Print this Article


 සිත මෙහෙයවිය යුත්තේ කෙසේද?

සිත මෙහෙයවිය යුත්තේ කෙසේද?

අතීතං නාන්වාගමෙය්‍ය
නප්පටිකංඛෙ අනාගතං
යදතීතං පහිනං තං
අප්පතිතඤ්ච අනාගතං
පච්චුප්පන්නඤ්ච යො
ධම්මං තත්ථ තත්ථ විපස්සති

පින්වත්නි,

වර්ෂයේ පළමු පොහෝ දිනය වන දුරුතු පුන් පොහෝ දා ඔබ සැම දෙනාම දහමින් දැනුවත් කිරීම සඳහා මා තෝරාගත් ගාථාව මජ්ක්‍ධිම නිකායේ එන භද්දෙකරත්ත සූත්‍රයට අයත් ගාථා ධර්මයක්. මේ ගාථාවෙන් උගන්වන උපදේශය දෛනික ජීවිතයේ සාර්ථකත්වය සඳහාත්, අධ්‍යාත්මික ජීවිතයට අයත් පරම නිෂ්ටාව සඳහාත් එකසේ උපකාර වන දේශනාවේ ඒකදේශයක්.

මේ ගාථාවේ තේරුම මෙසේ දැක්විය හැකි ය. අතීතය පසු පස නොයන්නේ ය. අනාගතය සිහි නොකරන්නේ ය. අතීතය පහව ගොස් ඇත. අනාගතය පැමිණ නැත. වර්තමානයේ යම් ස්වභාවයක් පවතී ද එය විශේෂ වශයෙන් දකියි.

මේ ගාථාව අපට දෙන උපදේශය අතීතයට සහ අනාගතයට ද නොගොස් වර්තමානය තුළ සිත තැන්පත් කර ගත යුතු බවයි. ඔබ ඔබ දෙස බලා සිටින්නේ නම් එවිට ඔබට වැටහේවි ඔබ ඉන්නේ වර්තමානයේ නොව අතීතයේ හෝ අනාගතයේ හෝ බව. ජීවිතය විවිධාකාර සිද්ධින්ගෙන් ගහනව පවතී. එය ජීවිතයේ දී මුහුණ දුන් කටුක අත්දැකීම් විය හැකි ය. වේදනාකාරි අත්හැරීමක් විය හැකි ය. එසේත් නැති නම් සුන්දර පි‍්‍රයජනක සිදුවීමක් විය හැකි ය. එහෙත් ඒ සියලු මනසිකාරයන් ඔබගේ පවිත්‍ර සිත අපිරිසුදු කරයි.ආවරණය කරයි.

සිත අපිරිසුදු කරන රාගය, ආශාව, ඊර්ෂ්‍යාව , තරහව, කෝපය, වෛරය, සැකය, පසුතැවිල්ල, සිතේ අකර්මන්‍ය බව මුළාව වැනි සිතිවිල්ලක් එම සිද්ධි ආවර්ජනයත් සමඟ ඵලයක් ලෙසට හටගනියි. මේ සිතිවිලි ඔබගේ සිත අපිරිසුදු කරන බව ඔබට නොවැටහේ. එයට හේතුව එම අතීත සිද්ධියට ඔබ දැහැන්ගතව සිටින නිසා ය. සිත අපිරිසුදු වූ බවට වටහා ගත හැකි චෛතසිකයක් ලෙසට කෝපය, උදාහරණයක් ලෙසට දැක්විය හැකි ය. කෝපය ඇති කළ සිද්ධිය සිහි කරන විට කෝපයට ලක්වන තැනැත්තාට කිසියම් හෝ නපුරක් කිරීමට සිතේ. එය සිත කිළිටි වීමෙන් සිදුවන්නකි. කොධන සූත්‍රයෙහි මෙසේ කිපීම ඇසුරු කරගෙන හත් ආකාර හානිකර චිත්තවේගයන් ඇති වන බව පෙන්වයි. විරුද්ධකාරයා කැතවෙනවා නම් එයට කැමැති වේ. ඔහුට නින්ද නොයයි (දුක්ඛං සයෙය්‍යඨාති) නම් එයට ද කැමැති වේ. ඔහු දුප්පත් වන්නේ නම් එයට කැමැති වේ. ( න පචුරත්ථො) ඔහු පවුල තුළ , ඤාතීන් අතර, සේවකයන් අතර, මිත්‍රයන් අතර පිරිහේ නම් එයට කැමැති වේ. ( න භොග වා අස්සති) කාගේත් විවේචනයට ලක් වී කීර්තිය නැතිවේ නම් එයට කැමැති ය. (නයසවා ) මිතුරන් නැති වන්නේ නම් එයට කැමැති ය ) (නමිත්තාවා) එසේම අපායට යන්නේ නම් එයට ද කැමැති ය. (නිරයං උපජ්ජෙය්‍යාති) .මෙබඳු සිතිවිලි සිත තුළ ඇති වේ. මේවා අනවශ්‍ය හානිකර සිතිවිලි ය. අතීතයේ සිදුවීමක් මෙනෙහි කරපු නිසා වෙන් මෙසේ සිත නරක දිසාවන්නට කෙනෙකු ගෙන යනු ලබයි. ආශාවකට සම්බන්ධ සිතක් හෝ මෝහයට සම්බන්ධ සිතක් ඇති වු විට ද මෙබඳුම අන්තරාදායක සිතිවිලි රාශියක් පැන නඟියි. අකුසල මූල සූත්‍රයෙහි , මේ නිසා අවධාරණය කර ඇත්තේ ආශාවෙන්, තරහාවෙන්, සැකයෙන්, පසුතැවිල්ලෙන් අකර්මන්‍ය බවින් ගන්නා ලද සිත, අනුන්ට නපුරක් කරන බවයි. අතීත සිද්ධියක් මෙනෙහි කිරීමෙන් වර්තමාන සිත කිළිටි වන්නේ මේ ආකාරයටය. අතීතය පහව ගිය දෙයකි. එය නැවත වෙනස් කළ නොහැකි ය. මේ නිසා ඒ ගැන සිතීමෙන් පලක් නොමැත. අනාගතය ගැන ඇති වන සිතිවිලි ද මෙබඳුම ප්‍රතිඵලයක් ඇති කරයි. නොවුණ දෙයක් පිළිබඳව සිතේ මවන සිතිවිල්ල ද එලෙසම සිත කිළිටි කරයි. පාපි සිතිවිලි හටගනියි. (අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති) මේ නිසා අතීතය මතක් කිරීම හෝ අනාගතය ගැන සිතීම තුළින් සුවදායක තත්වයක් ඇති නො කරයි.

වර්තමානය තුළ සිත මෙහෙය වීම වඩා වැදගත් වේ. එයට හේතුව අතීතයටත්, අනාගතයටත් වගකියන මොහොත වර්තමානය මත පිහිටා ඇති නිසා ය. ඔබ වර්තමානයට සිත ගෙන යන විට මේ මොහොතේ පවතින සුන්දරත්වය විඳිය හැකි ය. වර්තමානය පිවිතුරු තත්වයකි. වර්තමානයේ දී ඔබට අකැමැති දෙයක් ලක්විය හැකි ය. ඇසිය හැකි ය, එහෙත් ඒ ක්ෂණයකින් වෙනත් දෙයක් දැකීමට සැලැස්වීමෙන්, වෙනතකට කන් යොමු කිරීමෙන් ප්‍රසන්න දෙයක් දැකිය හැකිය, ඇසිය හැකිය. අවශ්‍ය වන්නේ සිහිය නමැති ප්‍රබල ශක්තිය මෙහෙය වීම පමණි. අප්‍රසන්න දේ අතර ප්‍රසන්න දේවල් කොතෙකත් ඇත. අපගේ පුරුද්ද වී ඇත්තේ අපහසුවෙන් හෝ අප්‍රසන්න දේ දැකීමට ය. ඇසීමට ය. එය මොන තරම් පිඩාකාරි වුවත්, ආතතියක් ඇති කරන්නක් වුවත් එය හොරෙන් හෝ දැකීමට, හොරෙන් හෝ එය ඇසීමට පොළඹවයි. එය එසේ වන්නේ මේවා පුරුදු බවට පත් ව ඇති නිසා ය. පුරුද්ද බලවත් ශක්තියක් . මේ නිසා මේ නරක පුරුදු නතර කිරීමට අවධානය යොමු කළ යුතුව ඇත. දිනක් විහාරස්ථානයට පැමිණි කෙනෙකු මා සමඟ කතා කරමින් සිටියත් ඔහු යම්කිසි මානසික පීඩනයකින් සිටින බව මට වැටහුණේ ඔහු මගේ කතාවට පූර්ණ අවධානයෙන් නොසිටින බව වටහා ගැනීමෙනි. මා ඒ පිළිබඳව ප්‍රශ්න කළ විට එ දවසේ දී නිවසේ දී ඇති වූ සිද්ධියක් ප්‍රකාශ කළ අතර ඉන් මිදීම සඳහා විහාරයට පැමිණි බව මතක් කරන ලදී. පසුව ඔහු තාමත් ජීවත් වන්නේ පන්සලේ නොව ගෙදර බව පැහැදිලි කර දුනිමි. තමා පන්සලේ සිටිමින් සිත ගෙදර සිද්ධිය සමඟ ගත කරන නිසා පන්සල තුළ සැරිසරන්නේ හුදු කය පමණක් බවත් තේරුම් කර දුනිමි. කළ යුත්තේ පන්සලේ වටපිටාව දැකීමයි. එහි චමත්කාරය විඳීමයි. වර්තමානයේ තමා කරන දෙය දෙස බැලීමයි. එය නිවැරැදිව කිරීමයි. එවිට ඒ පීඩාකාරි අතීතය ඔහුට පීඩා නොපමුණුවයි. ඒ කෙරෙන් ගිලන් වූ සිත නිරෝගිමත් කළ හැකි ය.

බොහෝ දෙනා සිත ගිලන් බවට, අකර්මන්‍ය බවට පත් කරගෙන ඇත්තේ සිත වර්තමානය තුළ තබාගැනීමට මහන්සි නොගැනීම නිසාවෙනි. මෙහි ඇති දෝෂය නම්, වර්තමාන ක්‍රියාවට අතීතය හෝ අනාගතය එක් කිරීමට කටයුතු කිරීමයි. එවිට ගෙදර දී අත්දුටු වේදනාව ම මෙහි දී ද විඳියි. අප ආහාර ගන්නාවිට අතීත සිදුවීමක් සිහියට නැගුණ විට එය සිහි කරමින් ආහාර භුක්ති විඳී. සිද්ධිය කෝපයට සම්බන්ධ නම් ආහාර සමඟ භුකිත් විඳින්නේ තරහවයි. බොහෝ විට අජීර්ණය ඇති වන්නේ මේ හේතුවෙනි. විය යුත්තේ තමා ආහාර ගන්නා විට ආහාරයේ වර්ණය, රසය, ප්‍රමාණය පිළිබඳ දැනුවත් ව ආහාර ගැනීමයි. වර්තමානයට අතීත හෝ අනාගත සිතිවිලි එක් නො කළ යුතුයි. මෙය සිත නිරෝගීව තබා ගැනීමට උපකාර වේ. අතීතයට සහ අනාගතයට ඇත්තේ වටිනාකම් දෙකකි. අතීතයට ඇත්තේ අත්දැකීමේ වටිනාකමයි. අනාගතයට ඇත්තේ ධනාත්මක සැලසුමක ඇති වටිනාකම පමණි. අත්දැකීම දැනීමකට සම්බන්ධ වේ. නිවැරැදි සැලසුම් වීර්යයට සම්බන්ධ වේ. මෙහි ඇත්තේ මෙබඳු ප්‍රායෝගික වටිනාකමක් පමණි.

වර්තමානය තුළ සිත තැන්පත් කිරීම සඳහා බුද්ධ දේශනාවේ භාවනා ක්‍රමයක් දේශනා කර ඇත. එය ආනාපාන සති භාවනාවයි. එය ජීවිතයට සම්බන්ධ නෛසර්ගික ක්‍රියාවලියකට සිතේ අවධානය යොමුකිරීමයි. එනම් අශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස බැලීමයි. එහි පියවර 16 කි. එය කොටස් හතරකට බෙදිය හැකි ය. රූප,වේදනා, මනො සංඛාර, සහ සංජානන යන සතරයි.

දීර්ඝ ආශ්වාස සහ ප්‍රශ්වාස, කෙටි ආශ්වාස සහ ප්‍රශ්වාස, සමස්ත ආශ්වාස ප්‍රශ්වාස, ආශ්වාස ප්‍රශ්වාස සන්සිඳීම යන මෙ හතර රූප කොටසට අයත් වේ. පී‍්‍රතිය අත්දැකීම, සුඛය අත්දැකීම, මනෝ සංඛාර අත්දැකීම ( පී‍්‍රතිය සහ සුඛය සිතේ නිර්මාණ බව අත්දැකීම) මනො සංඛාර සන්සිඳීම යන මේ හත වේදනා කොටසට අයත් වේ. සිත අත්දැකීම, සිත පමුදිත කිරීම, සිත කෙරෙහි ඒකාග්‍රතාවය ඇති කිරීම හා සිත නිදහස් වීමේ අත්දැකීම යන මේ හතර මනො සංඛාර කොටසට අයත් වේ. අනිත්‍යය නුවණින් දැකීම, විරාගය නුවණින් දැකීම, නිරෝධය ( නිවන) නුවණින් දැකීම හා අත්මිදීම නුවණින් දැකීම යන මේ හතර සංජානන කොටසට අයත් වේ. මේ දහසයාකාර අනුක්‍රමික පුහුණුව කෙනෙකු වර්තමානය තුළ රඳවා තබන්නට උපකාරවනවා පමණක් නොසිතේ කිලිටි බව සහමුලින් නැති කිරීමට ද උපකාර වේ. පූර්ණ විමුක්තිය ඇතිවන්නේ සංජානන ක්‍රියාවලියෙන් පසුව ය. අපගේ විවිධ දුක්ඛදෝමනස්සන් ඇති වන්නේ වැරැදි සංජානනයන් නිසා ය. ස්වභාවධර්මයේ ඇති සැබෑ ස්වභාවය දැකීමට නොහැකි වීම එයට හේතුවයි. මේ නිවැරැදි සංජානන ක්‍රියාවළියෙන් සත්‍ය දැකීමට හැකියාව උදාකරයි.

ඔබ සැමට සියලු යහපත උදාවේවා