Print this Article


සාර්ථක ජීවිතයකට ඇවැසි ස්ථානෝචිත ප්‍රඥාව

සාර්ථක ජීවිතයකට ඇවැසි ස්ථානෝචිත ප්‍රඥාව

ස්ථානෝචිත ප්‍රඥාව ජීවිතයක සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකයකි. ඒ සඳහා බුද්ධිමත් බවක් ඇවැසි ය. පොතපතින්, අත්දැකීමෙන්, ශ්‍රවණයෙන් ලද දැනුම ප්‍රායෝගික ජීවිතයට ගළපා ගැනීමේ හැකියාව ඇවැසි ය. එහෙත් අපේ තරුණ පරම්පරාවෙන්, ළමා පරපුරෙන්, ඇතැම්විට වැඩිහිටියන් අතරින් වැඩි පිරිසකට ස්ථානෝචිත ප්‍රඥාව අඩු ය.

එනම් තැනට සුදුසු ලෙස කටයුතු කිරීමේ හැකියාව අඩු ය. පොතපත වනපොත් කර විභාගවලට පිළිතුරු ලියනවා වෙනුවට දැනුම ග්‍රහණය කර නො ගැන්ම, විචක්ෂණශීලී නො වීම, ජීවිතයට ගළපා නො ගැනීම ඊට ප්‍රධාන හේතූන් ය.

ස්ථානෝචිත ප්‍රඥාව ජීවිතයට මහඟු මිණකි. අතීතය, වර්තමානය සේ ම අනාගතයටද පොදු ය. ඒ බව ප්‍රකට වන ජාතක කතාවකි පංචායුධ ජාතක ය. පංචායුධ කුමාරයා ගුරු ගෙදරට ගොස් ශිල්ප හදාරා ආපසු සිය නුවර බලා යමින් සිටි අතර, අතරමග දී කුමරු යක්ෂයෙකුට හසුවිය. එහෙත් කුමරු යක්ෂයාට පහසුවෙන් ගොදුරු වන්නට තරම් බිය සුළු වූයේ නැත. ඔහු යක්ෂයා පරාජය කරන්නේ ස්ථානෝචිත ප්‍රඥාවෙනි. පළමුව අතින් පයින් පහර දී බේරෙන්නට බලයි. හිසින් ද පහර දෙයි. අවසන මුළු සිරුරෙන් ම පහර දෙයි. එහෙත් කුමරුගේ මුළු සිරුරම යක්ෂයාගේ සිරුරේ ඇලී ගියේ අත් පා සොලවන්නට ද නොහැකි ලෙසට ය. දැන් යක්ෂයාට කුමරු පහසුවෙන්ම ගොදුරට ගත හැකි ය. එහෙත් කුමරු කීවේ තමන්ගේ කුසෙහි විස සහිත ආයුධයක් ඇති බවත්, තමන් ගිල දැමුවේ නම්, එම විස සහිත ආයුධය නිසා යක්ෂයාගේ ජීවිතය ද කෙළවර වන බවත් ය. ඊට බිය වූ යක්ෂයා කුමරු අතහරින්නේ ය. මෙසේ මහ වන මැද යක්ෂයෙකුට හසුව ජීවිතය බේරා ගන්නේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා මිස, නිර්දේශිත විෂයයන් කට පාඩම් කළ නිසා නො වේ.

මේ කතාව වර්තමානයට ගළපා ගත්තේ නම්, ස්ථානෝචිතව ක්‍රියාකිරීමේ හැකියාව ඇත්තේ අද අපේ ළමා පරපුරේ කීයෙන් කී දෙනාට ද?

එසේ වූයේ දරුවන්ගේ ම වරදින් ද? දරුවන් මෙහෙයවන වැඩිහිටියන්ගේ වරදින් ද?

අද අධ්‍යාපන ක්‍රමවේදය දරුවන් දැඩි පීඩනයට හසු කරන ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. එහිදී පහවසර ඉගෙනුම ලබන දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රධාන ය. පාසල් අධ්‍යාපනය තුළ පැය ගණනාවක් සිරවන දරුවා ඊළඟට ඇදගෙන යන්නේ ‘ටියුෂන්’ පන්තියට ය. (බාහිර) එහි අවසානය රාත්‍රී නවය දහය විය හැකි ය. ඇතැම් ටියුෂන් ගුරුවරුන්ට ඇවැසි දරුවන්ට කෙසේ හෝ උගන්වා තමන් හොඳම ශිෂ්‍යත්ව ගුරුවරයා ලෙස නමක් දිනා ගැනීමට ය. එක් පැත්තකින් මුදල් ඉපයීමට ය. ඇතැම් මව්පියන්ට ඇවැසි දරුවාට හොඳම පාසලක් හිමි කර ගැනීම ය. මේ සා පීඩනයක් ඒ නිසාම ය. ඒ නිසා ශිෂ්‍යත්වය එපා කියන්නේ ළමයින් පමණ ය. මේ පීඩනයේ කෙළවර සාමකාමී, සංවේදී දරුවෙක් බිහි වීම ද? අපරාධකාරී දරුවෙක් බිහිවීමද ? යන්න ගැන තවම පර්යේෂණ සිදු කර නැත. විභාගය සමත් වී උසස් පාසල් හිමිකර ගන්නා සුළුතරය හැර අසමත්වන බහුතරයකට වන පීඩනය, ආතතිය හා නිවෙස් තුළ දී මුදා හරින රාක්ෂ ස්වභාවයන් පිළිබඳව හසු වී නැත.

ශිෂ්‍යත්වයේ බර අඩුකර එයට විකල්ප ක්‍රමයක් එක් කිරීම කාලීන අවශ්‍යතාවකි. ඉහළට ඔසවා තැබිය යුතු පාඩම් කරන්නට දක්ෂයන් පමණ ද? පහවසර සීමාවේ සිටින සංගීතයට දක්ෂ, නැටුමට, රංගනයට, වැයුමට දක්ෂ, සිතුවමෙහි දක්ෂ, ක්‍රීඩාවට දක්ෂ දරුවන් පෙරට ගන්නට ක්‍රමවේදයක් සැකසිය යුතු කාලය එළඹ තිබෙනවා නොවේද?

විභාගයෙන් සමත් සිය දෙනෙක් ඉහළට ගන්නා අතරම කලාවට, සාහිත්‍යයට අතිදස්කම් දක්වන දස දෙනකුටවත් අතදීම නො වටින්නේ ද? ශිෂ්‍යත්ව විභාගය එක්වර ම තහනම් කළේ නම් ඊට මව්පියන්ගේ, ගුරුවරුන්ගේ දැඩි විරෝධයක් මතු විය හැකි ය. ඒ දරුවාට හොඳ පාසලක් නො ලැබීමේ අවස්ථාව නැති කළා ය, යන චෝදනාවෙනි. දරුවන් පෙළන පීඩනයට විකල්පය ශිෂ්‍යත්වය නැති කිරීම නොවේ. ඉන් අසමත් වන පිරිස් අතරින් ද කුමන හෝ දක්ෂතාවක් ඇති අයද ඉහළට ගන්නට ක්‍රමවේදයක් සැකසීම ය.

පසුගිය කාලයේ ළමයින් විසින් ළමයින් ඝාතනය කිරීමේ සිදුවීම් අපි දුටුවෙමු. මේ දරුවන් ශිෂ්‍යත්වය සමතුන් ද, අසමතුන් ද යන්න විමර්ශනයට ලක් කළ බවක් දුටුවේ නැත. මේ නිසා දරුවන් සම්බන්ධව වෙසෙසින් අධ්‍යාපන ක්‍රමවේදයේ දී ළමා මනස තේරුම්ගත් සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අවශ්‍ය ය. පොත්පත් වණ පොත් කරවා විභාග ලීවාට පමණක් දරුවන් ජීවිතය ඉගෙන ගන්නේ නැත. ඔවුන්ට තැනට සුදුසු නුවණ ද තිබිය යුතු ය. නැතිනම් සංකීර්ණ සමාජයේ ජීවත්වීම උගහට ය. අනුකම්පාව, දයාව, සංවේදී බව ඇතුළු ගුණ ධර්මද ප්‍රගුණ කරවිය යුතු ය. ඒ තැනට දරුවන් ගෙන ඒමට අවකාශය සැලසීමට අධ්‍යාපනය තුළින් ද වෙසෙස් පිටිවහලක් ලැබිය යුතු ම ය.