Print this Article


 සාධු සිතින් අසන් සබඳ බුදු ගුණ නම් නිමක් නොමැත

සාධු සිතින් අසන් සබඳ බුදු ගුණ නම් නිමක් නොමැත

කනට මධුර වූ, සිතට මනෝඥ වූ, හදවතට සහනයක් වූ තෙපුලක් ලොව වේ නම්, ඒ අනෙකක් නොවේ ම ය. කෙලෙසුන්ගේ ආදීනව දැකීම අරබයා ම වූවකි. ඊට හේතු වූ කාරණාම පළට කරන්නකි. එතුළින් ලබනා අනංගණ වූ විමුක්තිය පවසන්නකි. ඒ සඳහා අදුතිය වූ ඒකායන මාර්ගය විවර කරන්නකි. එය නම් සිවුසස් දම් කැටිවූ තථාගත බුදු වදනයි. ඒ අසා මඟ ඵල සුව විඳ නිවන් දුටුවෝ අපමණ ය.

මතු දිනෙක තවත් විදසුන් වඩා නිවන් දකිනු රිසිව සග ලෝ ගියෝ ද අපමණ ය. පිනැති බොහෝ දෙවිවරු, බ්‍රහ්මරාජවරු, සෘද්ධිමත් නාගයෝ, මනුෂ්‍යයෝ ද මෙලෙස පිහිට ලැබූහ. එපමණක් ද නොවේ. පියංකර මාතු, උත්තර මාතු ආදී විනිපාතික අසුරයෝ ද සාතාගිර, හේමවත, ආලවක ආදී යක්ෂ සෙන්පතිවරු ද මොක් සුව ලැබූහ.

දෙසවන් ලැබීමට යම්බඳු පිනක් කළාහු නම්, එහි අග්‍ර ඵල විඳගත්හ. සම්බුදු රූ මහිමය දුටුවනින් කල්ප ගණනකට නෙත්-සිත් සුව ලද්දෝ වූහ. දෙනෙතින් දැක, දෙසවනින් අසා, බුදුගුණෙන් පිනා ගිය හදවතේ සතුට ගෙයට නැගූහ. එවන් අසිරිමත් සිදුවීම් බොහොමයක් පෙළ දහමේ සඳහන් වෙයි. ඒ අතර බුද්ධාන්තරයක් පුරාවට බලාහිඳ අප බුදුන්ගේ මුව මඬලින් බණ අසා සෝවාන් වූ හේමවත පුවත සුවිශේෂ ය. සව්නේ ගෙවා දත්, හැම සත්ත්වයන් කෙරෙහි පතළ කරුණා ඇති එක් භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වන්නේ සාර නම් කල්පයේ දී ය. දෙනමක් වහන්සේ පහළ වන්නේ මණ්ඩ නම් කල්පයේ දී ය. බුදුවරු තුන් නමක් වර කල්පයේ ද, සාරමණ්ඩ කල්පයේ සතර නමක් ද පහළ වෙත්. ඉදින් පස් දෙනෙකුන් වහන්සේ උපදනා සේක් නම් ඒ ඉතා සොඳුරු ය. ලොවට යහපතක්ම ය. වෙසෙසින්ම අපා ලෝ සිස් වෙයි. දෙව් බඹ ලෝ පිරී යෙයි. ඒ මේ ගෙවෙන බඳු වූ මහා භද්‍ර කල්පයකි.

අසන්නවුන්ගේ සිත් හැඳීන, දහම් වදහළ කසුප් බුදුරජාණෝ මේ කල්පයේ තුන්වනුව සම්මා සම්බෝධිය සාක්ෂාත් කළහ. එකල්හි මනුසත්නගේ ආයු පිරිසිඳීම් අවුරුදු 20000ක් පමණ ය. එකල අපමණ ලෝ සත්හු අමා දම් දියෙන් තෙමී සැනසුනහ. අවුරුදු 16000ක් පුරා බුදු අසිරිය ලොවට දැනිණ.

මිනිසුන්ගේ ආයුෂ දීර්ඝ කාලයෙහි පහළ වන බුදු සසුන්හි සම්මුඛ ශ්‍රාවක තෙරුන් වහන්සේලා ම කුල පුත්‍රයන් පැවිදි කරන සේ සාමණේර හිමිවරුන් උපසම්පදා කරන සේක. නිස ඇඳුරුවත් දෙන සේක. එකල්හි පින්වත් කුල පුත්‍රයෝ දෙදෙනෙක් මිනිස් ලොව ඉපිද ඔවුනොවුන්ට ලෙයින් බැඳුනවුන් මෙන් මිත්‍ර වූහ. අඩු වයසේ දී ම ගිහිගෙයි අල්ප කම් සැපත්, මහා ආදීනවයත් දැක කළ කිරුණෝ ය. එයින් මිදීමට සදාතනික රැකවරණයක් සෙවූහ. සසර පින් ඇති ඔවුනට සදහම් රැස් දහරේ සත්‍ය ආලෝකය හඳුනාගත හැකි විය. කසාවතින් ගත සරසා ලොව්තුරු සෙවණේ මිහිර විඳගත්හ.

උතුම් බුදු වදන් මනාකොට හදාරන්නට ඔවුනට සිත් විය. නෛසර්ගිකව පිහිටි නුවණක් ද වූ බැවින්, හිමිවරු දෙදෙනා අඳුරු සිත් පහදවමින් තෙවළ දහම් හැදෑරූහ. වනපොත් කළහ. කෙටි කලෙකින් සියලු බුදුවදන්හි නය නිපුණත්වයෙහි කෙළ පැමිණයෝ ය. ආණා දේශනා සංඛ්‍යාත විනය පිටකයෙහි කුසාග්‍ර බුද්ධියක් ඇත්තෝ වූ හ. ඔවුන් පිළිබඳ මහා කීර්ති ඝෝෂාවක් පැතිරුණි. එනිසා ම විශාල භික්ෂු පිරිවරක් ඔවුන් දෙදෙනාට ම විය. බොහෝ ලාභ සත්කාරද ගලා එන්ට විය. නැවත වරක් බුදු සසුනක් පහළ වූවාක් මෙන් ලොව්තුරු දහම බබළන්න විය.

ඒ කාලයේ, එක් ගම්බද ආරාමයකි. එහි ධර්මවාදී සහ අධර්මවාදී භික්ෂූහු දෙදෙනෙක් වූහ. අධර්මවාදී භික්ෂු තෙම චණ්ඩ ය. රෞද්‍ර ය. දොඩමලු ය. ඔවුගේ ලාමක, නො දැහැමි හැසිරීම් අනෙක් භික්ෂුවට ද ප්‍රකට විය. එවිට ශාසනහිතකාමී හෙතෙමේ, සත්පුරුෂව එම වැරැදි පෙන්වා දුන්නේ ය. නමුත් සසුන් පිළිවෙතේ උණුසුම අධර්මවාදී භික්ෂුව හඳුනා නොගත්තේ ය. තමාට කල්‍යාණ මිතුරු වූ තෙරුන්ට වාදාරෝපණය කළේ ය. “කිමෙක්ද නුඹ එබන්ඳක් දුටුවෙහි ද? ඇසුවෙහි ද?” යැයි විමසුවේ ය. එය “විනයධර උතුමන් වහන්සේලා දන්නා සේක්” යැයි ඔහු පැවසුවේ ය. මෙය කන වැකෙත්ම ලාමක භික්ෂුවගේ හද තිගැස්සිණ. තමාගේ නොපණත්කම් නිසා අසරණ වන්නට වන වග වැටහිණ. එකෙණෙහිම, සිවුරු ආදී පිරිකර ගෙන පෙර කී විනයධර උතුමන් හමුවට ගියේ ය.

එතුමන් වහන්සේලාගේ ගුරු ඇසුරෙහි පිහිට පතා සිටියේ ය. ලද අවසරයෙන් ඔවුනට කලක් උපස්ථාන කළේ ය. තමා කෙරෙහි සිත් පැහැදවීම් ඇතිකර ගත්තේ ය. තමා පැමිණි ගමනේ ලාමක අදහස ඉටුකර ගැනීමට අවකාශ සෙවී ය. දිනක් ඒ තෙරුන් වහන්සේලා හමුවෙහි දී තම අභිප්‍රාය ප්‍රකාශ කළේ ය. ඉදින් ධර්මවාදී භික්ෂුහු පැමිණ මොහු පිළිබඳ විමසතොත්, නිරවද්‍ය භාවයට සාක්ෂි දරන ලෙස ඉල්වී ය. තෙරුන් වහන්සේලාට එය කනෙහි වත්කළ ලෝදිය බඳු විය. නෛර්ය්‍යානික ශාසනයට කැළැලක් කිරීමට කෙසේවත් නොකැමැති විය. පාප භික්ෂුව පුන, පුනා යාචනා කළේ ය. තමා වෙනුවෙන් අයැද සිටියේ ය. අවසන ඔහු විසින් පෙළනු ලැබූ තෙරුන් වහන්සේලා ඉන් මිදෙනු වස් කැමැති විය.

පාප භික්ෂුවගේ සත්‍යයක් නැති නිරවද්‍යතාවන් වෙනුවෙන් තෙරුන් වහන්සේලා ඉදිරිපත් වූ සේක. ධර්මවාදී භික්ෂුවගේ හදවත ලූ යකුළු පහරක් මෙන් විය. හිරු පැරයූ තෙදැස් ඇති බුද්ධ සූර්යය තෙම අද බැස ගියේ යැයි ද කාශ්‍යප බුදුරජුන්ගේ පිරිනිවීම එදින වූ වග ඔහුට හැඟිණ. ශාසනභාරධාරී විනයධර භික්ෂූන්ගේ ශාසන විලෝම පක්ෂග්‍රාහීත්වය අභිමුඛ හඬා වැටෙමින් ඔහු පිට විය. විනයධර භික්ෂුන් දෙනමගේ සිතේ විපිළිසර බවට එයම හේතු විය. තථාගත ශාසනයට සිදුකළ කිළිටි සිතින් වියැකී නොවැටිණ. ඒ ජීවිතයේ මොක් සුවය ද අහිමි විය. අනතුරු ජීවිතයේ දෙව්-බඹ ලෝ සග සැප ද අහිමි විය. යක්ෂ සෙන්පති දෙදෙනෙක්ව මරණින් අනතුරු උපන්නාහ. රැකි ශීලයේ මහත් අනුසස් නිසා බොහෝ තේජස් සහිතවම පිරිස් සහිතව ඒ උපත සිදු විය.

වැඩිමහලු භික්ෂු තෙම හිමාලය ඇසුරු කොට හේමවත නමින් ද, අනෙක් භික්ෂුව මධ්‍යම දේශයේ සාතපව්ව ඇසුරු කොට සාතාගිර නමින්ද ඉපිදුණාහ. පෙර ඔවුන් අනුව නොමග ගිය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාද 500 බැගින් ඔවුන් දෙදෙනාටම යක්ෂ පිරිවර වූහ. නමුත් එකල උපස්ථාන කළ ගෘහස්ථ දායක පිරිස් නම් දෙව්-බඹ සුගත් සැපත ලබමින් උපන්හ.

මසක් පාසා හිමවතෙහි භගලවතී පව්වෙහි ඔවුන්ගේ සමුළුවක් විය. යක්ෂාධිපතීන් 28 දෙනෙකුන්ට සාතාගිර හේමවත දෙදෙනා ප්‍රධාන වූහ. එහි දී ඔවුන්ගේ මුණගැසීමෙන්ම ඔවුනොවුන් හඳුනා ගැනිණ. අතීතය සිහිපත් විය. බුදු සසුනක් ලැබූ මුත් එහි නොමනා පිළිපැදීමෙන් වු අන්තරාය අවබෝධ විය. අනතුරුව මහාපෘථිවිය යොදුනකුත් ගව් තුනක් වැඩණ. බුද්ධාන්තරයක් ගෙවී අවසන් විය. අපමණ පසේ බුදුරදවරු මධ්‍ය දේශයේ පහළ වූහ. නමුත් මොවුන් දෙදෙනා ඇතුළු පිරිසට ධර්මාවබෝධයක් නම් නොවී ය. ඔවුන් කළ කර්මය එතරම් බරපතලය. එහි විපාකය අති කටුක ය.

දිනක් සාතාගිර තෙමේ අසිරිමත් ප්‍රාතිහාර්ය පූර්ව නිමිති සහිත පොළෝගැබ කම්පාවීමක් දුටුවේය. මෙවැනි පෙර නිමිති පහළ වන්නේ සුවිශේෂි කරුණක් නිසා ය. එකැතින්ම වියතුන්ට වියත් වූ බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වී ඇති බව ඔහුට වැටහිණ. වහාම තම පිරිවර සමඟ බරණැස ඉසිපතනාරාමයට ගියේ ය. පස්වග භික්ෂූන් පිරිවරා පුන් පෝ දා අහසේ සඳක් මෙන් කාන්තිමත් වූ බුදු සමිඳුන් අනන්ත සත්ත්වයන්ට දම් දෙසනු දුටුවේ ය. නිම් නැති සතුටක් සිතෙහි විය. නමුත් තම මිතුරු හේමවත ඒ බණ පිරිස මැද නොවූ වග දැන සිත වික්ෂිප්ත විය. දහම් අර්ථ මනාකොට අවබෝධ නොවිණ.

අවරගිරෙන් රත් හිරු මඬල බැස ගියත් බුද්ධ රශ්මියෙන් දැන් හාත්පස ආලෝකමත් ය. තම මිතුරු හේමවතට වූ පොරොන්දුව අනුව සාතාගිර පිරිවරත් සමඟ ඔහු සොයා ගියේය. හේමවත ද එදින හිමාලයේ වූ පෙර නොවූ අසිරිමත් මංගල නිමිති දුටුවේය. තම මිතුරු සාතාගිර සමඟ මේ අසිරිය විඳගනු කැමතිව ඔහු සොයා නික්මුණේ ය. සෙන්පතිවරු දෙදෙනා රාජගහ නුවර මත්තෙහි දී මුණ ගැසුණහ. හිම පව්වේ අසිරිය හේමවත පැවසුවේ ය. ඊට හේතුව වූ ගෞතම මහා මුනිරජුන්ගේ උතුම් දම්සක් මහා මංගල්‍යය පිළිබඳ හේමවතට කිවේ ය. කාලයෙන් යටවී ගිය හදවතේ ඇති බුදු ගුණ මහිමය ඉස්මතු විය. බුදු ගුණයේ අසිරිමත් ගුණ කතාවක් ඔවුන් අතර ඇතිවිය.

සමීප ප්‍රාසාදයක සී මැදුරු කවුලුවට විත් කාලි පින්වත් උපාසිකාව රාත්‍රී සුළඟින් ගත සනහමින් සිටියා ය. සිත් නිවන බුදු ගුණ කථාව ඇයට ද අසන්න ලැබිණ.

අනතුරුව සාතාගිර දුටු බුදුරූ අසිරිය හේමවත විමසුවේ ය. එවිට සාතාගිර අප්පටිම වූ, අප්පටිසම වූ, අසම වූ, අසමසම වූ, අනධීවර වූ, අක්ඛාතාර වූ බුදුරදුන්ගේ ගුණ ගඟුලෙන් හේමවතගේ පිපාසා සිඳලූවේ ය. බුදුරජුන්ගේ අනන්ත කායික ශ්‍රී විලාසයන්, ලොවක් සැනහූ මිහිරි වදන්, විජ්ජාචරණ සම්පන්න ආදි ගුණ පිළිබඳ හේමවත විමසුවේ ය. සාතාගිරගේ බුදුගුණ වරුණ හමුවේ හේමවතගේ මෙන්ම එය අසා සිටි කාලි උපාසිකාවගේ ද හදවත් බුදු ගුණයෙන් තෙත් විය. කාලි උපාසිකාවට අපමණ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවිය. එයම ඇයට නිවන් මඟෙහි දොරටු විවර කිරීමට ප්‍රමාණවත් විය. සාතාගිර-හේමවත බුදුගුණ සංවාදය අවසන නෙතින් නොදුටු බුදුරුවක්, දෙසවනින් ඇසු ගුණ මහිමයෙන් සරණ ගොස් උත්තම සෝවාන් මඟ ඵලයෙහි පිහිටියා ය.

ගෙවී යන ඇසළ පෝදා මැදියමේ ම බුදුරදුන් දැකගැනීම සඳහා යාමට සාතාගිර - හේමවත කතිකා කරගත්හ.

ඒනිජඬ්ඝං කිසං වීරං - අප්පාහාරං අලොලුපං
මුනි වනස්මිං ඣායන්තං - එහි පස්සාම ගොතමං
(සුත්ත නිපාතය - හේමවත සුත්‍රය)

“මුව පොව්වකුට බඳු කෙණ්ඩා පේශි ඇති කෘශ වු , වීර වූ , අල්පාහාර වූ , අහරෙහි ඡන්දරාගය දුරලූ මහ වන අරණ මැද නිකෙලෙස්ව බවුන් වඩන ගොයුම් මුනිඳාණන් දැන ගනිමු” යැයි ඔවුහු පිටත් වූහ.

දම්සක් සුතුරෙන් මගඵල දහම් දෙව්-මිනිසුන්ට ද විවර විය. ඒ දෙසුම් හමාරව තවමත් විරාජමානව බුදුරදහු වැඩසිටියහ. නෙත් වලින් බල බලා, තම සිත් සනහ සනහා දණ මඬල බිම ඔබා ඔවුහු දෙදෙන බුදුරදුන් ඉදිරියේ වැඳ වැටුණහ.

සසර පිරූ අපමණ පින් ඇති හේමවත භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න විචාළේ ය. චතුරාර්ය සත්‍යය, අධ්‍යාත්මික හා බාහිර ආයතන, කාමාදි සතර ඕඝයන්, ශීල, සමාධි ප්‍රඥා ආදී ගම්භීර සදහම් විස්තරයක් බුදුහු දෙසා වදාහළ හ. එය ඔවුනට මගඵල නිවන් පිණිසම හේතු විය. හේමවතගේ සතුට අපමණ ය. ශ්‍රද්ධාවෙන් හදවත පිරී ඇත.

සුදිට්ඨං වත නො අජ්ජ - සුප්පභාතං සුවුට්ඨිතං
යං අද්දසාම සම්බුද්ධං - ඕඝතිණ්ණ මනාසවං
(සුත්ත නිපාතය - හේමවත සුත්‍රය)

ඒකාන්තයෙන් අද අපට මනා දර්ශනයක් විය. ඕඝ තරණය කළ බුදුරජාණන් වහන්සේ දක්නට ලැබීමු. එනිසා සැබැවින්ම මෙය සොඳුරු උදැසනකි. අදටත් හේමවත ගමින් ගම ඒ බුදු ගුණ පවසන්නේ ය. එබැවින් ලද මිනිස් දිවිය තුළ යමෙක් ඒ බුදු ගුණ සුවඳ විඳගන්නෝ නම්, ඔවුහු සසර දුක් නිවන්නෝ ම ය. නිවන් මඟ විවර කරනා ස්වර්ණමය ද්වාරය ඒ බුදුගුණ ය වේම ය.