, මිනිස් වෙස්ගත් නාගරූප ,බහිරව රූප (පද්ම සහ සංඛ) හෝ කිසිම රූ කැටයම් නැති ගල් පුවරු ද දක්නට ලැබේ. මේවා මුරගල් හෝ දොරටුපාල ගල් යනුවෙන් හැඳින්වේ.

හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග පි. 25-2010)

මුරගලේ විකාශනයේ දෙවැනි අවස්ථාවේ දී යක්ෂ ගණයට අයත් වාමන,බහිරව රූප නැතහොත් භූත රූප දක්නට ලැබේ. මොවුන් අතුරෙන් නම් වශයෙන් ප්‍රසිද්ධ යක්ෂයන් දෙදෙනෙකුගේ නම් සංඛ සහ පද්මය. සංඛ සහ පද්ම රූපවලින් යුක්ත මුරගල් බොහෝ දක්නට ලැබේ . එබඳු මුරගල් රාශියක් අනුරාධපුරයේ ම දක්නට ඇත. එයින් පැරැණිතම මුරගල් අනුරාධපුරයේ තොලුවිල පුදබිමේ තිබේ. ඉතා අලංකාර වූ සංඛ හා පද්ම මුරගල් දෙකක් අනුරාධපුරයේ මහ විජයබාහු රජුට අයත් රජමාළිගයේ දක්නට ලැබේ.

(මුරගල් පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර පි. 7 –පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

සංඛ හා පද්ම මුරගල්

මෙම මුරගල්වල නිර්මාණය කර ඇති රූප සංඛ සහ පද්ම යනුවෙන් නම් කිරීමට හේතුව වී ඇත්තේ ඒ රූපවල ශීර්ෂාභරණය අනුව ය. මෙහි එක රූපයක ශීර්ෂාභරණය හක් ගෙඩිය (සංඛය) ක ස්වරූපය දරණ නිසා එම නාමය යොදා ඇත. අනෙක් රූපයේ ශීර්ෂාභරණය (හිස් වැස්ම) නෙළුම් මලක (පද්මය) ස්වරූපය නිසා පද්ම යන නාමය යෙදේ. මෙකල අභයගිරි දාගැබ අසල ඉතා විශාල සංඛ සහ පද්ම නිධි සහිත වූ මුරගල් දෙකක් දැක ගත හැකි ය. ඒ අනුව හක්ගෙඩිය සහිත ශීර්ෂාභරණය ඇති රූපය සංඛ බහිරව රූපය ලෙසින් ද , පද්මාකාර ශීර්ෂය සහිත බහිරව රූපය පද්ම බහිරව රූපය ලෙසින්ද, හැඳින්වේ. අනුරාධපුරයේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි මෙවැනි මුරගල් රැසක් ම දක්නට ලැබේ. ඉතා විශාල උදරයක් ද සහිත වූ මෙම බහිරව රූප නිර්මාණාත්මකව නෙළා ඇත. අතකින් යෂ්ටියක් දරා සිටින අන්දමට මෙය නෙළා තිබේ.

හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග පි. 29 -2010)

ඉතා පැරැණි කාලයේ මෙම බහිරව රූප හා යක්ෂරූප මුරගල් වලට ඇතුළත් වූ අන්දම පිළිබඳව ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා මෙසේ සඳහන් කරයි.

මුරගලේ බහිරව රූපය නාගරාජයා කරා පෙරළීමේ මධ්‍ය අවස්ථාව සිතුල්පව්ව දකුණින් පිහිටි රුහුණුමහ විහාරයේ (මගුල් මහ විහාරයේ) නා රජු හා සමඟ සමාන තත්ත්වයෙන් බහිරව රූපයක් ද නෙළා ඇති මුරගලින් අවබෝධ වේ. මෙබඳු මුරගලක් තිස්සමහාරාමයේ යටාල වෙහෙර ළග එක්කර ඇති රූකම් සහිත මුරගල් අතරේ ද ඇත. බහිරව නොහොත් භූත රූපයට පහත් තැනකට නොහොත් යටහත් තැනකට පරිවර්තනය වන්නට පෙර නාගරාජ මුරගල්වල ද භූතරූප නොයෙක් ඉරියව් වලින් නෙළා ඇත. මුරගලේ තැනක් ගැනීම සඳහා බහිරවයාත්, නාගරාජයාත් අතර ඇතිවුණු තරගය හමාර වූ සමයේ ම බහිරවයා මුරගල්වලින් සම්පූර්ණයෙන් ම නෙරපන ලද කලක් වී යැයි සිතේ. එසේ වුව ද පසුව බලෙන් පහකරනු ලැබූ, ප්‍රමාණයෙන් කුඩා වූ බහිරවයෙකු නැවත මුරගල්වලට ඇතුළත් කරන ලද බව පෙනේ. පාමුල බහිරව රූපයක් නැති නාගරාජ මුරගල්වල නිදර්ශනයක් තිරියායෙන් ලැබේ.

(මුරගල් – ආචාර්ය චාල්ස් ගොඩකුඹුර පි. 8 )

මුරගල් රූප අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අවධානය යොමු වී ඇත්තේ වාමනරූප කෙරෙහි ය. නෙරාගිය උදරයක් සහිතව, විකෘත ස්වරූපයෙන් නිරූපිත මෙම රූප සාමාන්‍ය ව්‍යවහාරයෙහි බහිරවරූප යනුවෙන් හැඳින්වේ. අභයගිරි දාගැබ අනුරාධපුරයේ විජයාබාහු රජ මාළිගයට අමතරව රාජගිරිලෙන කන්ද හා මගුල් මහ විහාරය යන පුදබිම්වල ද ඇති වාමනරූප මේ වර්ගයේ වාමන රූපවලට අයත් වේ. මේවායේ කලාත්මක අගයට වඩා ප්‍රතිමා ලක්ෂණ වැදගත් වේ. මෙම රූප පිළිබඳ පර්යේෂණය කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දොරටු දෙපස වූ වාමනරූප දෙකෙන් කුවේරයාගේ සංඛ සහ පද්ම නිධි නිරූපණය කෙරෙන බව මැනවින් පෙන්වා දෙයි. මෙම රූප හඳුනා ගැනීමේ දී ඒ රූපවල යොදා ඇති සංඛ හා පද්ම ඔටුණු ද ඉවහල් කොට ගනී.

මුරගල් ධන නිධි ආරක්ෂා කරන, ධනයට අධිපති කුවේර දෙවියාගේ නිරූපණයක් ලෙසින් සැලකේ. මෙහි වූ බහිරව රූ ධනයෙහි ආරක්ෂකයන් සේ සැලකේ. බහිරව රූප සහිත මුරගල් මුලදී යක්ෂරූපයේ පටන් වඩාත් සංකීර්ණ හා විචිත්‍ර ස්වරූපයක් දක්වා අභිවර්ධනයට පත් විය. මුරගලෙහි විකාශනයේ අවසන් අවස්ථාවේ දී නාගයා ජලයෙහි හා ධනයෙහි ආරක්ෂාව සංකේතවත් කරමින් බහිරව රූප ඉක්මවා එම ස්ථානයට පත් විය. කාලයක් ගත වන විට බහිරවයා ධනයෙහි ආරක්ෂාව පිළිබඳ සිය භූමිකාවෙන් ඉවත්ව, ධනය විනාශය සලසන්නෙක් බවට ස්ථානගත විය. මෙලෙසින් මුරගලෙහි සංවර්ධනයේ අවසාන අවස්ථාවේ දී මෙම සියලු සංකේත එකම මූර්තියකට ගොනුවෙමින් එයින් නව අරුතක් ධ්වනිත කරන්නට විය. (පුරාණ අනුරාධපුරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 319- 320-204)