ධර්ම ශ්‍රවණය කෙසේ කළ යුතු ද?
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ
ධම්මික නා හිමි
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අප කෙසේ ශ්‍රවණය කළ යුතු ද? මතකයේ
තබා ගත යුතු ද? ධාරණය කරගත යුතු ද? ධර්මය තුළ හැසිරෙමින්, කෙසේ ප්‍රතිඵල ලබාගත යුතු
ද?
ධර්මය අසන තරමට ම පිළිපදිනවා ද කියන අදහස වර්තමානයෙහි බොහෝ අය තුළ තිබෙනවා. අනෙක්
ආකාරයෙනුත් ප්‍රශ්නයක් පැනනැගිය හැකියි. එනම් ධර්මය දේශනා කරන තරමට ම පිළිපදිනවා ද
යන්නයි.
ධර්මය ප්‍රකාශ කිරීම හා ධර්මය ඇසීම චාරිත්‍රයක් හෝ වෙනයම් ආකාරයක ක්‍රියා පිළිවෙතක්
පමණක් බවට පත්වන්නේ නම්, එය මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් තුන් ලොවක් සැනසීමට මඟ
පෙන් වූ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් දහමෙන් ප්‍රයෝජනයක් ගැනීම නොවෙයි.
එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ ට කරන පූජාවකට වඩා, පිළිවෙත් පූජාවකට වඩා එය අගෞරවයක්
විය හැකියි. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු සත්ත්වයන් කෙරෙහි මහා
කරුණාවෙන් දේශනා කළ ඒ පරමාර්ථ ධර්මය ප්‍රකාශ කිරීම සේ ම, ශ්‍රවණය කිරීමත්,
අවබෝධයෙන් ම කළ යුතු ක්‍රියාවක්. එමෙන් ම ලෞකික, ලෝකෝත්තර වශයෙන් අභිවෘද්ධියක්
සිත්හි දරාගෙන ම සිදු කළ යුතු ක්‍රියාවක්.
අංගුත්තර නිකායේ සඳහන් ධර්ම කොට්ඨාසයක් අපට මේ සඳහා උපමා කොට ගත හැකියි.
“තයො මේ භික්ඛවේ පුග්ගලා
සන්තො සංවිජ්ජමානා ලෝකස්මිං
කතමෙ තයො
අවකුජ්ජ පඤ්ඤො පුග්ගලා
උච්ඡංග පඤ්ඤො පුග්ගලා
පුථු පඤ්ඤො පුග්ගලා”
මේ ලෝකයේ පුද්ගලයන් තිදෙනෙක් දැකගන්නට ලැබෙනවා. ඒ පුද්ගලයන් තිදෙනා නම් කවුද?
අවකුජ්ජ පඤ්ඤා, උච්ඡංග පඤ්ඤා, පුථු පඤ්ඤා යන අයයි.
තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් ඒ ආර්ය සත්‍යය අවබෝධයකින් යුතුව
ප්‍රකාශ කිරීමත්, අවබෝධයකින් යුතුව ශ්‍රවණය කිරීමත්, එමඟින් දේශනා කරන හා අසන
දෙපාර්ශ්වය ම නිවන අරමුණු කරගත් ඵල විපාක ලබන ආකාරය මේ මඟින් අපට විස්තර කර ගත
හැකියි.වර්තමානයේ යම් විටක දවසකට පැය විසිහතර පුරාම විද්‍යුත් මාධ්‍ය මඟින් ධර්මය
ශ්‍රවණය කළ හැකි ස්වභාවයක් දකින්නට ලැබෙනවා. ඊට අමතරව පොත්පත්, සඟරා, පුවත්පත්,
අන්තර්ජාලය ආදී වශයෙන් ඕනෑම වේලාවක කැමැති අයෙකුට කැමැති ආකාරයෙන් ධර්මය පැවසීම හා
ධර්මය ශ්‍රවණය කිරීමේ හැකියාවක් ලැබී තිබෙනවා. මෙය භෞතික දියුණුවෙහි ප්‍රතිඵලයක්
හැටියට අපට සිහිපත් කොට ගත හැකියි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කිරීම මෙසේ සිදුවිය යුතුයි.
ධර්ම විනයෙහි පිරිපුන් භික්ෂූන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ශ්‍රී
සද්ධර්මය මුල, මැද අග නම් වූ තුන් තැනෙහි ම පිරිසුදු ආකාරයෙන් දේශනා කරනවා. මෙහි
පිරිසුදු ස්වභාවය නම් රාග, ද්වේෂ, මෝහ සංසිඳුවමින් දේශනා කිරීමයි. දේශනා කරන
භික්ෂූන් වහන්සේගේ සිත, වචන හා ක්‍රියාවන් ද රාගය, ලෝභය නම් වූ ඇලීමෙන් හෝ මනසින්
අල්ලාගැනීමෙන්, තරහවෙන් එසේ ම මුලාවෙන් බැහැරව පවත්වාගෙන ම ධර්මය දේශනා කළ යුතුයි.
ඉන් අදහස් කරන්නේ තණ්හා මද මාන දිට්ඨීන්ගෙන් තොරව හැම ආරම්මණයක් ම ධර්ම විනයට
ගළපාගෙන තමනුත් එයින් ධර්මයේ රසය අර්ථ වශයෙන් දැකගෙන විඳගෙන ශ්‍රාවකයන් කෙරෙහි
කරුණාවෙන් මෙන් ම අනුකම්පාවෙන් යුක්තව පැවැසිය යුතු බවයි. දේශනා කළ යුතු බවයි.මෙහි
දී ධර්ම දේශනාවක් බවට පත්වීමට නම් රාග, ද්වේෂ, මෝහ සංසිඳවෙන ආකාරයෙන් ම දේශනා කළ
යුතු ය යන අදහස අපට ගත හැකියි. භාග්‍යවතුන් වහන්සේ ධම්ම කථික නම් සූත්‍ර දේශනාවේ දී
පැහැදිලි කරනු ලැබුයේ, ධර්ම දේශනාවක් වෙන්නේත්, ධර්ම කථිකයෙක් වෙන්නේත්, ඒ දේශනාව
රාග, ද්වේෂ, මෝහයන් ගෙන් විනිර්මුක්ත ව සිදු කරන්නේ නම් පමණක් වන බවයි.
ඒ වගේ ම
දේශනාව සිදු කරන්නා රාග, ද්වේෂ, මෝහයන්ගෙන් බැහැරව දේශනා කරන්නේ නම් ධර්ම දේශනාවක්
හා ධර්ම කථිකයෙක් බවට පත්වෙන බවයි. ඒ අනුව මෙහිදීත් දේශනාවේ මුල, මැද, අග යන අවස්ථා
තුන ම එනම් සමස්ත දේශනාවට ම රාග, ද්වේෂ, මෝහයන්ගෙන් බැහැරව විරාගය, වීතදෝෂය,
වීතමෝහය පිණිස ම දහම් කතාව පැවැත්විය යුතුයි. දහම් දේශනාව සිදුකළ යුතුය යන
අදහසයි.මෙහි දී වර්තමානයේ ධර්ම දේශනා හඳුන්වන කාලීන, විචිත්‍ර, ප්‍රවීණ ආදී වචන
සියල්ලට ම වඩා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් විරාගී දහමක් පෙන්වා දී සම්මතය
තුළ ශීලාදී ගුණයන් ආරක්ෂා කරගෙන ධර්මානුකූල පැවැත්මක් සිදු කරමින් පණ ඇති, පණ නැති
සියල්ලෙහිම යථා ස්වභාවය දේශනා කළ යුතු බවයි. එනම් සියලු සංඛත, සංඛාර, වස්තූන්
අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් කොට දක්වා තණ්හා, මද, මාන
දිට්ඨි බැහැරවන ආකාරයෙන් දේශනාව කළ යුතු බවයි.තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ
ධර්මය අකාලික බැවින්, ඕනෑම තැනක, ඕනෑම කාලයක දී සන්තානයන් හි පවත්නා රාග, ද්වේෂ,
මෝහ සංසිඳවන සංසිඳවිය හැකි උතුම් ධර්ම මාර්ගයකි. එය කලින් කලට කාලීන යැයි පැවසීමක්
අවශ්‍ය නොවේ. විචිත්‍ර හෝ ප්‍රවීණ යැයි පැවසිය යුත්තේ රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන
ආකාරයෙන් දේශකයා තුළත්, ශ්‍රාවකයා තුළත් දහම් මඟ ඇති කර ගැනීමයි.
- දීපා පෙරේරා |