Print this Article


කැවුමක් පුදා සුර සැප විඳින්නී

කැවුමක් පුදා සුර සැප විඳින්නී

දේව චාරිකාවේ යෙදුණු මුගලන් මහ රහතන් වහන්සේට දෙව් දුවක් හමුවූවා ය. ඈ උන්වහන්සේගේ දෙපා නමස්කාර කළා ය.

“දෙව්දුව, ඔබ සිරුර රන්වන් ය. ප්‍රභා විහිදුව යි. අසීමිත දිව්‍ය සම්පත් ලබන්නී ය. පෙරකල මනු ලොව කොහේද සිටියේ.?

‘ස්වාමීනි! රජගහනුවර’

‘මේ සම්පත් ලබන්නට කළ කුසල් මොනවාද?’

“ඔබ වහන්සේට කැවුමක් පිදීම ය. එසේ ම දන් පින් කිරීම ය.”

‘ඒ කැවුම් කථාව කුමක් ද? පවසන්න.’ ස්වාමීනි!රජගහනුවර මා සිටිනා කාලයේ මගේ මව්පියෝ තිසරණ සරණ ගිය අය වූහ. මම ද ඒ අනුව ගියෙමි. මට ලැබුණු බොහෝ දේ දනට දුනිමි. එසේ කල් ගෙවෙන විට මවුපියෝ මා සැමියකුට සරණපාවා දුන්හ. ඒ සැමියාගේ මවුපියෝ තුණුරුවන කෙරෙහි අප්‍රසන්න වූහ. මිසදිටුවෝ ය. මට ද එසේ තිසරණ නොයන්නැ’යි බල කළහ. මම ඒවා නො පිළි ගත්තෙමි. ලද පමණින් දන් දුන්නෙමි. ඔබ වහන්සේ දිනක් අප සිටි පෙදෙසේ පිඬු සිඟා වැඩියහ. අපේ ගේ දොරටත් වැඩියහ.

මම ගෙතුළට ගියෙමි. දනට දෙන්න දෙයක් නොතිබිණි. නැන්දනියගේ කුටියට ඇතුළුවීමි. එහි කැවුමක් තිබිණි. එය අර ගත්තෙමි. ගෙනැවිත් ඔබ වහන්සේට පිදුවෙමි. ඔබ වහන්සේ අනුමෝදනාවක් කළ සේක. ඉන් මම අසීමිත පී‍්‍රතියට පත් වූවෙමි. ඔබ වහන්සේ ආපසු වැඩිය සේක. ගත වූයේ සුළු වේලාවකි. කොහේදෝ සිට නැන්දා ගෙදර ආවා ය. මා කළ ක්‍රියාව ඇය දුර සිට දැක තිබිණි.ආ විගස ඇගේ කුටියට ගියා ය.කැවුම සෙව්වා ය. එය නැති නිසා කෝප වූවා ය. මා වෙත ආවා ය. මගේ කුටියේ තිබූ කැවුම ගත්තා ද? යි ඇසුවා ය.

“මෑණියෙනි! මම එය රහතන් වහන්සේට පිදුවෙමි.” කීවෙමි.

“තී මගේ දෙය මහණෙකුට දුන්නේ ද?”

“ගෙදරට වැඩිය හිමිනමකට දන්දීමට ඕනෑ නිසායි එසේ කළේ. අනෙක කැවුමකට ඔච්චර කෑ ගසන්නේ ඇයි? ඉන් ඔබටත් පින් ලැබෙනවා නේද?” යි මම කීවෙමි.

නැන්දාගේ කෝපය ඉහවහ ගියේ ය. අසල තිබූ මෝල් ගස ගත්තා ය. මගේ කැවුම දී මට උපදෙස් දෙන්න එනවද? කියා මෝල් ගසින් මට ගැසුවා ය. ඉන් මම මිය ගියෙමි. ඒ කුසල පලදිණි. දෙව්දුවක් වී උපන්නෙමි. මෙසේ අප්‍රමාණ සම්පත් විඳිමි.

මුගලන් මහ රහතන් වහන්සේ පී‍්‍රතියට පත්ව ඇයට ධර්ම දේශනාවක් කළ සේක. ඉන් පසු දේව චාරිකාවේ යෙදුණු සේක.