තෙවළා බුදු වදන් අතරින් - 18:
බ්‍රහ්ම විහරණය
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බෞද්ධයන් විසින් නිතර සජ්ඣායනා කරනු ලබන සූත්‍ර දේශනා අතර මංගල, රතන හා කරණීයමෙත්ත
යනුවෙන් හැඳීන්වෙන සූත්‍ර තුන බෙහෙවින් ජන ප්‍රිය ය. තුන් සූත්‍රය යනුවෙන් ව්‍යවහාර
කෙරෙන මෙම සූත්‍ර පිරිත් දේශනාවලදී මූලික වශයෙන් සජ්ඣායනා කරනු ලබන අතර එයින් විශේෂ
ආරක්ෂාවක් හා ශාන්තියක් සැලසේ.
තුන් සූත්‍රය අතරිනුත් කරණීය මෙත්ත සූත්‍රයට විශේෂ තැනක් හිමි වන අතර එය බොහෝ
බෞද්ධයන් විසින් දිනපතා උදේ සවස සජ්ඣායනා කරන ලැබේ. එහෙත් එහි අන්තර්ගත අර්ථය
නිවැරැදිව හඳුනාගෙන ඇත්තේ ඉතා සුළු පිරිසකි. බොහෝ දෙනෙකු එය භාවිත කරන්නේ ආරක්ෂා
මන්ත්‍රයක් ලෙස ය. එහිලා කිසිදු දොසක් නැත. නමුත් ආරක්ෂා මන්ත්‍රයකට පමණක් සීමා
කිරීම නිසා එහි අන්තර්ගත හරය ස්ඵර්ශ කිරීමට බොහෝ අය අසමත්ව සිටිති. සජ්ඣායනාවෙන්
ඔබ්බට ගොස් අන්තර්ගතය ක්‍රියාවට නැගුවොත් කෙනෙකුගේ පෞද්ගලික ජීවිතය මෙන්ම ඔහු හෝ ඇය
අයත් සමාජය ද උසස් එකක් වනු නිසැක ය. එසේම සර්ව සත්ව හිතවාදී උසස් පෞරුෂයක් සහිත
උදාර අයෙකු බවට පත්වීමට ද එය උපනිශ්‍රය වේ.
බුදුරදුන් වදාළ පැරැණි සූත්‍ර දේශනාවක් වන කරණීය මෙත්ත සූත්‍රය අයත්වන්නේ ඛුද්දක
නිකායේ සුත්තනිපාතය ට ය. මෙම සූත්‍රයෙහි අන්තර්ගතය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත ය.
පළමු කොටසෙහි නිර්වාණය අවබෝධකරනු කැමැති, එය සාක්ෂාත්කොට වාසය කරනු කැමැති
අත්‍ථකුසල හෙවත් ප්‍රතිපදාවෙහි දක්ෂ තැනැත්තා විසින් ඇති කර ගතයුතු විශේෂ ගුණ හෙවත්
ප්‍රතිපත්ති පසළොසක් දැක්වේ. එනම් විවිධ කාර්යන්හි දක්ෂයකු හෙවත් ප්‍රතිබල සම්පන්න
අයකු වීම, ඍජු අයෙකු වීම, වඩාත් ඍජු අයෙකු වීම, කීකරු අයෙකු වීම, මෘදු ගති ඇති
අයෙකු වීම, මානයෙන් තොර අයෙකු වීම, සතුටින් සිටින්නෙකු වීම, පහසුවෙන් පෝෂණය කළ හැකි
අයෙකු වීම, කාර්ය බහුල තැනැත්තෙකු නොවීම, සැහැල්ලු පැවතුම් ඇත්තෙකු වීම, සංවර
ඉඳුරන් ඇති අයෙකු වීම, නුවණැතියෙකු, බුද්ධිමතෙකු හෙවත් ප්‍රාඥයෙකු වීම, කයින්,
වචනයෙන් හා මනසින් අන්‍යයන් ඉදිරියේ නිරංහාකර ව ගෞරවණීය ලෙස හැසිරෙන්නෙකු වීම,
කිසිවෙකු කෙරෙහිත් පක්ෂග්‍රාහී නොවීම, නුවණැතියන්ගේ ගැරහුමට ලක්වන නින්දාවට භාජනය
වන කුඩා හෝ වරදක් නොකරන අයෙකු වීම යනු එම පසළොස් වැදෑරුම් ප්‍රතිපත්ති ය. විමුක්තිය
උදෙසා කටයුතු කරන්නෙකුගේ කායික වාචසික හා මානසික චර්යා කෙසේ විය යුතුද යන්න මෙම
ප්‍රතිපත්ති පසළොසින් ගම්‍ය වේ. මෙම යෝග්‍යතා සම්පූර්ණ කරන්නෙකුට පමණි විමුක්තිය
සාක්ෂාත් කළ හැකි වන්නේ.
විමුක්තිය උදෙසා පූර්ව අවශ්‍යතාවක් ලෙස මෙකී සාධු ගුණ වර්ධනය කරගන්නා අතර දෙවන
කොටසෙහි දැක්වෙන පරිදි මෙත්තා භාවනාව ප්‍රගුණ කළ යුතුවේ. මෙහිදී ඉතා සංක්‍ෂිප්තව
මෙත් සිත වර්ධනය කරන පිළිවෙල පැහැදිලි කරයි. ඒ අනුව සියලු සත්වයන් කෙරෙහි
ත්‍රිවිධාකාරයකින් මෙත්සිත දියණු කළ යුතුවේ. අටුවාවෙහි දැක්වෙන පරිදි සුඛිනෝවා
යන්නෙන් කායික සුවපත් භාවය පැතීමත්, සුඛිතත්තා යන්නෙන් සිතෙහි සුවපත් භාවය පැතීමත්,
ඛේමිනෝ යන්නෙන් කය හා සිත සම්බන්ධ සියලු බිය හා උපද්‍රව දුරුවේවා යනුවෙන්
ප්‍රාර්ථනා කිරීමත් අදහස් කොට ඇත. තවදුරටත් අටුවාව පවසන්නේ මෙත් සිත පැතිර වීමේදී
සංක්ෂේප වශයෙන් එය “සබ්බේ සත්තා සුඛිනො හොන්තු” “ඛෙමිනො හොන්තු” “සුඛිතත්තා හොන්තු”
යනුවෙන් තෙවදෑරුම් ලෙස ක්‍රියාවට නැංවිය යුතු බවයි. මෙසේ මෙත්සිත සංක්ෂේප වශයෙන්
දක්වා නැවත එය විස්තරාත්මකව වඩන ආකාරය විවිධ ප්‍රභේද යටතේ පැහැදිලි කරයි.
විවිධ ප්‍රභේද යටතේ මෙත් සිත වඩන ආකාරය ගෙනහැර දැක්වීමෙන් පසු මෙත්තා භාවනාව හා
සම්බන්ධ ඉරියව් කවරේදැයි පැහැදිලි කරයි. සෙසු භාවනා කර්මස්ථාන මෙන් නොව මෙත් සිත
සිව් ඉරියව්වේ ම පිහිටා වැඩිය හැකි ය. ඒ අනුව නැවතී සිටින විට, ඇවිදින විට, හිඳගෙන
(අසුනක) සිටිනවිට, යහනක වැතිරී හිඳීමින් (නින්ද නොඑනතාක්) යන ඉරියව් සතරේම අඛණ්ඩව
මෙත් සිත පැතිරිය යුතු වේ. සෙසු භාවනා කර්මස්ථාන සඳහා නිශ්චිත ඉරියව්වක් දැක්වුව ද
මෙත්සිත පැතිරවීම සම්බන්ධයෙන් එවැනි නිර්දේශයක් ඉදිරිපත්කොට නැත. එය අඛණ්ඩව
ක්‍රියාවට නැංවිය යුත්තකි. මෙත් සිත පෙරදැරිකරගත් හිතමිතුරු ආකල්පය සැම මොහොතකම
පැවතිය යුතුය යන්න මෙයින් අවධාරණය කොට තිබේ.
මෙසේ අඛණ්ඩව මෙත්සිත පතුරුවමින් වාසය කිරීම බ්‍රහ්ම විහරණය යනුවෙන් හැඳීන් වේ. මෙම
බ්‍රහ්ම විහරණය යටතේ ලෝකයට අඛණ්ඩව මෙත් සිත පැතිරවීම පමණක් නොව කෙනෙකු තවත් අයෙකු
රැවටීමත් (න පරො පරං නිකුබ්බේත) කිසිතැනක කිසිවෙකුත් පහත් කොට සැලකීමත් (නාතිමඤ්ඥේත
කත්‍ථචි නං කඤ්චි) කයින් හා වචනයෙන් අන්‍යයන් වෙත කෝපය මුදා හරිමින් (බ්‍යාරොසනා)
ද්වේෂ සහගත සිතින් යුක්තව (පටිඝසඤ්ඤා) ඔවුනොවුන් දුකට හා වේදනාවට පත්කිරීමත් (නාඤ්ඤ
මඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය) නොකැමැති විය යුතු වේ. කෙනෙකු උසස් අන්දමින් ජීවත්වන
අයෙකැයි ප්‍රකාශ කළ හැකිවන්නේ එම තැනැත්තා ලෝකයට මෙත් සිත පැතිර වීමෙන් නොනැවතී
විවිධ අයුරින් අන් අය වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරීමත්, හිංසනයට ලක් කිරීමත් අනුමත
නොකර වාසය කරන්නේ නම් පමණි. ඒ අනුව මෙත් සිත පැතිර වීම පමණක් නොව අවංකව විවෘතව
කටයුතු කිරීමත්, සෙසු අයට ගෞරවණීය ලෙස ක්‍රියාකිරීමත්, අන් අය අපහසුතාවට පත්
නොකිරීමත් මානව හිතවාදී උසස් පුද්ගලයෙකුගේ ස්වභාවය යි.
මෙවැනි උසස් ජීවිතයක් අත්පත්කරගන්නා තැනැත්තාගේ මතු ස්වභාවය කවරේදැයි සූත්‍රය
අවසානයේ පැහැදිලි කරයි. ඒ අනුව මෙත්සිත දියුණු කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ සක්කාය
දිට්ඨිය බැහැර කොට ශීලයෙන් පූර්ණත්වයට පැමිණ දර්ශන සම්පත්තියෙන් යුක්තව කාමයන්
කෙරෙහි වන ඇල්ම තුනී වීම නිසා පිළිවෙලින් අනාගාමි ඵලය සාක්ෂාත්කොට සුද්ධාවාස
බ්‍රහ්ම ලෝකයෙහි ඉපිද අර්හත්වය සාක්ෂාත් කිරීම යි. අනාගාමි ඵලය සාක්ෂාත් කළ
තැනැත්තා නැවත මව් කුසකට නොපැමිණේ. කරණීයමෙත්ත සූත්‍රයේ දැක්වෙන පරිදි එය මෙත් සිත
දියුණු කිරීමේ අවසන් ඵලය යි.
ඉහතින් දැක්වූ පරිදි නිර්වාණාවබෝධය පිණිස කළ යුතු කාර්ය පැහැදිලි කිරීමත්, මෙත්තා
භාවනා කර්මස්ථානය විවරණය කිරීමත් නිසා මෙම සූත්‍රය කරණීය මෙත්ත සුත්ත යන නමින්
හඳුන්වා තිබේ. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කිරීමට පසුබිම් වූ හේතු කාරණා කවරේදැයි
වාර්තාවන්නේ සුත්ත නිපාත අටුවාවේ ය. එම නිදානයට අනුව කරණීය මෙත්ත සූත්‍රය ආරක්ෂක
පිරිතක් ලෙස භාවිතකරනු පෙනේ. සූත්‍රයේ අන්තර්ගතය පරීක්ෂා කිරීමේදී පෙනීයන්නේ
සැබැවින් ම එම සූත්‍රය ක්‍රියාවට නැංවිය යුතු පිළිවෙතක් අන්තර්ගත සූත්‍රයක් බව යි.
ඒ අනුව කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීමෙන් නොනැවතී ක්‍රියාවට නැංවිය යුතු
ප්‍රතිපත්ති පසළොසක් හා භාවනා කර්මස්ථානයකින් යුක්ත සූත්‍ර දේශනාවක් බව පැහැදිලි ය.
අවම වශයෙන් එහි අර්ථයවත් මැනවින් වටහාගෙන සජ්ඣායනා කරන මොහොතෙහි ගැඹුරින් ඒ ගැන
කල්පනා කිරීම වුව වැදගත් වේ. එසේ නොමැතිව මන්ත්‍රයක් සේ සළකා ගායනා කිරීමෙන් පමණක්
සිදුවන්නේ චිත්තවේගාත්මක වශයෙන් වන සන්තුට්ඨියක් මිස විමුක්තිය සාක්ෂාත් කිරිමට
අවශ්‍ය පුහුණුව ලැබීමක් නොවේ. |