බුදුගුණයට යොමුවෙමු
කොළොන්නාවේ
සිරි සුමංගල
මහ නා හිමි
මේ සසර ගමන මහා භයානකයි. සංසාරේ අපි අතට යමක් අරගෙන ආවේ නැහැනේද?. හිතට ගත්ත දේ
විතරනේ අරගෙන ආවේ. ජීවිතයේ දී අපි ජයග්‍රහණය කරලා මියැදෙනවා මිසක් පරාජය වෙන්න හොඳ
නැහැ. සසර බය, සංසාර දුක තේරුම් ගත් ඇත්තා කවදාවත් වැරැදි කරන්නේ නැහැ.
අපි මේ සසර ගමන ජය ගන්න ඕනෑ. අපේ හිත හරිම භයානකයි. පින්වතුනේ. සිතට නපුරු සිතිවිලි
එන්න, එන්න සසර ගමන ම අඳුරු වෙනවා. කාමය, රාගය තරම් ගින්නක් තවත් තියෙනව ද?. කාම
රාග ගින්න හරියට විෂකුරු නාගයෙක් වගේ. කාමය, රාගය කියන්නේ හරියට දෙපැත්ත කැපෙන පිහි
තලයක් වගේ. කාම රාගී සිතිවිලි ඇති ජීවිතයක් කවදාවත් දිනන්නේ නැහැ. ඕනෑවට වඩා සිතට
වහල් වෙන්න එපා . බුදුගුණ සුවඳට ළං වෙන්න, ළං වෙන්න දැනෙන ලොව්තුරු සුවය වචනයෙන්
කියන්න පුළුවන්ද? ඇයි අපි වැරැදි කරන්නේ මේ තරම් භාග්‍යවන්ත නික්ලේශී වීතරාගී සම්මා
සම්බුදුරජාණන් වහන්සේ හමුවෙලත් ඇයි තවත් අපි සසර දිග් කරගන්න හදන්නේ. ශ්‍රී
සද්ධර්මයට ළං වෙන්න ළං වෙන්න සිතට දැනෙන සුවය කොහොම කියන්න ද?.
මතකයි නේද? සුබා තෙරණිය, රූපයෙන් අගතැන්පත් හිස මුඩු කළ, කසාවතක් හැඳගත් සුබා
තෙරණියගේ රූපයට ආශා කළ මානවකයෙක් සුබා තෙරණිය පසු පස යනවා. “සුබා නවතින්න, සුබා
ඔහොම ඉන්න, සුබා මම කියන දේ පොඩ්ඩක් අහන්න” කියනවා. සුබා තෙරණිය නැවතුණා. මානවකය
ඇයි ඔබ මා පසුපස එන්නෙ? “සුබා ඔබ හරිම ලස්සනයි. සුබා එන්න සුබා මා සමඟ යන්න. අපි
කම් සැප විඳිමු “ මානවක ඔබට තේරෙන්නේ නැද්ද? මා මහණ දම් පුරන කෙනෙක්. ඒත් සුබා මට
ඔබ අමතක කරන්න බැහැ “. මානවක ඔබ මගේ කුමන දෙයකට ආශා කරලද මා පසුපස එන්නේ.? සුබා ඔබේ
ඔය ලස්සන ඇස් දෙකට මට ආසා හිතුණා . ඔබේ ඔය ලස්සන ඇස් දෙකට මට ආසා හිතුණා . සුබා
තෙරණිය නැවතුණා. ඇස් දෙක දුන්නා මානවකයාගේ අතට.මානවක ඔබ ආසා කළේ මගේ ඇස්දෙකටනේ.
මෙන්න ඔබට මගේ ඇස් දෙක ‘දැන් මට යන්න දෙන්න’. මෙතරම් වෙලා රූමත්ව හිටි සුබාගේ ඇස්
ගැලවූ තැනින් රුධිරය බේරෙනවා. හිතාගන්නත් බැහැ . ඇයි සුබා ඔබ මේ වගේ දෙයක් කළේ.”
මානවක කලබල වුණා. සුබා තෙරණිය ගැන වැටහුණා. “මට සමාවෙන්න” සුබා කෝටුවක් කැඩුවා. එක
පැත්තකින් අල්ලා ගත්තා. සුබා තෙරණිය මානවක පසුපසින් බුදුහාමුදුරුවන් බැහැ දකින්න
පියමනිනවා. පින්වතුනේ මොනවද හිතෙන්නේ. මොනදේ නැති වුණත් සුබා තෙරණියට තමන් රැකගෙන ආ
සීලය නැති වුණේ නැහැනේ. මො න තරම් වටිනවද? තමන් රැකගත් සීලය මොන දේ නිසාවත් බිඳ
ගන්න එපා පින්වතුනේ. කවුරුන් නිසාවත් තමන්ගේ ආත්ම විශ්වාසය, තමන්ගේ සීලය බිඳ ගන්න
එපා. බ්‍රහ්මචාරි ජීවිතය හුඟක් වටිනවා. බ්‍රහ්මචාරි ජීවිතය රකින ඇත්තන්ට දෙව් බඹුන්
පවා නමස්කාර කරනවා. මහ රහතන් වහන්සේලා ජීවත් වුණේ එහෙමනේ. පින්වතුනේ බ්‍රහ්මචාරි
ජීවිතය ආරක්ෂා කරගෙන, සුසිල්වත් ජීවිතයක් ගත කරන ඇත්තන්ගේ වචනයට හැම දෙනාම ගරු
කරනවා.
සැනසිල්ලේ මග බුදුරජාණන් වහන්සේ, තුන් ලෝකයක් සැනසූ සුගත තථාගත ශාන්ති නායක
නිදුකාණන් වහන්සේ අසරණ වු ලෝකයාට සරණ වු බුදුරජාණන් වහන්සේ, අසරණ වී අනාථ වු ලෝකයාට
සනාථ වු මෝහ අඳුරින් අන්ධකාර වු මිනිසාට මිණි පහණ දැල්වූ බුදුරජාණන් වහන්සේ, කොච්චර
වටිනවද?. සම්බුදු ගුණ හිතන්න හිතන්න ජීවිතය සැනසෙනවනේ. බුදු ගුණ සුවඳ, බුදු ගුණ
මිහිර එක දවසකින් අහලා අමතක කරන්න පුළුවන්ද?. මේ අසම සම උතුමාණන් වහන්සේ තරම් මේ
ලෝකයේ දුක් වින්ද තවත් කෙනෙක් ඉන්නවද?. එදා දීපංකර පාද මූලයේ දී බුදු වෙන්න විවරණ
ලැබු දා පටන් බුද්ධගයා බෝධි මණ්ඩලයේ දී බුදු බව ලැබූ උන්වහන්සේ සසර ගමන ආවේ මොන
තරම් දුක් වේදනා විඳගෙනද?. ස්වාමීණි, ඔබ වහන්සේගේ බුදු හදවතේ තිබුණ කරුණාව කොහොම
කියන්නද? අපේ බුදුහාමුදුරුවෝ පහළ වුණේ ඉබේ නෙමෙයි. බුදු හිත හදාගත්තෙත් එක
ආත්මෙකින් නෙමෙයි, මිනිස්කම් නැති සිත් කවදා ලෝකයට සැනසීමක්ද?අනුන්ගේ දියුණුව,
අනුන්ගේ සැපත දැකලා සැනසෙන්න පුළුවන් හිතක් තියනවනම් කොච්චර හොඳද?. මිනිස්කමට ආගමක්
ඕනෑ නෑ. සදාචාරයට ආගමක් ජාතියක් ඕනෑ නෑ. මහා ශාන්ති නායක නිදුකාණන් වහන්ස, ඔබ
වහන්සේගේ ධර්මය සිතන්න සිතන්න ළය මඬල සැනසෙනවා. පින්වතුනේ හැඟීම්වලට වහල් වෙන්න
එපා. පුහුදුන් හැමදෙනාම අද හැඟිීම්වලට වහල් වෙලා. එහෙම වුණොත් ඉබාගාතේ ඇවිදින්න
වෙයි. සැනසිල්ල හොයාගෙන නේද මේ ගමන ආවේ. ඔබට ඕන සැනසිල්ල. කවුරුත් හොයන්නේ
සැනසිල්ල. ඒත් දෙයියනේ අපිට නොලැබෙන්නෙත් සැනසිල්ලයි. එක ආත්මයකට, එක මොහොතකට
ජීවිතය සතුටු කරගන්න හිතාගෙන මුළු සංසාර ගමනම අඳුරු කරගන්න, කිලිටි කරගන්න එපා. එක
වරම බෝධිසත්වයෙක් ගොඩ නගන්න බැහැ. දවසින් දවස හැදී හැදී යමු. |