Print this Article


තිසරණයෙහි පිහිටා සැනසීම ලබන්න

තිසරණයෙහි පිහිටා සැනසීම ලබන්න

මෙම ලිපියේ තවත් කොටසක් උඳුවප් අවඅටවක පෝදා (දෙසැම්බර් 29) පත්‍රයේ පළවිය.

සක් පිඹින හඬ හොඳින් හඳුනන පුරුෂයෙක් ඉන්නවා. ඔහු ගමනක් යාමට දීර්ඝ මාර්ගයකට පිවිසෙනවා. එවිට ඔහුට සක් පිඹින හඬක් ඇසෙනවා. ඒක සංඛ නාදයක් ම තමයි කියලා ඔහු ස්ථිරව ම හැඳින ගන්නවා.

අන්න ඒ වගේ මේ නවාංග ශාස්තෘශාසනය හොඳින් අහල ,ධාරණය කරගෙන, වචනයෙන් පුරුදු කරල , සිතින් විමසලා, නුවණින් අවබෝධ කරගෙන තියෙනවා නම් ඔහු සිහි මුලාව මරණයට පත් වුණත් දෙව්ලොවක උපදිනවා. එහි සැපසේ වාසය කරන ඔහුට ධර්මය තේරෙන්නේ නැහැ. එහෙත් දිව්‍ය පුත්‍රයෙක් ධර්මය දේශනා කරනවා. එවිට ඔහුට හිතෙනවා මම පෙර ආත්මභාවයකදී බුදු සසුනක බ්‍රහ්මචාරීව සිටියා. මේ ඒ ධර්මය නේද ඇසෙන්නේ කියල ඔහුගේ සිහිය සෙමින් උපදිනවා. සිහිය ඉපදුන විගස ඔහු මාර්ගඵල අවබෝධය ලබා ගන්නවා.

ඊළඟට හතරවැනි අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රාවකයෙක් නවාංග ශාස්තෘ ශාසනය හදාරනවා. එනම් ධර්මය හොඳින් ශ්‍රවණය කරනවා. ධාරණය කර ගන්නවා. වචනයෙන් පුරුදු කරනවා. මනසින් මෙනෙහි කරනවා.නුවණින් අවබෝධ කරගන්නවා. නමුත් ඔහු සිහිමුලාව මිය යනවා. දෙව්ලොවක උපත ලබනවා. එහිදී ඒ දෙවියන්ට ඍද්ධිමත් වූ චිත්ත වශීප්‍රාප්ත භික්ෂුවක් ධර්මය දේශනා කරන්නේ නැහැ. එහෙම නැත්නම් දිව්‍ය පුත්‍රයෙක් ධර්මය දේශනා කරන්නේ නැහැ. නමුත් ඕපපාතිකව ඉපදුණු දෙවි කෙනෙක් ඕපපාතිකව ඉපදුණු මේ දෙවියන් වෙතට පැමිණ අතීත කරුණු සිහිපත් කරනවා.

අප පෙර මිනිස් ලොව සිටිද්දී බුද්ධ ශාසනයක ධර්මයේ හැසිරුණා නේද?” කියලා අහනවා. ඔව් මට සිහිවෙනවා.” කියලා අනෙක් දෙවියන් පවසනවා. මේ මොහොතේ ඔහුගේ සිහිය ටිකෙන් ටික උපදිනවා. සිහිය ඉපදුණු විගස ඔහු විශේෂ අවබෝධයක් කරා යනවා. ඒ සිදුවීම මෙන්න මේ වගේ දෙයක් කියල බුදුරජාණන් වහන්සේ උදාහරණයකින් දක්වනවා.

ළමා වියේ පටන් මිතුදමින් සිටි යහළුවෝ දෙදෙනෙක් කාලයකට පසු මුණ ගැසනෙවා. එවිට එක් යහළුවෙක් අනෙකාගෙන් විමසනවා” මතකද? අපි ළදරු පාසලේ සෙල්ලම් කරපු හැටි අපි පාසල් ගිය හැටි” කියලා අහනවා. එහෙම සිහිපත් කරනකොට අනෙක් යහළුවා කියනවා ඇයි මට මතක නැත්තේ? කියනවා.

අන්න ඒ වගේ තමයි යම්කිසි ශ්‍රාවකයෙක් සුත්ත, ගෙයිය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබභූතධම්ම, වේදල්ල, යන නවාංග ශාස්තෘ ශාසනය ශ්‍රවණය කරල, දරාගෙන, වචනයෙන් පුරුදු කරල සිතින් විමසල , නුවණින් අවබෝධ කරගෙන තියෙනවානම් ඔහු සිහිමුලාව මරණයට පත්වුණත් යම්කිසි දෙව්ලොවක උපදිනවා. එහි සැපසේ වාසය කරන ඔහුට දහම්පද වැටහෙන්නේ නැහැ. නමුත් ඍද්ධිමත් චිත්ත වශී ප්‍රාප්ත භික්ෂුවක් ඔහුට ධර්ම දේශනා කරන්නේ නැහැ. දිව්‍ය පුත්‍රයෙක් දහම් දෙසන්නෙත් නැහැ. එහෙත් ඕපපාතිකව උපන් දෙවිකෙනෙක් ඕපපාතිකව ඉපදුණු මේ දෙවියන්ට අපි පෙර ජීවිතයේ දි මිනිස් ලොව බඹසර හැසිරුණා.” කියල සිහිපත් කරනවා. එවිට “ඔව් සිහිකරනවා කියල කියනවා. එවිට ඔහුගේ සිහිය ක්‍රමයෙන් උපදිනවා. සිහිය ඉපදුණු විගස ඔහු විශේෂ අවබෝධයක් කරා යනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කනින් අහල ධාරණය කරගෙන, වචනයෙන් පුරුදු කරල, මනසින් මෙනෙහි කරලා, නුවණින් අවබෝධ කරගෙන තියෙනවානම් මේ හතරවෙනි ආනිසංසය කැමැති වෙන්න ඕනේ කියලා.

මෙන්න මේ ආකාරයෙන් සෝතානුධත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුතා ධතා, වචසා, පරිචිතා මනසානු පෙක්ඛිතා , දිට්ඨියා, සුප්පටිවිද්ධානං ආදි වශයෙන් පාලියෙන් විග්‍රහ වෙන ආකාරයට අසා, ධාරණය කරගෙන වචනයෙන් පුරුදු කර මනසින් මෙනෙහිකර නුවණින් අවබෝධ කර ගත්ත නම් මේ නවාංග ශාස්තෘ ශාසනයේ ඔහුට මේ අවස්ථා හතරෙන් එකකට අනිවාර්යයෙන් ම පත්වීමට හැකියාව ලැබෙනවා.

මේ දේශනාව ඕනෑම කෙනෙකුට කියවා බලන්නට පුළුවන්. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මහාවර්ගයේ පළමුවෙනි සූත්‍රය සෝතානුධත සූත්‍රය යි. එය කියවා හොඳින් අවබෝධ කරගෙන තමන්ගේ මාවත සකස්කර ගැනීමට උත්සාහවන්ත වෙන්න. ඔබ සියලු දෙනාට මේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ උතුම් සූත්‍ර දේශනාව උපකාරයක් වේවා.

සෑම දෙනාටම තෙරුවන් සරණයි.!