Print this Article


බුදුරජාණන් වහන්සේ වදාළ දාන කතා

බුදුරජාණන් වහන්සේ වදාළ දාන කතා

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිනක් ආනන්ද තෙරුන්ට මෙසේ වදාළ සේක.පින්වත් ආනන්ද මහත් ආනිසංස ඇති සංඝගත දක්ෂිණාවෝ (සාංඝික දාන) සතකි. ඒ කවරේ ද?

1.බුද්ධ ප්‍රමුඛ උභතො ( භික්ෂු / භික්ෂුණී) සංඝයාට දන්දීම

2.තථාගතයන් වහන්සේ පිරිනිවි කල උභතො සංඝයා කෙරෙහි දන්දීම, (අද මේ සඳහා සර්වඥ ධාතු තැන්පත් කරඬුවක් ගෙදරට ගෞරවයෙන් වඩම්මවා ගෙනවිත් දානයේ අග්‍ර කොටස (බුද්ධ පූජාව වශයෙන් පූජා අනතුරුව ඉතිරි කොටස සඟ සතු කොට වළඳවාලීම කරවති)

3.භික්ෂු සංඝයාට දන් පිළිගැන්වීම

4 .භික්ෂුණී සංඝයාට දන්දීම ( ථෙරවාදී) බුදුදහම ඇති කිසිම රටක ( ලංකාව, බුරුමය, තායිලන්තය වැනි රටවල අද ථේරවාදී භික්ෂුණී සංඝයා නැත) බ්‍රහ්මචාරිව වසන දස සිල් මාතාවන් මේ අඩුව නියෝජනය කෙරේ.

5.මට මෙ පමණ භික්ෂු සංඝයා ද භික්ෂුණි සංඝයා ද දෙනු මැනවැ යි ප්‍රමාණය දක්වා ආරාධනා කොට ඒ දෙ පිරිසට දෙන දානය පස්වෙනි සංඝගත. දක්ෂිණාව යි.

6.මට මෙ පමණ භික්ෂු සංඝයා දෙනු මැනැයි සංඛ්‍යාව දක්වා ආරාධනා කොට දන්දීම

7.මට මෙ පමණ භික්ෂුණී සංඝයා දෙනු මැනැවයි සංඛ්‍යාව දක්වා ආරාධනා කොට දන්දීම යන මේ ඒ සත යි.

තව ද මෙම සූත්‍රයේ දී භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නේ “ආනන්දය,අනාගත කාලයෙහි නාම මාත්‍ර ශ්‍රමණ වූ, දුශ්ශීල වූ, පාපකර්ම ඇති. කාෂාවකණ්ඨක කෙනෙක් මේ සාසනයේ වෙයි. ( කහ රෙදි පටියක් බෙල්ලේ හෝ අතේ බැඳ තමා භික්ෂුවක් බව සමාජයට හඟවන තැනැත්තා ) (ක්‍රි.ව. 1505 සිට 1948 දක්වා අවුරුදු 443 ක් අපේ රට යටත් කරගෙන සිටි පෘතුගීසි, ලන්දේසි හා ඉංගී‍්‍රසි යන විදේශිකයින් අතර විශේෂයෙන් ඉංගී‍්‍රසින් විසින් බුද්ධාගම ඇදහීමට පවා තහංචි පැනවූහ. එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර යුගය වන විට උපසම්පදා භික්ෂූන් වහන්සේලා හතර නමක් මුළු රටෙන් ම සොයා ගැනීමට නො හැකි විය. මෙකල කාසාවකණ්ඨකයින් අපේ රටේ ද සිටි බවට මෑත කාලීන සාසන වංශ කතාවල සටහන්ව ඇත)

ඒ දුශ්ශීලයන් කෙරෙහි වුවත් සංඝයාට උදෙසා දන් දෙන්නේ අනාගතයේ වෙති. ආනන්ද, මම එකල්හිත් (එම) සංඝගත දක්ෂිණාව ගණනකින් කිව නො හැකි (අසංඛෙය්‍ය) ප්‍රමාණයක් නැති (අප්‍රමෙය) ආනිසංස ඇති සංඝික දානයක් බව කියමි. ආනන්ද, මම කවර අයුරකින් වුව ද සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය උතුම් යයි (මහත් ඵලය යි) නො කියමි. ඒ අනුව එදා මහ ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට දෙන්නට උත්සාහ කළේ පෞද්ගලික දානයකි. තුන් ලොවට අග්‍ර ඍද්ධි බල ඇති බුදුන්වහන්සේ බව දැන – ඤාතිත්වය තීරණය කොට , පුළුන් රොදේ පටන් නූල් ගොතා නිමා කල වස්ත්‍රය දක්වා අසවලා වෙනුවෙන්, අසවලා උදෙසා අසවලාට පූජා කරමි’යි තීන්දු කරගෙන අවසානයේ” ඔබවහන්සේ වෙනුවෙන් ම” යනුවෙන් වචනයෙන් පවා කියමින් දැරූ සියලු උත්සාහයන් මෙහි දී පෞද්ගලික බව පසුව කළ සාංඝික දාන විස්තරයෙන් පැහැදිලි වේ.

එහි දී මනුෂ්‍යය වර්ගයාට ම අනුකම්පා ඇති, රටක් ජාතියක් ආගමක් විශේෂ කොට නො සලකමින් සමස්ත ලෝකයට හා විශ්වයට ම මහා කරුණා ඇති අප තථාගතයන් වහන්සේ ගෞතමියට තෙ වරක් ම එසේ අනුශාසනා කළේ එතෙක් ශ්‍රමය වැය කොට සකස් කළ දාන වස්තුවට අසංඛෙය්‍ය (ගණනින් දැක්විය නො හැකි) ප්‍රමාණයෙන් හා මෙ පමණ යයි උපමාවකුදු නො දැක් විය හැකි අපමණ පින් කන්දරාවක් අත්කර දීමට නො වේ ද? එහෙයින් , ත්‍රිපිටකයේ බුද්ධවචන මෙ තරම් පැහැදිලිව, මනාව දේශනා කර තිබිය දී අපිදු ගෙදරට වඩම්මවා හෝ පන්සලේ දී හෝ දෙන සාංඝික දානයකට දායකත්වයක් ලබාදීමේ දී කෙ තරම් තමාගේ සිත වරදවා මෙහෙයවනවා ද යන්න සිතීමට මෙය හොඳ තැනකි.

පන්සලේ ලොකු හාමුදුරුවෝ දානයට නො වැඩියොත්, අපිව හොඳින් ම දන්නා හාමුදුරුවෝ ආවේ නැතිනම්, අපි පෞද්ගලිකව දන්නා නො මනා හැසිරීම් ඇති ස්වාමීන් වහන්සේ නමක් දානයට සිටියොත්, සාමණේර පුංචි හාමුදුරුවන් සමූහයක් දානයට වැඩියොත් මේ බත මේ ව්‍යංජනය මේ පිරිකර අසවල් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ම කියා වෙන්කොට සිතා තම සිත සකස් කරගතහොත් මහා මේරු පර්වතය තරම් උසට රැස්කර ගත හැකි සාංඝික දාන පින් කන්දරාව පෞද්ගලික දානයක් කරගෙන ‘සමනල කන්ද” තරම් කර ගන්නවා නොවේ ද? දැනුදු දාන පොලේ වැඩ සිටින උතුම් මහා සඟරුවන දානයක් සාංඝික කිරිමේදී “ඉමං භික්ඛං සපරික්ඛාරං භික්ෂු සංගස්ස දේම”යනුවෙන් තුන් වරක් කියා අනතුරුව පින් දීමේ දී, මේ දානයේ අග්‍ර කොටස ශාන්ති නායක ලොවුතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පළමුවෙන් පූජා කොට, සාරිපුත්ත, මොග්ගල්ලාන. පරපුරෙන් පැවැත එන ඒ අතීතයෙහි වැඩ හිටි උතුමන් ද, වර්තමානයෙහි මෙහි වැඩ සිටින මහා සංඝයා වහන්සේ හා අනාගතයෙහි මේ නිවන් ප්‍රතිපදාවෙහි හැසිරෙන යම් භික්ෂුවක් වෙත් ද ඒ සියල්ල වෙනුවෙන් පූජා කරන සංඝගත දක්ෂිණාවක් සේ සලකා පින් රැස් කරගන්න යැයි අපට අනුශාසනා කරන්නේ ම ය.