Print this Article


කළ කම් පල දෙන හැටි 18: පාප කර්මයෙන් ගැලවීමට පාපකර්ම නොකළ යුතු ය

පාප කර්මයෙන් ගැලවීමට පාපකර්ම නොකළ යුතු ය

" අඳුරට එරෙහි වන්නේ ආලෝකයයි. අනවබෝධයට එරෙහි වන්නේ අවබෝධය හෙවත් ප්‍රඥාවයි. අනවබෝධයෙන් යුතු පුද්ගලයා තමාට ලැබෙන හැම ලාභයක්ම අලාභයක් හෝ අවුලක් හෝ බවට පත්කර ගන්නා සේ ම, එය සෙසු පුද්ගලයාගේ ද අයහපත පිණිසම සිදුවෙයි. අනවබෝධයම සමාජගත කිරීම හේතුවෙන් ඔහු මතුදා ලබන්නේ ද දුන් දෙයමයි. "

අවබෝධ පූර්වක බව හා අනවබෝධය අපේ සමාජයේ සෑම තැනකම දක්නට ලැබේ. අනවබෝධය හරිම භයානකයි. අඳුර වගේය වැනි උපමාවකින් අනවබෝධය ගෙනහැර දැක්විය හැකි ය.

අඳුරට එරෙහි වන්නේ ආලෝකයයි. අනවබෝධයට එරෙහි වන්නේ අවබෝධය හෙවත් ප්‍රඥාවයි. අනවබෝධයෙන් යුතු පුද්ගලයා තමාට ලැබෙන හැම ලාභයක්ම අලාභයක් හෝ අවුලක් හෝ බවට පත්කර ගන්නා සේ ම එය සෙසු පුද්ගලයාගේ ද අයහපත පිණිසම සිදුවෙයි. ඔහු අනවබෝධයම සමාජගත කිරීම හේතුවෙන් ඔහු මතුදා ලබන්නේ ද දුන් දෙයමයි.

කෙනෙකුගේ ජීවිතයේ වැදගත් වන්නේ සහතිකවලින් ලැබූ උගත්කම ද ජීවිතාවබෝධයද යන ප්‍රශ්නයේ දී විවිධාකාරයෙන් පිළිතුරු ලබා දිය හැකි ය. නමුත් කෙනෙකුගේ ජීවිතයේ වඩාත් වැදගත් වන්නේ ජීවිතය පිළිබඳ ලබන අවබෝධය බව බුදුදහම අවධාරණය කර ඇත. එයද කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය.

1. තමාගේ ජීවිතය පිළිබඳ ලැබූ අවබෝධය

2. අන්‍යයන්ගේ ජීවිත පිළිබඳ ලැබූ අවබෝධය

3. මිනිස් ජීවිතය පිළිබඳ ලැබූ අවබෝධය

තමන් ලැබූ උගත්කමත්, ජීවිත අවබෝධයත් අතර බරපතළ වෙනස්කම් තිබේ. ජීවිතය පිළිබඳව තමා ලැබූ අවබෝධය එකකි. ලැබූ සහතික උගත්කම එකකි. ජීවිතාවබෝධ සහිත පුද්ගලයා ඇතැම්විට අධ්‍යාපන සහතික සහිත උගතකුද විය හැකි ය. නමුත් එබඳු වර්ගයේ හැම උගතකු තුළම ජීවිතාවබෝධය සහිත මිනිසෙකු නොමැත. උගත්කමත්, අවබෝධයත් අතර පවතින වෙනස හඳුනාගැනීම පිණිස බණ කතාවක් දැක්විය හැකි ය.

එක්තරා තරුණයෙකු ළමා වියේ සිටම දුනු ශිල්පයට ආශාව දැක්වී ය. ගුරුවරයකු වෙතින් දුනු ශිල්පය හොඳින් ප්‍රගුණ කළේ ය. ඔහු තුළ පැවැති ඉලක්කයට විදීමේ දක්ෂතාවය නිසාම ප්‍රථමස්ථානය ගෙන පාඨමාලාව අවසන් කළේ ය. දුන්න ද, ඊතලය ද, සහතිකය ද රැගෙන සිය නුවර බලා පිටත් විය. වනාන්තරය මැද පාරේ එන තරුණයාට තමන්ගේ හැකියාව නැවතත් මැන බැලීමට හිතක් පහළ විය. එල්ලයට විදින්නේ කාටදැයි සිතමින් සිටින විට රුකක් මුල බවුන් වඩමින් සිටි පසේ බුදුරජාණන් වහන්සේ නමක් දුටුවේ ය. තම දක්ෂතාව මැන බැලීම සඳහා හේ පසේ බුදුරජාණන් වහන්සේගේ හිසට එල්ල කොට විද්දේ ය. ඔහුගේ ඉලක්කය නිවැරැදි වූ බැවින් තම දක්ෂතාවය පිළිබඳව උජාරු සිතිවිලි ඇතිකරගත්තේ ය. පසේ බුදුරජාණන් වහන්සේ ඔහුගේ හී පහරින් පිරිනිවන් පා වදාළහ. උගත්කම අකුසලය සඳහා භාවිත කරගනු ලැබුවේ එසේ ය. අකුසලයේ විපාකය උගත්කමේ සහතිකවලින් වැසී යන්නේ ද නැත. අකුසල විපාකයෙන් ගැලවීමට උගත්කම සුදුසුකමක් ලෙස ගත හැක්කේ ද නොවේ. උගත්කම ලබාගැනීමට වඩා අකුසලය සිදුකිරීමට ගත වූ කාලය ද වියදම ද අඩු ය. අකුසලයේ බරපතළකම අතර ඒවාට වඩා වැඩි ය.

ජීවිතාවබෝධයෙන් තොරවීම තම සිතේ ඇතිවන සිතිවිල්ල විවිධ දෘෂ්ටිකෝණවලින් කල්පනා කර බැලීමට ඇති නොහැකියාව නිසා, මනසින් විමසා නොබලා කටයුතු කිරීම නිසා බලෙන් අකුසල් කරගෙන සංසාරයේ සැරිසරන්නට සිදුවන අවස්ථා එමට ය.

ජීවන අත්දැකීම් සහිත ජීවිතය ඉතා වැදගත් ය. ලෝක ධර්මතා අභියෝග ලෙස සිතාගෙන තම මනස අවබෝධයෙන් පුරවා ගැනීම සඳහා ජීවන අත්දැකීම් අත්‍යවශ්‍ය වෙයි. ජීවන අත්දැකීම් ලබාගැනීමට අත්‍යවශ්‍ය වන කරුණු අටක් බුදුදහමේ උගන්වනු ලබයි. මෙලොව උපදින සෑම සත්ත්වයෙකුටම අත්‍යවශ්‍යයෙන් අත්විඳීමට සිදුවන මෙම කරුණුවලට ඔරොත්තු දෙන ස්වභාවය ජීවත්වීම තුළින් ජීවිතය තුළ ඇතිකර ගත යුතු වෙයි. ඒ අත්දැකීම් සෑම පුද්ගලයකු විසින් ම අත්විඳිනු ලැබිය යුතු බව දන්වා තිබේ.

තමා බලාපොරොත්තු නොවූ වාසි සහගත දේවල් ලැබෙන අවස්ථා.

තමා පිළිබඳ කීර්තිරාවය සමාජය පුරා පැතිර යන අවස්ථා.

තමා බලාපොරොත්තු වූ හෝ නොවූ අවාසි සහගත දේවල් සිදුවන අවස්ථා.

තමා පිළිබඳ අපකීර්ති සහගත දේවල් සමාජය පුරා පැතිර යන අවස්ථා.

තමා පිළිබඳව ප්‍රශංසාත්මක දේවල් සමාජයේ පැතිර යන අවස්ථා.

තමා පිළිබඳ අසුබ හා නින්දා සහගත දේවල් සමාජයේ පැතිර යන අවස්ථා.

තමා සැප සම්පතින් ආඪ්‍යව සිටින අවස්ථා.

තමා දුකට පත් වූ අවස්ථා.

මිනිස් සිත වඩාත් රුචිකත්වයත් දක්වන්නේ තමාට වාසි සහගත කාරණාවලටය. නමුත් තමා ජීවිතයේ හොඳ පන්නරයක් ලබනුයේ තමා ලබන්නට අකැමැති ජීවන අත්දැකීම් ලැබුණු අවස්ථාවේ දී තමා නොදන්නා නමුත් තමා තුළ ජීවත් වූ ඇතුළාන්ත මිනිසා මතුවී එයි. ඒ තුළින් තමා ලබන පන්නරය ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටීමට ජීවය ලබාදෙයි.

අජාසත්ත රජතුමා රජකම් කළ ද ජීවිත කාලය ගත කරනු ලැබුවේ දැඩි පීඩාකාරී, මානසික සිතිවිලි අතර ය. තම පියාණන්ට තමාගෙන් සිදුවූ වරද නිසා සිය රාජ්‍යශි‍්‍රය පිළිබඳව තෘප්තිමත් සිතිවිල්ලක් නොලැබුවේ ද දිට්ඨධම්මවේදනීය කර්මය නිසා ය.

තම පියා කළ වරද තම පුතා අතින් තමන්ට සිදුවේය යන බියද හේතු විය. පීඩාකාරී බවින් මිදීමට ඔහු විවිධ ආගමික කටයුතුවල ද නිරත විය. හෘද සාක්ෂිය පුද්ගලයකුගේ ජීවිතයට දැඩිසේ බලපෑම් එල්ල කරනු ලබයි. අජාසත් රජු කෙතරම් පින්කම් කළ ද මෙලොවදී විපාක දෙන කර්ම වශයෙන් තම පුත් උදයභද්ද අතින් මරණයට පත්වීමට සිදු විය.

අජාසත්ත රජුගේ කතා පුවතින්ද පැහැදිලි වනුයේ අනවබෝධය පිරුණු මනස විසින් තමාම අකුසල්කාරයකු බවට පත්කරනු ලබන බවයි. පුද්ගලයා එබඳු තත්ත්වයට පත්කිරීමට විවිධ අනවබෝධ බලපෑ හැකි ය. තමා තුළ අයහපත් ක්‍රියාවේ බරපතළකම නොසිතයි. නොපෙනෙයි. එහි විපාක විඳින විට අයහපත් ක්‍රියාවේ බරපතළකම වඩාත් වැඩි ලෙසින් අත්විඳින්නට සිදුවෙයි. පාපකර්මයෙන් ගැලවීමට ඇති එකම මඟ නම්, පාප කර්ම නොකර සිටීමයි.