Print this Article


සුත්ත නිපාතයෙන්: ගුරු ගෞරවය යි දහම් පිළිවෙත යි

සුත්ත නිපාතයෙන්:

ගුරු ගෞරවය යි දහම් පිළිවෙත යි

සුත්ත නිපාතයට අයත් ධම්ම නාවා සූත්‍රය (දහම් නැව ගැන වදාළ දෙසුම) ගැන අපි ඉගෙන ගනිමු.

අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මෙතෙක් ලොව පහළ වූ සිල්වත්ම ශ්‍රාවක පිරිස යි. එමෙන්ම ගුණවත් ම නැණවත්ම ශ්‍රාවක පිරිස යි. ඒ ශ්‍රාවක පිරිස අතර අග්‍රස්ථානයේ වැඩ සිටි ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මුල්කොට භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාල සේක.

සැරියුත් තෙරුන් වහන්සේ පළමුවෙන් ම සද්ධර්මය ශ්‍රවණය කළේ අස්සජි මහරහතන් වහන්සේගෙනි. එමනිසා අස්සජි තෙරුන් වහන්සේ ගැන අප්‍රමාණ ගෞරවයක් උන්වහන්සේ තුළ තිබුණි. සාරිපුත්තයන් වහන්සේ තමන් වහන්සේ වැඩසිටින ඕනෑම තැනක දී, සිය ආචාර්යයන් වහන්සේ වන අස්සජි තෙරුන් වැඩ සිටින දිසාවට පවා වන්දනා කිරීම දිනපතා ම සිදු කරන සේක. මෙය දුටු සමහර භික්ෂූන් වහන්සේ සිතුවේ “තවමත් සැරියුත් තෙරුන් බමුණු දහමක් වූ දිශාවන්ට වන්දනා කරන බවයි. මේ කරුණ මුල්කොට භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත තෙරුන් වන්දනා කරනුයේ දිසාවන්ට නොව, තමන්ට පළමු දහම් පදය උගන්වා සෝතාපන්න වීමට උපකාරී වූ ගුරු දේවයන් වහන්සේට බව පෙන්වා දෙමින් මේ දෙසුම වදාළ සේක. මෙම ධම්ම නාවා සූත්‍රය ශ්‍රවණය කළ බොහෝ පිරිසකට නිවන් මඟ විවෘත විය. එම ධම්ම නාවා සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කිරීම අරඹන්නේ මෙලෙසිනි.

යස්මා හි ධම්මං පුරිසෝ විජඤ්ඤා
ඉන්දං’ ච නං දේවතා පූජයෙන්ය
සෝ පූජිතෝ තස්මිං පසන්නවිත්තෝ
බහුස්සුතෝ පාතුකරෝති ධම්මං

නැණවත් වූ කෙනෙක් ලොවේ - ඉගෙන ගනී නම් සදහම්
සක් දෙවිඳුව පුදන ලෙසේ - හේ සදහම් ගුරුන් පුදයි
බොහෝ දහම් දැනුමින් යුතු – පිදුම් ලබන ගුරුවරයා
පහන් සිතින් යුතුව ඔහුට – මතුකර දෙයි සද්ධර්මය

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් දේශනා කොට වදාළා. ‘කෙනෙක් නො පමාවී එබඳු දහම් ගුරුවරයකු ඇසුරු කළොත්, හොඳින් සවන් යුග යොමුකොට ශ්‍රී සද්ධර්මය දැනගෙන, ඒ අසනා ධර්මයට අනුව පිළිපදියි නම්, එම බුද්ධිමත් තැනැත්තා වහා වැටහෙන නුවණැති සියුම් නුවණැති කෙනෙක් බවට පත්වෙනවා. එලෙස උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරේ වටිනාකම පහදා දී තුන්වෙනි ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ පාප මිත්‍ර ඇසුරේ ආදීනව පෙන්වා වදාළේ මෙලෙසයි. ‘මතු යහපත වනසාලන, ඉරිසියාවෙන් පෙළෙන, පාප මිත්‍රයෙක් යම් හෙයකින් ඇසුරු කරන්නට ලැබුණොත් කිසි දහමක් දියුණු නො කර සැකයන්ගෙනුත් එතෙර නොවී, හිස් මිනිසෙක් ලෙස මරණයට පත්වන්නට සිදුවෙනවා. එය උපමාවකින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා වදාළා. ‘මහත් ජල කඳීන් යුතු වූ වේගවත් සැඩ පහර තිබෙන ගංගාවකට වැටුණු කෙනෙක් පහළට ගහගෙන යන කල තවත් කෙනෙක් ඒ වතුරෙන් ගොඩ අරගන්නේ කොහොම ද? යනුවෙනි. ඒ ආකාරයට දහමක් පුරුදු නො කරන, නුවණැත්තන්ගෙන් ද නො අසන කෙනෙක් තමා නො දත් දහමක් ගැන සැක සංකා ද පවතිද්දී අනුන්ට පහදා දෙන්නේ කෙලෙසින්ද? කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

එනමුත් සවිමත් යානාවකට නැගගත් කෙනෙක් රිට ද, හබල ද ගෙන උත්සාහයෙන් හා නුවණින් කටයුතු කරමින්, උපායශීලීව යානාව හසුරුවමින් බොහෝ දෙනෙකු එතෙරට ගෙනයනවා.

ඒවම්පි යෝ වේදගු භාවිතත්තෝ
බහුස්සුතෝ හෝති අවේධධම්මෝ
සෝ ඛෝ පරේ නිජ්ඣපයේ පජානං
සෝතාවධානුපනිසූපපන්නේ

දහමේ පරතෙරට ගිය – දහම වඩා අරහත් වූ
දහමද දැනගෙන බොහෝ සේ - කම්පාවක් නැති සිත් ඇති
ඔහු වෙත පැමිණෙන ජනයා - සවන් යොමා අසන විට
පවසයි ඒ හැමදෙනහට – නිවන් ලබාදෙන සදහම්

එමනිසා බොහෝ දහම් දැනගෙන ඇති, මනා නුවණ ඇති, යහපත් වූ උත්තම සදහම් ගුරුන් නිතර ඇසුරු කළ යුතුමයි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එවිට ඒ කල්‍යාණ මිත්‍රයන් වහන්සේගෙන් සදහම් දැනගෙන, ඒ සදහම් පිළිපදිමින්, මනා අවබෝධයකින් යුතු ලොව්තුරු සැප ලැබිය හැකි බව වදාරමින් භාග්‍යවතුන් වහන්සේ මෙම ධම්ම නාවා සූත්‍ර දේශනාව නිමා කළ සේක. ආදි බ්‍රහ්මචරික පඤ්ඤා නම් සූත්‍ර දේශනාවේදීත් නිවන් මඟට මුල්වෙන නො ලැබූ ප්‍රඥාව ලබා ගැනීමටත්, ලැබූ ප්‍රඥාව පරිපූර්ණ කර ගැනීමටත් ඉවහල්වන පළමු කරුණ ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙය යි. එනම් තමන්ට නිවන් මඟ පෙන්වාදෙන කල්‍යාණ මිත්‍ර ගුරු ස්වාමීන් වහන්සේ කෙරෙහි බලවත් වූ ප්‍රේමයක්, ගෞරවයක් යටහත් පහත්කමක් පැවතීම යි. එම නිසා අපටද උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ගෞරවයෙන් ඇසුරු කරමින්, නිවන් මගේ පිළිවෙත් පුරන්නට මෙම ධම්ම නාවා සූත්‍රය මහෝපකාරී වෙත්වා!