Print this Article


සසර තරණය 01: උඩුගං බලා පිහිනීම

සසර තරණය 01:

උඩුගං බලා පිහිනීම

බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණේ, අප කාටත් දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් දේශනා කරන්නට යි. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දුක නැති කර ගන්න ප්‍රතිපදාව දේශනා කරන්නට යෙදුණා. ඒ උතුම් ධර්මය විදිහට අපිට ශ්‍රවණය කරගන්නට ලැබෙන්නේ ඒ උතුම් ප්‍රතිපදාව යි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය අපේ ජීවිතය තුළින් පෙන්වූ යථාර්ථවාදී ධර්මයක්. කොහෙන් හෝ අවබෝධකරගත් ධර්මයක් නො වෙයි බුදු පියාණන් වහන්සේ දේශන කර වදාළේ, තම තමාට දැකිය යුතු, ප්‍රත්‍යක්ෂ කළ යුතු, ජීවිතයේ යථාර්ථය පිළිබඳව යි. ඒ ධර්මය තේරුම් ගන්නට සියුම් නුවණත් අවශ්‍ය වෙනවා. අපිට ප්‍රඥාවත් අවශ්‍ය වෙනවා. අපිට නුවණක් අවශ්‍ය වෙනවා, නුවණ නැති නම්, අපට ඒ ධර්මය තේරුම් ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. නුවණ කියලා කියන්නේ සම්මුති ජීවිතයේ අප තුළ තිබෙන උගත්බව නොවෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ යථාර්ථවාදී ධර්මය පිළිබඳ ඇතිවන ප්‍රඥාවට යි. අවබෝධයට යි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මේ ධර්මය තියෙන්නේ උතුම් ප්‍රඥාවන්තයන්ට, නුවණක් නැති , දුප්‍රාඥ අයට නොවෙ යි කියල යි.

පින්වතුනි, ඒ විදිහට ධර්මය නුවණින් තේරුම් ගත යුතු වන්නේ ඇයි? මේ ලෝකයේ හැම කෙනෙකුට ම ඉපදුනු දවසේ සිට ම බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි, තමන්ගේ ජීවිතයට දුක ගලා එනකොට , ඒ දුක තමන්ගේ ජීවිතයෙන් අයින් කරලා, සැප කියන දේ තමන්ගේ ජීවිතයට ළං කරගැනීම. කවුුරුත් හැම මොහොතකම උත්සාහය දරන්නේ ජීවිතයේ දුක කියන දේ පසකින් තබා සැපවත් ව හොඳින් කටයුතු කරන්නට යි. මුළු ලෝකයම මේ සැප සොයාගෙන යන ගමනක දී අනුසෝතගාමී ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. අනුසෝතගාමී කියලා කියන්නේ කුමක්ද? සෝතය කියනවා සැඩ පහරට. මේ සැඩ පහර අන්‍ය දනන් බිලි ගන්නවා. පහළට වේගයෙන් ගලා යන ගඟක කෙනෙකුට පහළට යන්නට පුළුවන්කම තියෙනවා, වේගයෙන් ම. ඒ යන එක එතරම් ම අපහසු දෙයක් නො වෙයි. ඒක බොහොම පහසු කටයුත්තක්. ඒ වගේම මේ මුළු ලෝකෙම එක, එක රිද්මයකට, එක ක්‍රමයකට ගමන් කරනවා. ඒකට කියනවා අනුසෝතගාමී කියලා. මොකද්ද? ඒ ක්‍රමය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්මයන්හි සැප සොයමින් ගමන් කරනවා. නැතිනම් බාහිර ලෝකය තුළ අපට හොඳ ලස්සන රූප බලන්න පුළුවන්. ඒ වගේ ම අපට කැමැති විදිහේ රූප පෙනෙනවා නම් හොඳයි. අප අහන්න කැමැති ශබ්ද අසන්නට තියෙනවා නම් හොඳයි. මේ විදිහට අප සැප බලාපොරොත්තුවන ලෝකය තියෙන්නේ භෞතික වශයෙන්. ඒ අනුව තමයි අපි සැප සොයන්නට පෙළෙඹෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්කේ මේ ලෝකය අනුසෝතගාමීව යන ලෝකයක් ලෙස යි.

මේ ධර්මය පටිසෝතගාමි යි. පටිසෝතගාමියි කියලා කිව්වේ කුමක් ද? පහළට ගලාගෙන යන ගඟේ යම් කෙනෙකුට සැඩ පහර කපා ගෙන උඩු අතට පිහිනන්න පුළුවන්නම්, ඒකට කියනවා, පටිසෝතගාමියි කියලා. ඒක නිකම්ම කෙනෙකුට යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ සඳහා දැඩි උත්සාහයක්, දැඩි වීර්යයක්, දැඩි කැප කිරීමක් තියෙන්නට අවශ්‍යය යි. මේ සැඩ පහර කපාගෙන උඩු අතට යන්නට. ඔහු බොහොම ශක්තිවන්තයෙක් වෙන්නට ඕනේ. ඒ වගේම මේ ධර්මය තුළ ගමන් කරන්නත් ශක්තියක් තිබෙන්නට අවශ්‍ය වෙනවා. ඒ තමයි, ඥාන ශක්තිය කියන එක. ප්‍රඥාව කියන එක.

දවසක් ආනන්ද හාමුදුරුවෝ, පිණ්ඩපාතයේ වඩින කොට ලිච්ඡවී රජ දරුවෝ යුද අභ්‍යාස පුහුණු වෙනවා. මේක දැකලා, ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් කියනවා. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහ පුදුමයි. ලිච්ඡවී රජ කුමාරවරු යුද්ධයේ දී බොහොම දක්ෂ යි. මේ යුද්ධය බොහොම දක්ෂ ලෙස පුරුදු වෙනවා. කොපමණ දක්ෂ ද කියනවා නම්, එක පැත්තක ඉන්න රජතුමාගේ අනික් පැත්තේ ඉන්න රජකුමාරයාට ඊතලයෙන් විද්දොත්, ඒ පැත්තේ ඉන්න රජ කුමාරයා ඒ ඊතලය ඉලක්ක කරලා විදිනවා. අහසෙ දී මේ ඊතල දෙකම එකට හැප්පිලා බිමට වැටෙනවා. ‘ස්වාමීනි, ඒතරම් සියුම් විදුමකින් යුක්තයි, ලිච්ඡවී රජ දරුවන්ගේ යුද අභ්‍යාසය කියලා. මේ වේලාවේ බුදුරජාණන් විමසනවා. ‘ආනන්ද, මේකද වඩා සියුම් විදුම බවට පත් වන්නේ? එහෙමත් නැතිනම් අක්ෂණවේදී, අක්ෂණවේදී කියන්නේ අන්ධකාරය සහිත මහා රාත්‍රියක විදුලි එළියක් කොටන විට ඇතිවන ඒ ආලෝකයෙන් අස්ලෝම සියයක් පලාගෙන යන්න කෙනෙක් විද්දොත්, ඒ විදුමද සියුම් වන්නේ? කියලා. ආනන්ද හාමුදුරුවෝ කියනවා, ‘ස්වාමීනි, අර විදුම මොන විදුමක් ද? මේක බොහොම සියුම්, ඊට වැඩිය දැඩි, හික්මීමක් තියෙන්නට ඕනේ. දැඩි ශක්තියක් තියෙන්නට ඕනේ. මේ සියුම් විදුම විදින්නට කියලා. ඒ වේලාවේ දී පෙන්වනවා, අවිද්‍යාව නමැති මේ විදුම විදින්නට, නැතිනම්, අවිද්‍යාව සිඳින්නට ඊට වඩා සියුම් නුවණක් අවශ්‍ය වෙනවා. මොකද? ඒ සියුම් නුවණකින් මිස මේ අපේ තියෙන මහ අවිද්‍යාව දුරු කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.

’මීයන් විසින් කපා අවුල් කරන ලද නූල් බෝලයක් වගේ’ ජීවිතය අවුලෙන් අවුලට පත් කරගෙන ඉන්න අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්නුවා උතුම් ධර්මය, උතුම් ශ්‍රමයත් මේ අවුල් නිරවුල් කරගන්නට. ඒ නිසා අපි ටිකක් උත්සාහයක් ගනිමු. ඒ උතුම් ධර්ම කාරණා ටිකක් අපේ ජීවිතය තුළින් දකින්නට. හැබැයි, මේ කාරණා ටිකක් ගැඹුරු වෙන්නට පුළුවන්. අපට නුවණින් අවබෝධ කරගත යුතු දහම් කොට්ඨාශයක් නිසාම යි. ඒ නිසා හොඳ වුවමනාවකින් විමසුවොත් කාටත් තේරුම් කරගන්න පුළුවන්කමක් ලැබෙයි. ඒ නිසා බොහොම කල්පනාවෙන් යුක්තව මේ කාරණා ටික වටහා ගන්නට කවුරුත් උත්සාහයක් දරන්නට අවශ්‍ය වෙනවා.

මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු අව අටවක පෝදා ජනවාරි 27 වනදා පත්‍රයේ පළ වේ.