Print this Article


අකුසලය දුරු කර සැනසීම ලබමු

අකුසලය දුරු කර සැනසීම ලබමු

සම්බුද්ධ දේශනාවට අනුව මනස සංවර කරගැනීම ඉතාම වැදගත් ය. සාමාන්‍යයෙන් මිනිස් සිතෙහි උපදින අකුසල මූල තුනකි. ලෝභ, දෝෂ හා මෝහ යනුවෙනි. අලෝභ, අදෝෂ, අමෝහ එහි ප්‍රතිවිරුද්ධ කුසල මූලයන් ය.

එක් පැත්තකින් ලෝභ, දෝෂ, මෝහ නිසා මිනිසාට වන දරුණු හානියත්, අනෙක් පසින් අලෝභ, අදෝෂ, අමෝහ කුසල මූලයන් නිසා සිදුවන යහපතත් පිළිබඳව ධර්මයෙහි විග්‍රහ කෙරේ.

මිනිස් සිතෙහි උපදින මෙම කුසල හා අකුසල මූලයන් නිසා වන යහපතත්, අයහපතත් පිළිබඳව අපූර්වතම විග්‍රහයක් සේරිවාණිජ ජාතක කතාව තුළ ඉතා සියුම් ලෙස නිරූපණය වේ. මේ කතා පුවතට අනුව පෙර එක් වෙළෙන්ඳෙක් කදා වළලු වෙළෙඳාමේ ගියේ ය. එකල එක් ගමක ධනයෙන් ආඪ්‍යව සිට ක්‍රමයෙන් දිළිඳු බවට පත් පවුලක් විය. එහි ජීවත් වූයේ මිත්තණියක් සහ කුඩා මිණිබිරියකි. කදා වළලු වෙළෙන්දා ඒ නිවෙස අසල වෙළඳාමේ නිරත වනු දුටු කුඩා දැරිය වළලු ඉල්ලා මිත්තණියට කරදර කරන්නට වූවා ය. එහෙත් වළලු මිලදී ගෙන දෙන්නට ඇයට වත්කමක් නොවී ය. ගේ තුළ වූ පරණ තලියක් ගැන සිහි වී එය ගෙන වෙළෙන්දා අතට දී තම මිණිබිරියට වළල්ලක් දෙන්නැයි ඇය ඉල්ලා සිටියා ය. වෙළෙන්දා කීවේ මේ නො වටිනා තලියකට වළලු දිය නො හැකි බව ය. මිත්තණියත්, මිණිබිරියත් බලාපොරොත්තු සුන් කරමින් ඔහු යන්නට ගියේ ය. ඉන්පසු තවත් වෙළෙන්ඳෙක් එහි ආවේ ය. කුඩා දැරිය වළලු ඉල්ලා බොහෝ කරදර කරන්නී ය. මිත්තණිය ඒ වෙළෙන්ඳාට තලිය පෙන්වා එය ගෙන තම දියණියට එක් වළල්ලක් හෝ දෙන්නැයි ඉල්ලා සිටියා ය. වෙළෙන්දා පුදුම විය. මේ තලියට එක් වළල්ලක් නොව තමන් වෙත වූ සියලු ආභරණ ද, මුදල් ද ලබා දුන්න ද එහි වටිනාකමට සරිලන්නේ නැති බව කීවේ ය. අවසානයේ ගමන් වියදම පමණක් තමන් වෙත තබාගෙන ඒ දිළිඳු කාන්තාවට සහ කුඩා දැරියට තමන් සතු සියලු බඩු බාහිරාදිය ලබා දී තලිය ගෙන යන්නට විය.

ඔහු ගිය පසු පළමුව ආ වෙළෙන්දා නැවත ද එහි ආවේ ය. තලිය ඉල්ලා සිටියේ ය. ගුණගරුක යහපත් වෙළෙන්දෙකුට එය ලබා දුන් බව පවසා තමන් රැවටීම ගැන මිත්තණිය ඔහුට බොහෝ දොස් කීවා ය. ඒ ඇසූ වෙළෙන්දා දැඩි අපහසුතාවයට පත්විය. තලිය පිළිබඳ ඇති වූ දැඩි ලෝභයෙන් සිත පෙලෙන්නට විය. එය ලබාගත් වෙළෙන්දා ගැන ඊර්ෂ්‍යාවක්, වෛරයක්, ද්වේෂයක් ඇති වුණි. මෝහය හෙවත් නො දන්නාකම නිසා ලෝභයත්, ද්වේෂයත් පාලනය කර ගන්නට නො හැකි වුණි. මේ අකුසල මූලයන් නිසා ඇති කරගත් අකුසල කර්ම සසර පුරාම ගෙන යන්නට විය. බෝසත් සිරිත තුළ නොයෙක් බවයන්හි උපත ලබමින් මේ දෙදෙනා ගමන් කරන ආකාරය අපට ජාතක කතා තුළින් ම හඳුනාගත හැකි ය. අවසානයේ එදා බෝසත් වෙළෙන්දා, සිදුහත් බෝසතාණන් වහන්සේ ලෙසත්, වංචාකාර පුද්ගලයා දේවදත්ත ලෙසත් උපත ලැබී ය.

ඒ භවයේදීත් සසර පුරා රැගෙන ආ වෛරය අවසන් කරන්නට ඔහුට හැකි වූයේ නැත. බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ පසුව ද දෙව්දත් උන්වහන්සේ විනාශ කරන්නට සිතාගෙන ගල් පෙරළුවේ ය. දුනුවායන් යෙදවූයේ ය. නාලාගිරි නම් දරුණු ඇතාට රා පොවා බුදුරදුන් වඩින මඟ ඉදිරියට යොමු කළේ ය. දෙව්දත් පංචානන්තරීය පාප කර්මයට හසු කරවීමට තරම් ඒ අකුසල මූලයන් බලවත් විය.

භෞතික වස්තුවක් කෙරෙහි ඇති වූ ආශාව, ඒ වස්තුව අත්පත් කරගත් පුද්ගලයා කෙරෙහි ඇතිවුණ ද්වේශය, ඒ ගැන අවබෝධ කර ගන්නට නො හැකි තරමට බලවත් මෝහය සසර පුරාම දුක් දෙමින් පැමිණ අදත් දෙව්දත් අපායේ අපමණ දුක් විඳී. එහෙත් අකුසල මූලයන් පරදා අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල මූලයන් වර්ධනය කළ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුදු පදවිය ලැබ පන්සාළිස්වසක් පුරා ඝෝර සසරේ දැවෙන තැවෙන ලෝසත දුකින් මුදවා ගන්නට ශ්‍රී සදහම් මඟ පෙන්වා දී උතුම් පරිනිර්වාණයට පත්වූහ.

බෞද්ධයන් ලෙස අපි ද තථාගත දේශනාව අනුව සිත දවන තවන, සසරේ බොහෝ දුක් උරුම කරදෙන මේ අකුසල මූලයන් ප්‍රහීණ කරන්නට, දුරු කරන්නට, අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල සිතිවිලි ම වඩා වර්ධනය කරන්නට උත්සාහ ගත යුතු වෙමු. එය අපගේ ජීවිතයට උදාර සැනසීමකි.

සතුරන්ගෙන් අපට බොහෝ විපත් සිදු වේ. කවර මොහොතක, කෙසේ හානි කරන්නේ දැයි කිව නොහැකි ය. ඒ නිසා අපි සතුරන්ට බොහෝ බිය වෙමු. ඔවුන්ගෙන් ආරක්ෂා වන්නට කටයුතු කරමු. එහෙත් කෙනෙකුට සතුරකුගෙන් වන හානියට වඩා බලවත් භයානක හානියක් තමන් කරන ලද අකුසල කර්ම නිසා විඳින්නට සිදුවේ. ජීවිත කාලය පුරාම, එතැනින් නො නැවතී සාංසාරය පුරාම විපාක විඳින්නට සිදුවේ.

මේ නිසා තමන්ගේ සිත සන්සුන් කරගෙන, එවැනි අකුසල මූලයන්ගෙන් සිත මුදවාගෙන කටයුතු කරන්නට මේ දුරුතු පුර පසළොස්වක පොහෝදා අදිටන් කරගනිමු.

ඔබට තෙරුවන් සරණයි!