Print this Article


ධම්මානුපස්සනාව - සප්ත බොජ්ඣංග විදර්ශනාව: වසවර්ති මාරයාටවත්

ධම්මානුපස්සනාව - සප්ත බොජ්ඣංග විදර්ශනාව :

වසවර්ති මාරයාටවත් වෙනස් කළ නො හැකි දේ...

බුදුරජාණන් වහන්සේ බොජ්ඣංග පිළිබඳ ව මනා දැනීමක් ඇති කර ගැනීම සඳහා සතිපට්ඨාන සූත්‍රයේ දී සප්ත බොජ්ඣංග දේශනාව වදාළ සේක.

තම සිතෙහි සති සම්බොජ්ඣංග ආදී බොජ්ඣංග ධර්මය උපන් කල්හි නැතිවන ආකාරය බලන්නැ’යි වදාළහ. ( ඇතිවීම සහ නැතිවීම) බොජ්ඣංග යනු බෝධි අංග යි. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අවශ්‍ය කරන අංග වන අතර මේ ධර්ම හත දියුණු කළ යුතු යි. ඒ සඳහා බොජ්ඣංග ගැන හොඳ දැනීමක් ඇති කරගත යුතු යි. සති සම්බොජ්ඣංගය, ධම්ම විචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපේක්ඛා සම්බොජ්ඣංගය ආදී හතක් තිබෙනවා. සති යනු සිහිය යි. ධර්මය අධර්මය වෙන්කර දැන ගැනීම සඳහා අවශ්‍ය කරන්නේ නුවණ යි. එය ධම්මවිචය නම් වෙයි. ඒ සෑම දෙයක් ම ගෙන හැර දක්වන්නට නොපසුබස්නා වීර්යය නොහොත් උත්සාහය, වීිර්යය යනුවෙන් සඳහන් වන අතර ඒ හේතුවෙන් සිතට ලැබෙන්නාවූ චිත්ත සන්තෝෂය ප්‍රීතිය යි. එයින් අපේ චිත්ත සන්ථානයේ තිබෙන දරදඬු ගතිය ආදිය දුරු වෙයි. ගිලන් බව නැති වෙයි. එසේ සැහැල්ලු බවට පත් වීම පස්සද්ධි නම් වෙයි. සිත, කය දෙකෙහි සැහැල්ලු බව හේතු කරගෙන කුසල් අරමුණක සිත් එකඟව පැවතීම සමාධිය යි. ඒ සමාධිය දියුණු වූ විට වේදනාවන්ගේ නිසරු බව වැටහෙන සැප , දුක් දෙකෙහි ම කම්පා වන්නේ නැහැ. අකම්පිත සිතක් සාදාගෙන, මැදහත් ගතියෙන් වාසය කිරීම උපේක්ෂාව යි. මේ බොජ්ඣංග හත සෑම සිතක ම පහළ වෙනවා.

තම සිතෙහි බොජ්ඣංගයක් ඇති වුණාම, තම සිතෙහි බොජ්ඣංගයක් තිබෙන බව දැනගත යුතු යි. එය සිතෙහි නැති විට තම සිතෙහි බොජ්ඣංග නැති බව දැනගත යුතු යි. තම සිතෙහි නූපන් බොජ්ඣංගය උපන් විට ඒ බොජ්ඣංගය උපන් බව දැනගත යුතු යි. තමන්ගේ සිතෙහි බොජ්ඣංගය වැඩි දියුණු කරගන්නේ කෙසේදැ’යි දැනගත යුතු යි. එලෙස සිහි කල්පනාවෙන් කටයුතු කිරීමෙන් බෝධි අංගයන් හොඳින් වැඩෙයි.

තම තමන්ගේ සිත්වල බෝධි අංගයක් තිබෙනවා නම්, තිබෙන බව ද නැති කල්හි එය නො මැති බව ද දැනගත යුතු යි. නූපන් බොජ්ඣංගය උපදවා ගැනීමත්, උපන් බොජ්ඣංගය දියුණු කර ගැනීමත් කළ යුතු යි. එය හොඳින් සලකා බැලිය යුතු යි. මෙලෙස නූපන් සති ආදී බොජ්ඣංග උපදවා ගන්නේ කෙසේදැ’යි වෙන වෙනම සලකා බැලිය යුතු යි. ඒ එකක් පාසා වෙනස් ව යන බවත් මෙනෙහි කරමින් යා යුතු යි. එවිට බොජ්ඣංග විදර්ශනාවේ දී ඇතිවීම, නැතිවීම, අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් හොඳින් මෙනෙහි කළ යුතු යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රය වටහා ගෙන ඇතිවීම නැතිවීම දෙක හොඳින් බලා මෙනෙහි කිරීම වටියි.

සති සම්බොජ්ඣංග ආදී බොජ්ඣංග ධර්ම තමන් සිහි කල්පනාවෙන් කටයුතු කිරීමේ දී සති සම්බොජ්ඣංග ධර්ම හොඳින් දියුණු කර ගන්නට පුළුවන්කම තිබෙනවා. එවිට බෝධි අංග ධර්මයක් සිතෙහි පහළ වුණ විට, තමන්ගේ සියලුම කුසල ධර්ම සාර්ථකව ගෙන යන්න පුළුවන්කම තිබෙනවා. බොජ්ඣංග ධර්ම නැතිවූ විට කරන , කියන, සියලු ම දේ සාර්ථක වෙන්නේ නැහැ. කුසල පැත්තට වැටෙන්නේ නැහැ. අකුසල් පැත්තට ම යොමු වෙයි. යන , එන ආදී සෑම ඉරියව් පැවැත්මක දී ම තමන්ගේ සියලු දේ පරිශීලනය, සිහි කල්පනාවෙන් කටයුතු කිරීම, තම සිහිය දියුණු කර ගැනීමේ ක්‍රම වෙයි. එනම්, සිහියෙහි ම ඇලී ගැලී කටයුතු කළ යුතු යි.

නුවණින් කටයුතු කිරීම ධම්ම විචය සම්බොජ්ඣංගය යි. ස්කන්ධ ධාතු ආයතන , ඉන්ද්‍රිය ආදී ගැඹුරු ධර්ම පිළිබඳ ව හොඳට දැන ගෙන සිව් පස පරිහරණය හොඳින් නුවණින් කළ යුතු යි. සද්ධා - ප්‍රඥා , සමාධි – වීීර්යය එකට එකක් වැඩි නොවන සේ සමව තබා ගැනීමට නුවණ අවශ්‍ය වෙයි. අනුවණ පුද්ගලයන් ආශ්‍රයෙන් වැළකිය යුතු යි. ඥානවන්ත පුද්ගලයන් ආශ්‍රය කළ යුතු යි. ගැඹුරු කතා බස්වල යෙදිය යුතු යි. නුවණ දියුණු කර ගැනීමේ අදහසින් ම කටයුතු කළ යුතු යි. එවිට තමන්ට නුවණ දියුණු කරගන්න පුළුවන් වෙයි. එසේ බොජ්ඣංග ධර්ම හත පිළිබඳ ව හොඳ වැටහීමක් ඇති කරගෙන , බොජ්ඣංග දියුණු කර ගැනීම වැදගත් ම කාරණය වෙයි. බොජ්ඣංග තම සිතෙහි පහළ වූ විට, ඒවා දියුණු තියුණු කරගැනීම බුදු දහමෙන් මනාකොට හෙළි දරව් කරයි. එසේනම්, සප්ත බොජ්ඣංග ධර්ම තම සිතෙහි පහළ වූ විට පහළ වූ දේ පිළිබඳව නුවණ යොදවා ඒවා ඇතිවූ, නැති වූ ආකාරය , නූපන් දේ උපන් ආකාරය, හොඳින් බැලිය යුතු යි. එතැන දී අනිත්‍ය , දුක්ඛ , අනාත්ම ලක්ෂණ සමන්නාගත වෙනවා. මෙලෙස අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රය ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා.

බුදුන් වහන්සේ දේශනා කොට වදාළ සේ බොජ්ඣංග ධර්ම සෑම සිතක ම පහළ වන අතර, මේවා දැක බලා ගැනීමට නම්, නුවණ පාවිච්චි කළ යුතු යි. සෝවාන් ආදී මාර්ග ඵල ලබන්නට රහත් බව, පසේ බුදු බව, ලොවුතුරා බුදුබවට අත්‍යවශ්‍ය කරන ධර්ම හත බොජ්ඣංග ධර්ම වෙයි. මේ පිළිබඳව හොඳ වැටහීමක් ලබා ගන්නේ නම්, මොනම දෙයකින්වත් , කරදර, පීඩා, බාධාවක් නැතිව නිවන් මඟ ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහා මාර්ගාංග අටම වැඩෙන සේ බොජ්ඣංග ධර්ම දියුණු කළ යුතු යි. එවිට ප්‍රඥා පාරමිතාව හොඳට වැඩෙන අතර එය සම්පූර්ණ වෙනවා. සෑම දෙයකටම ප්‍රධාන ප්‍රඥාව යි. ඒ ප්‍රඥාවෙහි නානා ක්‍රම තිබෙන අතර එලෙස විහිදී යන ප්‍රඥාව එකම තැනකට ගත් විට ‘සම්මා දිට්ඨි’ කොටසට වැටෙයි. සම්මා දිට්ඨි නම් වූ නිවැරැදි ප්‍රඥාව යි. තමාගේ නුවණ යොදවා ම සිහි නුවණින් කල්පනා කර, ඒවා දියුණු කළොත් වරදින්නේ නැහැ. එසේ යන නිවන් මඟ විශුද්ධි මාර්ගය යි.

කවුුරුත් මනා වැටහීමකින් බොජ්ඣංග ධර්ම හත ම එකක් පාසා ම ඇතිවන, නැතිවන ආකාරය හොඳින් බලා නුවණින් හොඳින් පරික්ෂා කර ,භාවනා ක්‍රමය හොඳට දියුණු කරගත යුතු යි.

සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ‘බොජ්ඣංග පබ්භ’ යනුවෙන් මෙය හඳුන්ව යි. ‘බොජ්ඣංග පරව‘ නැතිනම් ‘බොජ්ඣංග විදර්ශනා’ කොටස වෙයි. එසේනම්, තම සිත බොජ්ඣංග ධර්මයන් කෙරෙහි පිහිටුවාගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සලකා, ඉදිරියට ගෙන යාම වැදගත් ම කොටස වෙයි. බුදු දහමේ පෙන්වන ආකාරයට මොනම දෙයකවත්, රඳා පැවතීමක් නැහැ. විනාශව යනවා. හැබැයි, මාර්ග ඵල අවස්ථාව වෙනස් වන්නේ නැහැ. එය කිසිවෙකුටත්, කිසිවිටකත් සොලවන්නට බැරි අකම්පිත දෙයක්. ධ්‍යාන, අභිඤ්ඤා ඕනෑම මොහොතක වෙනස් කළ ද මාර්ග ඵල වසවර්ති මාරයාටවත් වෙනස් කරන්නට බැහැ.

එක්තරා බ්‍රාහ්මණයෙක් භාවනා කර , සෝවාන් මාර්ග ඵල අවස්ථාව ලබා ගත්තා. එතැනට පැමිණි වසවර්ති මාරයා කියනවා, බ්‍රාහ්මණ තුමනි, මා දැන් ටික වේලාවකට පෙර, එකම ධර්ම දේශනාවක් වදාළා. එහි සුළු අඩුපාඩුකම් තිබෙනවා. මා අනිත්‍ය, දුක්ඛ , අනාත්ම පද තුනක් වදාළා. එය ඔබ නිත්‍ය , සැප , ආත්ම වශයෙන් නිවැරැදි කළ යුතු යි. බුදුන් වහන්සේ සේ ම ඇඳ පොරවාගෙන මෙලෙස පවසන්නේ වසවර්ති මාරයා යි. නමුත් බ්‍රාහ්මණයාට වැරැදුණේ නැහැ. එතුමා මෙලෙස සිතුවා. බුදුරජාණන් වහන්සේට කෙසේවත් වරදින්න බැහැ. මේ නම් මාරයා විය යුතු යි. එතුමා මෙලෙස විමසුවා. ඔබ වසවර්ති මාරයා නේද? ‘ඔව්’ යනුවෙන් මාරයා පැවැසුවා. මොකද, නුඹ මෙහි පැමිණියේ? ඔබතුමාගේ සිත වෙනස් කරන්නයි. ඔබ වැනි කෙනෙක් නෙවෙයි, දාහක් පැමිණියත් මගේ සිත වෙනස් කරන්නට බැහැ’යි එතුමා පිළි වදන් දුන්නා.

එසේනම්, සෝවාන් මාර්ගඤාණය ලැබුණාම කුමන දේ පැවසුවත්, ඒ අවස්ථාව සිතෙන් බැහැර කරන්නට පුළුවන්කමක් නැහැ. සෝවාන් මාර්ගඥානය වෙනස් වන්නේ ම නැහැ. එය ස්ථිර වන අතර අපායකට යන්නේ ම නැහැ. එවැනි උතුමෝ බණ භාවනා කටයුතු සම්පූර්ණ කර, ආත්ම භාව හතක් ඇතුළත නිවනට පත් වෙනවා. එසේ නැත්නම්, ආත්ම භාව දෙක තුනකදිත් නිවන් දැකිය හැකි යි. එසේනම්, සංයෝජනයන්ගේ ප්‍රහාණයට හේතුවන, මාර්ග ඵල අවස්ථාවට පත්වන්න පුළුවන්කම ලැබුණේ, බොජ්ඣංග ධර්මයන් හොඳින් දියුණු කළ නිස යි. ඒ නිසා බොජ්ඣංග ධර්ම උපදින ආකාරය, පවතින ආකාරය, නැතිවන ආකාරය , නූපන් දේ උපදින ආකාරය, උපන් දේ පවතින , නැතිවන ආකාරය හොඳට බැලිය යුතු යි. එවිට තමන්ට සිත දියුණු තියුණු කරගෙන සිතට වසඟව බණ, භාවනා කටයුතු හොඳට දියුණු කර ගත හැකි යි.

එසේනම්, තම චිත්ත සමාධිය දියුණුවෙන්, ධ්‍යාන, මාර්ග ඵල අවස්ථාව දක්වා ම ගෙන යන්නට සමත් නිවැරැදි භාවනා ක්‍රමයක් බොජ්ඣංග විදර්ශනාවෙන් බුදුන් වහන්සේ වදාළ සේක. ඒවා හොඳින් අවබෝධයෙන් දැන දියුණුවෙන්, සතිපට්ඨාන සූත්‍රයෙන් උගන්වන කරුණු තවත් බොහෝ පොත් පත් වලින් කියවා තේරුම් බේරුම් කරගෙන නිවන් මඟ පැහැදිලිව තේරුම් බේරුම් කරගෙන ඉදිරියට යා යුතු යි. ඒ මාවතේ හමුවන හැල හැප්පිලි , කරදර , කම්කටොළු, බාධක ඉවතලා සිහි නුවණින් ම නිවන් මඟ යා යුතු යි. කරදර , කම්කටොළු යැ’යි අධෛර්යයෙන් නැවත හැරුණොත් තමන්ට වැරැදුණා වෙනවා. තමන් පරදිනවා. ඒ තත්ත්වයට යන්නට හොඳ නැහැ.

සම්මා දිට්ඨි ආදී මාර්ගාංග හැකිතාක් දියුණු තියුණු කරගෙන පංච නීවරණයන් සංසිඳුවාගෙන මාර්ග ඵල අවස්ථාවට සමීප විය යුතු යි. එයට යි බොජ්ඣංග විදර්ශනාව විශේෂයෙන් ප්‍රයෝජනවත් වන්නේ. මේ ගැනත් හොඳින් දැන කියාගෙන බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් සරණ ලබා, ඉතිපිසෝ, ස්වාක්ඛාත, සුපටිපන්න ගාථා තුන සජ්ඣායනා කර, තුනුරුවන්ට නමස්කාර කර, බොජ්ඣංග භාවනාව පටන්ගෙන, සිතෙහි පහළවන බොජ්ඣංග එකක් පාසා ම ඇතිවීම, නැතිවීම හොඳින් බලා තමන්ගේ භාවනා දැනුම දියුණු කළ යුතු යි. එවිට තම සිතෙහි සති, සමාධි, ඥාන දියුණුවෙන් බුද්ධාදී උතුමන් නිවී සැනසුණු ආර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන ශාන්ති ලක්ෂණ අමා මහා නිවන් සුව අවබෝධ කරගන්නට ලැබේවා !