Print this Article


තණ්හා රැහැනට හසු නොවන්න

තණ්හා රැහැනට හසු නොවන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

රාජා ච අඤ්ඤෙ ච බහූ මනුස්සා
අතිත්ත තණ්හා මරණං උපෙන්ති
ඌණො ච හුත්වාන ජහන්ති දෙහං
කාමෙහි ලොකම්හි න නත්ථි තිත්ති

පින්වතුනි,

මුලින් දක්වා ඇත්තේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ රාජ වග්ගයේ ඇතුළත් රට්ඨපාල සූත්‍රයේ එන ගාථාවක්. අපේ බුදු රජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ කුරු ජනපදයේ වෙසෙන සමයක ථුල්ලකොට්ඨිත කියන නියම් ගමට වැඩම කළා.

ඒ ගම පුරා ම තථාගතයන් වහන්සේගේ වැඩම කරවීම පිළිබඳ ආරංචිය පැතිර ගියා. මේ ආරංචිය ලැබුණ බ්‍රාහ්මණ, ගෘහපති ආදි බොහෝ දෙනා උන්වහන්සේ සොයාගෙන ආවා. යමෙක් පැමිණියා ම සතුටින් පිළිගෙන කතා කිරීම උන්වහන්සේගේ සිරිතක්. මේ පිරිසත් එලෙසින් ම පිළිගත්තා. ආ ගිය තොරතුරු කතා කොට බුදුරදුන් ඔවුනට අනුශාසනා කළා. මේ පිරිස අතර හිටියා රට්ඨපාල නම් තරුණ ගෘහපතියෙක්. ඔහු හිතනවා මෙහෙම, “ගිහිගෙය සම්බාධ සහිතයි, කරදර සහිතයි. එමෙන් ම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමත් පහසු නැහැ. ගිහිගෙය අතහැර පැවිදි ජීවිතයක් ගත කිරීම හොඳයි”.

මෙහෙම හිතලා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් තමන් පැවිදි කරවන ලෙස ඉල්ලා සිටියා. ඒ සඳහා මව්පියන්ගේ අවසරය තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා.

රට්ඨපාල, තමන්ට පැවිද්දට අවසර දෙන්නැයි මවගෙන් ඉල්ලුවා. ඒ වෙලාවෙ අම්මා මෙහෙම කිව්වා.

"රට්ඨපාල, පුතේ නුඹ අපේ ප්‍රිය වූ, මනාප වූ, සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ එකම පුතා, නුඹට දුක දැනෙන්නෙ නැහැ. දුක් විඳලා පුරුද්දකුත් නැහැ. එන්න ගෙදර සිට හිතේ හැටියට කා බී සතුටෙන් ජීවත් වන්නැ"යි ඉල්ලා හිටියා.

පින්වත් රට්ඨපාල තරුණයා යස ඉසුරු සම්පත්වලින් අනූන පවුලක එකම පුතා බව මවගෙ පිළිතුරෙන් පෙනෙනවා. මේ දරුවාට දුක කියන්නේ මොකක් ද කියලා නොදන්න තරමට සැප විඳින්න ඉඩ සලසලයි තිබුණේ. සැපට හදා ගත්ත පුතා දුක් විඳිනවාට අම්මා කැමැති නැහැ. එනිසයි පැවිද්දට අකැමැති වුණේ. තුන් වතාවක් ම ඉල්ලීම කළත් මවගෙන් හෝ පියාගෙන් සතුටුදායක පිළිතුරක් ලැබුණේ නැහැ. ඔහු මොන තරම් හිත් තැවුලට පත් වුණා ද කිව්වොත් බිමට හෙලන ලද දණ්ඩක් වගේ මහ පොළොවෙ ඇද වැටුණා. පැවිද්දට අවසර දෙනතුරු නොනැගැටින බවත් කිව්වා. බිම ඇද වැටුණ පුතා දැක බියට පත් වූ මව හා පියා නොයෙක් විදියේ කරුණු කාරණා කියලා සතුටු කරන්නට උත්සාහවත් වුණා. ඒත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වුණා. පස්සේ පුතාගේ හොඳම යාළුවන් ලවා කරුණු කියවලා බැලුවා. ඒත් ඔහුගේ අදහස වෙනස් කරන්නට ඒ කිසිවෙකුටත් බැරි වුණා. ඔහුගේ යාළුවෝ මව හා පියාට කිව්වා පුතාගේ ජීවිතය බේරා ගැනීමට නම් පැවිද්ද ලබා ගැනීමට අවසර දියයුතුමයි කියලා. මව් පියන්ටත් වෙන කළයුතු දෙයක් නැහැ. අවසරය දුන්නා. රට්ඨපාල කුමාරයා අවසරය ලද සැණින් බුදුරජාණන් වහන්සේ වෙත ගියා. රට්ඨපාල නමින් ම පැවිදි වුණා. දින කීපයක් ගතවෙනකොට උන්වහන්සේ භාවනා වඩලා රහත් ඵලයට පත්වුණා. මාස කීපයකට පස්සේ බුදුරජාණන් වහන්සේත් සමඟ රට්ඨපාල තෙරුන් ජේතවනාරාමයට වැඩම කළා.

දවසක් මේ රට්ඨපාල තෙරුන් වහන්සේ බුදුරදුන් හමුවට පැමිණිලා මෙහෙම කියනවා. ඉච්ඡා මයං භන්තෙ මාතාපිතරො උද්දස්සෙතුං ස චෙ මං භගවා අනුජානාති’ ස්වාමීණි, මට මව්පියන් දකින්න ආසයි. භාග්‍යවතුන් වහන්සේ ඊට අවසරය ලබා දෙන්නැයි කියන ඉල්ලීම කළා. බුදුරදුන් ඒ ඉල්ලීම පිළිගෙන උන්වහන්සේ ද සමඟ ථුල්ලකොට්ඨිත ගමට වැඩමකළා. උන්වහන්සේලා දානය පිණිස ගෙපිළිවෙලින් පිඩුසිඟා වැඩමකළා. රට්ඨපාල තෙරුන්ගේ මව්පියන් ඉන්න නිවසටත් වැඩියා. බුදුරදුන් දුටු තාත්තා තරහෙන් උන්වහන්සේට ත්, භික්ෂූන් වහන්සේලාටත් දොස් කිව්වා. මේ මුඩු මහණුන් එකතුවෙලා අපි ආදරෙන් හදා වඩා පෝෂණය කළ පුතා හිඟමනට දැම්මා කියලා තමයි දොස් නැගුවේ. බැණවැදිලා සිටුතුමා සිටුමැදුර ඇතුළට ගියා, පිණ්ඩපාතෙ ලැබුණෙත් නැහැ. මේ අතර එක් දාසියක් ඉවතලීමට ගෙන යන ආහාර වගයක් දැකලා, ඒවා තමන්ගේ පාත්‍රයට පූජා කරන ලෙස රට්ඨපාල තෙරුන් ඉල්ලුවා. දාසිය උන්වහන්සේ හඳුනා ගත්තා, වහාම මැඳුරට ගිහිල්ලා තෙරුන්ගේ මව්පියන්ට ඒ බව කිව්වා. කලබලයට පත් සිටුතුමා වහා පැමිණ දානය සඳහා ගෙතුලට වඩින ලෙසට ආරාධනා කළා. උන්වහන්සේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් කිව්වා. අපට ගෙවල් නැහැ මෙය ඔබේ ගෙදර, පිණ්ඩපාතයේ වැඩියත් දානය ලැබුණේ නැහැ. ලැබුණේ බැනුම් විතරයි. මේ වචන ඇහුව සිටුතුමාට ලොකු කනගාටුවක් ඇති වුණා. පහුවෙනිදා දනට වැඩමවන ලෙසට ආරාධනා කළා, උන්වහන්සේ එය පිළිගත්තා.

ඊළඟ දවසේ දනට වැඩියා. තාත්තා මහා ධන සම්පත් ගොඩක් පෙන්නලා කිව්වා. මේ සේරම නුඹටයි. සිවුර අතහැරලා ගෙදර එන්නැයි ඉල්ලා හිටියා. රට්ඨපාල තෙරුන් තමන්ගේ තාත්තාට හොඳ උත්තරයක් දුන්නා. ගෘහපතිය මේ සියල්ල රැගෙන ගොස් ජලයෙහි ගිල්වන්න. මොකද මේ සියල්ල සෝක පරිදේව දුක් දොම්නස් උපදවන්න හේතු වෙනවා. මිනිස්සු දුක් විඳින්නෙ, කනගාටු වෙන්නේ, හිත් වේදනාවට පත්වෙන්නේ මේවා නිසා. මේ වෙලාවෙ රට්ඨපාල තෙරුන් ගිහි කාලයේ විවාහ කරගෙන සිටි භාර්යාවරු එතෙන්ට පැමිණියා. ඒ අය තෙරුන් වහන්සේ තමන්ගේ වසඟයට ගැනීමට නොයෙක් උපා යෙදූවත් ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. පින්වත, පහන් දැල්ලට ලොල්වන පළගැටියන් මෙන් අශ්‍රැතවත් පෘථග්ජනයින් කාමයන්ට වසඟව තම ජීවිතය පවා නැතිකර ගන්නවා. ඒත් රහතුන් වහන්සේලා එහෙම නැහැ. එනිසයි අර පැරැණි බිරින්දෑවරුනට රට්ඨපාල හාමුදුරුවන් වසඟයට ගන්න බැරුව ගියේ.

උන්වහන්සේ ඒ අසල තිබුණු කෝරව්‍ය රජුට අයත් උයනෙහි වැඩ හිටියා. රජුට මේ පුවත ආරංචි වුණා. උයනට පැමිණි රජු රට්ඨපාල තෙරුන්ට මෙහෙම කිව්වා. හාමුදුරුවනේ, කෙනෙක් සසුන් ගත වෙන්නේ කරුණු හතරකින් පිරිහුනාමයි. වයසේ අගට යාම එනම් මහලු බවට පත්වීම පළමුවැන්නයි. ඒ කාලෙදි මොකුත් කර තියා ගන්ට බැරි නිසා මහණවෙනවා. දෙවැන්න නිතර නිතර රෝගාබාධවලින් පීඩාවට පත්වීමයි. ධනයෙන් පිරිහීම තෙවැන්නයි. නැදෑයන්ගෙන් පිරිහීම හතර වැන්නයි. ඔබ වහන්සේ ඒ කිසිවකින් පිරිහිලා නැහැ. මහා ධනයක් තියෙනවා. භද්‍රයෞවන වයසෙ පසුවෙන්නේ. කිසිම ලෙඩක් දුකක් නැහැ. ඒ වගේ ම ලොකු නැදෑ පිරිසකුත් ඉන්නවා. මොනවායින් ද අඩු? කුමක් බලාපොරොත්තුවෙන් පැවිදි වූයේ දැයි රජතුමා විමසුවා. උන්වහන්සේ වදාරනවා මම බුදු හාමුදුරුවන්ගෙන් බණ ඇහුවා. බුදු බණෙන් කියන්නේ ලෝක සත්‍යය. අපේ ජීවිතය අස්ථිරයි නොමැරී ඉන්න හිතුවට එහෙම ඉන්න බැහැ. දවසින් දවස අපි වයසට යනවා. මරණය කරා ළඟා වෙනවා. මේක සත්‍යයක්, අනෙක් කාරණය මරණාසන්න අවස්ථාවට පත් වුණාහම ඕනෑම කෙනෙක් අසරණයි. මොන තරම් පිරිස වටවෙලා හිටියත් , ඒ අයට කළ හැකි දෙයක් නැහැ. ධන සම්පත් මොන තරම් තිබුණත් , ඉන් පලක් නැහැ. තමුන් තනිවෙලා මේ අසරණ බවෙන් ගැලවෙන්න පුළුවන් කමකුත් නැහැ. මේක සත්‍යයක්. ඒ වගේ ම මරණයට පත්වෙන විට තම තමන්ගේ යැයි කියා ආරක්ෂා කරගත් සියල්ල අතහැර දමන්න වෙනවා. මිල මුදල් දේපොළ නිල තල පදවි නැදෑයින් මේ සියල්ල ම හැර දමන්න වෙනවා. ඒ වගේ ම තණ්හාවට වසඟ වෙලා, තණ්හාව දාසයෙකු කොට සලකා ජීවත් වෙන නිසා ජීවිතයේ කිසිම දිනෙක තෘප්තිමත් බවක් ඇති කරගෙන සතුටක් ලබන්න බැහැ. හැමදාම කනගාටුවෙන්, දුකෙන්, තැවිල්ලෙන් තමයි ජීවත් වෙන්නේ? මේ ලෝක සත්‍යය තේරුම්ගත් නිසා තමන් පැවිදිව බ්‍රහ්ම චරිය ජීවිතයට පිවිසි බව කෝරව්‍ය රජුට පැහැදිලි කළා. දෙදෙනා අතර කතා බහ දිගින් දිගට පැවැත්වුණා. අවසානෙදි රජතුමා උන්වහන්සේගේ තීරණය ප්‍රශංසාවට ලක් කළා. රජු මෙන් ම අනෙකුත් සත්වයෝ ද දුරු නොකළ තෘෂ්ණාව ඇතිව, බලාපොරොත්තු ඉටු කරගත නොහැකිව අතෘප්තියෙන් මරණයට පත්වෙති. අනුවණකම නිසා ම නැවත නැවත උපත ලබා බොහෝ දුක් විඳිති. ඒනිසා තෘෂ්ණාව ක්ෂය කොට නිවන් මග පිළිගන්නැයි උන්වහන්සේ රජතුමාගෙන් ඉල්ලා හිටියා. මේ ධර්ම දේශනාව කියවන ඔබත් ලෝකයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගෙන, සසරට බැඳ තබන තෘෂ්ණා රැහැන සිඳ දැමීමට නිති වෙර වඩන්න.

සම්මා සම්බුදු සරණයි