Print this Article


බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමේ ජාතික මහෝත්සවය 5 වනදා

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමේ ජාතික මහෝත්සවය 5 වනදා

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අන්තර්ගත උතුම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමේ ජාතික මහෝත්සවය තෛ‍්‍රනිකායික අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ජනවාරි 05 වනදා පෙරවරු 9 ට ඓතිහාසික මාතලේ අලුවිහාරයේ දී පැවැත්වේ.


බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමේ ජාතික මහෝත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් ඓතිහාසික මාතලේ අලුවිහාරයේ දී...


අර්ථදායි ක්‍රියා මාර්ගයක්

“තථාගතප්පවෙදිතො භික්ඛවේ ධම්මවිනයො විවටො විරොචති නො පටිච්ඡන්තො”

“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබළයි. වැසුණේ නො බබළයි”

වළගම්බා මහරජු සමයෙහි ලක්දිව පැවති බැමිණිටියා මහා සාගතය වැනි දුර්භාග්‍ය සම්පන්න බිහිසුණු ව්‍යසනයකට මුහුණ දී වුව ද සිරිලක වැඩ සිටි ධර්ම ශාස්ත්‍රයෙහි නිපුණ වූ මහා ප්‍රාඥ වූ මහතෙරුන් වහන්සේලා විසින් කට පාඩමින් පවත්වාගෙන ආ නිවැරැදි පාරිශූද්ධ බුද්ධ භාෂිතය ඇතුළත් ත්‍රිපිටක පාලිය හා අට්ඨකතා සංගායනා කොට ප්‍රථම වරට මාතලේ අලුලෙන දී ලේඛනගත කරන ලදී. එමඟින් පිරිසුදු ථෙරවාදී ත්‍රිපිටක බුද්ධ භාෂිතය සුරක්ෂිත වී ආරක්ෂා විය.

ශ්‍රී බුද්ධ වර්ෂ 2500 වැන්නේ එළඹි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මුල් කොට ත්‍රිපිටක පාලිය පරිවර්තනයක් වශයෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් ප්‍රකාශයට පත්කරන ලදී. එසේ තිබිය දී මෑත භාගයේ සිට අර්ථ විකෘති කරන ලද ත්‍රිපිටක පරිවර්තන රැසක් සමාජගත වෙමින් පවතී. එම පරිවර්තන මගින් විකෘති කරන ලද අර්ථ විරහිත ස්වමතයන් ද ප්‍රකාශයට පමුණුවන බව දක්නට ලැබේ. ධර්ම ශාස්ත්‍ර විරෝධී එම ක්‍රියාමාර්ගය පිරිසුදු ථෙරවාදී සසුනේ චිරපැවැත්ම හා සුරක්ෂිත භාවයට බලවත් හානියකි. එමඟින් අනාගතයෙහි ඇති විය හැකි ශාසනික පරිහානිය මඟහරවා ලීම සඳහා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට ප්‍රතිඥා දී ඇති රජයකට ඇත්තේ බලවත් යුතුකමකි.

ඒ සඳහා අර්ථදායි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු වස් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍යෙීත්සවයක් මාතලේ අලුවිහාරයේ දී පැවැත්වීමට සංවිධානය කිරීම අගය කොට සලකන අතර, එහි සියලු කටයුතු ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදයෙන් සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා යි ශාසනාලයෙන් ආශිංසනය කරම්හ.


අතිශයින් ශ්‍රේෂ්ඨ කාලෝචිත පියවරක්

“යො ඛො ආනන්ද මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සත්ථා” (දීඝනිකාය – මහාපරිනිබ්බාණසූත්‍රය)

පුරා පන්සාළිස් වසක් ලෝක සත්ත්වයා වෙත පතළ මහා කරුණාවෙන් දේශිත උතුම් වූ ශ්‍රී සද්ධර්මය තමන් වහන්සේගේ ඇවෑමෙන් ශාස්තෘන් වහන්සේ වන බව තථාගතයන් වහන්සේම පෙන්වා දී වදාළහ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය වසර දෙදහස් හයසීයක් පුරාවට පාරිශුද්ධ ලෙසින් පවතිනුයේ බුදුරජාණන් වහන්සේ ධරමාන අවධියේදී ම ධර්මයේ සුරක්ෂිත භාවය විෂයෙහි යෙදෙන ලද විධිමත් ක්‍රියාමාර්ග නිසාත්, සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රාවකයන් වහන්සේලා විසින් තම දිවි නොතකා ධර්ම සංරක්ෂණය විෂයෙහි නිසාත් බව ශාසනික ඉතිහාසයෙන් පසක් කොට ගත හැකි ය. කලින් කලට ශාසනයටත් ධර්මයටත් අත් වූ දුර්දසාපන්න අවස්ථාවන්හිදී ධර්මයේ අත්‍යන්ත පාරිශුද්ධිය සුරක්ෂා කිරීමෙහිලා ලාංකේය භික්ෂුවට හිමිවනුයේ ප්‍රමුඛ ස්ථානයකි. විනයධර ප්‍රවර උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරානුගත මහින්ද මහා රහතන්වහන්සේ විසින් අරිට්ඨ මහරහතන්වහන්සේ ප්‍රමුඛ ලාංකේය භික්ෂූන් වහන්සේලාට උරුම කොට දෙන ලද ශ්‍රී මුඛ භාෂිතය එවක් පටන් ප්‍රවේණිගත උරුමයක් සේ සලකා තම දිවි දෙවැනි කොට රක්ෂණය කිරීමට මහාවිහාරීය භික්ෂූන් වහන්සේලා අප්‍රමාණ වෙහෙසක් දැරූහ. රට තුළ ඇති වූ ව්‍යසනකාරී අවස්ථාවන්වලදී මෙන්ම දුර්මතධාරීන්ගෙන් ධර්මයට ඇතිවන විපත්තිකර තත්ත්වයන්හිදී ද නිසි පිළියම් යොදා උන්වහන්සේලා විසින් ධර්මය ආරක්ෂා කරන්නට යෙදුණි. වළගම්බා රාජ්‍ය අවධියේ දොළොස් වසරක් පුරා පැවැති ‘බැමිණිතියාසාය’ නම් දුර්භික්ෂ අවස්ථාවේ එවක වැඩ සිටි මහායතිවරයන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් හදාළ ධර්මය, කුසට නිසි අහරක් නොමැතිකමින් ධාරණය කර ගත නොහැකිව විදේශ රටවලට ගොස් එය අරක්ෂා කර ගැනීමටත් ඇතැම් භික්ෂූන් මෙහිම වෙසෙමින් වැල්ලේ ලියමින් එය දුක සේ වාචෝද්ග්‍රහණය කරමින් සංරක්ෂණය කරගන්නටත් ප්‍රයත්න දරන ලදී. එවන් දූර්දසාපන්න අවස්ථාවක ධර්මයට සිදුවන හානිකර තත්ත්වයන් පසක් කර ගත් එදවස වැඩසිටි මහාවිහාරවාසී ධර්මවිනයධර මහායතිවරයන් වහන්සේලා පන්සිය නමක් දොළොස් වසරක් පුරා පැවති දුර්භික්ෂය කෙළවර ධර්මය, භාණක පරම්පරානුගතව පවත්වාගෙන යෑමේ දී ඇතිවන පුද්ගල අවිනිශ්චිතතාවත් අභයගිරි විහාරවාසීන් ප්‍රමුඛ වෙනත් සම්ප්‍රදායන්ගෙන් ථෙරවාදී ත්‍රිපිටකය විෂයෙහිලා උපදවන අභියෝගත් හඳුනා ගෙන එයට නිසි පිළියමක් ලෙස මාතලේ අලු විහාරයට රැස්ව ශ්‍රී මුඛ බුද්ධභාෂිතය ගැබ් කොටගත් උතුම් වූ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළහ. එකී උත්තුංග කාර්යය නිසාවෙන් සිංහල ද්වීපය ථෙරවාදී බෞද්ධ ලෝකයේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ බවද ප්‍රකට කරුණකි.

කලින් කලට ධර්මය විෂයෙහි යම් යම් අභියෝග ජනිත වූ අවස්ථාවල තත්කාලීනව වැඩ සිටි යතිවරයන් වහන්සේලා සේ ම, රාජ්‍ය පාලක පක්ෂයත් ධර්මය නිසි අයුරින් ආරක්ෂා කරන්නට වෙර දැරූ බව පූර්වෝක්ත ය, අද්‍යතන යුගය වනවිට ද විශ්වීය වශයෙන් තාක්ෂණික දියුණුවත් සමඟ ධර්මයේ පාරිශුද්ධ භාවය සහ සංරක්ෂණය කෙරෙහි යම් යම් අභියෝග එල්ලවෙමින් පවතී. එවන් වකවානුවක අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේත් දැන උගත් ගිහි පැවිදි , හැම දෙනාගේත් ඉල්ලීම් පරිදි වියත් මහතෙරුන් වහන්සේලාගෙන් සුසැදී සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සංරක්ෂණය කොට ශ්‍රී ලංකා ජනරජයේ පූර්ණ අනුග්‍රහයෙන් එළිදක්වා ඇති ත්‍රිපිටකය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමන්ගේ බලතල ප්‍රකාරව සුවිශේෂි ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම, ධර්මය අනාගතයටත් සුවිශුද්ධව පවත්වාගෙන යෑමට ගත් අතිශයින් ශ්‍රේෂ්ඨ සහ කාලෝචිත පියවරක් බව සන්තුෂ්ටියෙන් සඳහන් කළ හැකි ය.

මාතලේ ආලෝක රජමහා විහාරයේ දී ම එම මැහැඟි කර්තව්‍යය සිදුකිරීම ද එදවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සේ ම, ඓතිහාසික සංසිද්ධියක් සේද සැලකිය හැකි අතරම ලෝකවාසී ගිහි පැවිදි හැමදෙනාගේ ම ප්‍රශංසාව හිමි විය යුතු එම උතුම් සද්ක්‍රියාව සිදුකළ අතිගරු ජනාධිපතිතුමාටත් ගරු බුද්ධශාසන අමාත්‍යතුමන් ඇතුළු ගිහි පැවිදි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපගේ ශුභාශිර්වාද පළ කරනු කැමැත්තෙම්හ.


ඓතිහාසික සිද්ධියක්

තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ අසූ සාරදහසක් ධර්මස්කන්දය එක්කොට ත්‍රිපිටකය සකස් වී ඇත. එදා කටපාඩමෙන් ගෙන ආ මේ ධර්මය වළගම්බා රාජ සමයේ දී මාතලේ අලුවිහාරයේ දී ග්‍රන්ථාරූඪ කරන ලදහ. ඒ උදාර සත්ක්‍රියාව නිසාම බෞද්ධ ලෝකයෙහි ශ්‍රී ලංකාවට ලැබුණේ උත්කෘෂ්ට ස්ථානයකි. අද දක්වා ම ලෝකයෙහි බෞද්ධ කේන්ද්‍රස්ථානය වශයෙන් ලංකාවට තැනක් ලැබී ඇත්තේ මේ නිසා ම බව සිහිපත් කළ යුතු ය. එය වඩාත් සවිමත් කරවනු සඳහා මාතලේ අලුවිහාරයේ දී මෙම ජනවාරි පස්වෙනි දින ශ්‍රීමත් ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමේ මහෝත්සවයක් පැවැත්වීම බෙහෙවින්ම කාලෝචිත ය. එය කියා නිම නොකළ හැකි තරම් අගනා, ඓතිහාසික උත්සවයක් බව නොවලහා කියයුතුව තිබේ.

නූතන සමයෙහි බුදුදහම විවිධාකාර අයුරින් විග්‍රහ කිරීමට ඇතැම් අය ඉදිරිපත් වී ඇත. එසේ වුවහොත් ඒ විකෘති අදහස් බුදුදහම වශයෙන් අනාගත පරම්පරාවෝ පිළිගැනීමට ඉඩ තිබේ. අතිගරු ජනාධිපතිතුමන් විසින් මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බව දැන උගත් මහා සංඝයා වහන්සේලා සහ ගිහි බෞද්ධ උගතුන් විසින් රජයට දන්වා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ උදාර සත්කෘත්‍යය ඉටුකරනු දැක්ම බෞද්ධ ලෝකයාට සැනසීමට හේතුවක් වන්නේ ය. ඇතැම් අය අද තම තමන්ගේ අදහස් ද කවා භාග්‍යවතුන් වහන්සේ, මහ බෝසතාණන් කෙනෙකුන් වශයෙන් අපරිමිත කාලාන්තරයක් පුරා පාරමී දම් නිමකොට ලෝකයාට දේශනා කරන ලද ධර්මය අපිරිසුදු කරමින් ලියන, කියන බවක් අසන්නටත්, දකින්නටත්, කියවීමටත් ජනසමාජයට ඉදිරිපත් කරමින් සිටී.

මේ මහා විනාශය නවතාලීමට ත්‍රිපිටක ධර්මය ජාතික උරුමයක් වශයෙන් රජය විසින් ස්ථාවර කිරීම කිය නොහැකි තරම් වාසනාවකි. දෙදහස් පන්සිය වසරේ දී එදා රජය විසින් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය සංඝ නේතෘන්වහන්සේගේ අනුශාසකත්වයෙන්, පණ්ඩිත ශිරෝමණි ලබුගම ශ්‍රී ලංකානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා පඬිවරුන් වහන්සේලා යොමු කරවා, බුද්ධ ජයන්තියට නිකුත් කළ බුරුම ත්‍රිපිටකය ද ඇසුරු කරමින්, "ත්‍රිපිටක ග්‍රන්ථ මාලා" නමින් බුදු දහම මුද්‍රණය කොට තිබේ.

එය එයාකාරයෙන්ම ස්ථාවර කරමින් ශ්‍රීමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන ලංකා රජය විසින් පිරිසුදු ත්‍රිපිටකය, “ජාතික උරුමයක්” බවට පත් කිරීම ඓතිහාසික සිද්ධියක් වශයෙන් අපේ වංශ කථාවල ලියැවෙනු නොඅනුමාන ය. මෙය සිදු නොවුනි නම් අධර්මය, ධර්මය වශයෙන් මේ යන අවිචාරවත් ක්‍රියාදාමයන් නවතාගත නොහැකිවනු ඇත.


චිරාත් කාලයක් ආරක්ෂා කර ගැනීමට මහත් රුකුලක්

සම්මා සම්බුද්ධ දේශිත ත්‍රිපිටක ධර්මය විකෘති කොට දේශනා කරමින් බෞද්ධ ජනතාව නොමඟ යවන අධර්මවාදීන්ගේ මතවාදයන් මැඬලා අවු. 2500 ආසන්න කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් මෙරට භික්ෂූන්වහන්සේ ආරක්ෂා කරගත් නිර්මල ථෙරවාදී ධර්මය තවත් චිරාත් කාලයක් ආරක්ෂා කර ගැනීමට මහත් රුකුලක් ලෙස ශ්‍රීමත් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය 2500 සම්බුද්ධ ජයන්තිය නිමිතිකර සම්භාවනීය සංඝපීතෘන් වහන්සේලා විසින් පරිවර්තනය කොට සම්පාදිත සූත්‍ර, විනය, අභිධර්ම දේශනා අන්තර්ගත ථෙරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීම ගරුතර මහා සංඝරත්නයේ හා බෞද්ධ ජනතාව ගේ ම ප්‍රසාදයට පී‍්‍රතියට හේතු වේ.

ධර්මය විකෘති කරන මිත්‍යාදෘෂ්ටීන්ගෙන් ධර්මය ආරක්ෂා කර ගැනීමට ජනාධිපතිතුමන් විසින් ත්‍රිපිටක ධර්මය ජාතික උරුමයක් ලෙස නම් කිරීම උපකාර වනු ඇත. අධර්මවාදීහු ධර්මය කෙලෙසුවේ අද පමණක් නොවෙති. පෙර රජ දවස නීලපට දර්ශනය, වෛතුල්‍යවාදය, වාපිරියවාදය නමින් ඇති වූ ධර්ම විරෝධි විෂබීජයන් බැහැර කොට ථෙරවාදී ධර්මය ආරක්ෂා කරගැනීමට භික්ෂූන් වහන්සේ ගත් උත්සාහයට සහාය වෙමින් අපේ රජවරුන් මිත්‍යාමත පැතිරවූවන් රටින් පිටමං කිරීම, පිට හණ තැබීම ආදී දඬුවම් ද පැමිණ වූ බව මහාවංශය, නිකාය සංග්‍රහය ආදී ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. දුටුගැමුණු, ගෝඨාභය, බුද්ධදාස ආදී රජවරු බුද්ධ ධර්මය රැක ගැනීම තම පරම යුතුකමක් ලෙස සැලකූහ.

අද ත්‍රිපිටක බුද්ධ ධර්මය විකෘති කොට දේශනා පවත්වන, පොත පත ලියන අධර්මවාදීන්ට රජ දවස දඬුවම්දී හෝ ධර්මයට එල්ල වී ඇති මෙම ව්‍යසනය දුරලීමට ද පියවර ගන්නා ලෙස ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිමු.


ප්‍රශස්ත උත්සාහය බොදු ජනතාවගේ පැසසුමට භාජනයවීම ද වටී

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීම ප්‍රශස්ත ය. වර්තමානය වනවිට ත්‍රිපිටකය නිර්වචනය කරන සමහර අය වැරැදි අර්ථකථන යොදමින් ත්‍රිපිටකය නිර්වචනය කරන බව ද දක්නට ලැබේ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමට ගත් උත්සාහය වර්තමානයේ විකෘති මතවාදයන් මඟින් ත්‍රිපිටකය විනාශ කිරීමට උත්සාහ දරන්නන්ට ද යහපත් පණිවිඩයක් වන බව මට හැඟේ සමහර අය ත්‍රිපිටකය නැවැත ලේඛන ගත කරන විට ද වැරැදි අර්ථකථන සපයන බව දක්නට ලැබේ. මෙවැනි ආකාරයට ත්‍රිපිටකයට සිදුකරන හානිය වැළැක්වීමේ හැකියාව ද ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ කාර්යය මඟින් සිදු වේ. ලෝකයේ බෞද්ධ ජනතාවගේ විශ්වාසය අනුව නිර්මල ථේරවාදය අදටත් ශ්‍රී ලංකාවේ පවතියි. නිර්මල ත්‍රිපිටකය සුරක්ෂා කිරීමේ භාරදූර වගකීම උසුලුයේ ද ශ්‍රී ලාංකේය ථේරවාද භික්ෂූන් ය. බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් දේශනා කළ ධර්මය බුද්ධ පරිනිර්වාණයත් සමඟ විවිධ දුර්මතධාරීන් නිසා පරිහානියට පත්වන බව දුටු මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ථේරීය භික්ෂූන්ගේ සහභාගීත්වයෙන් ප්‍රථම ධර්ම සංගීතිය පවත්වා ධර්මය ආරක්ෂා කළහ. විනය, සූත්‍ර, අභිධර්මය නමින් ත්‍රිපිටකයක් ලෙස ගොඩනැඟුණු ධර්මය ආරක්ෂා කිරීමේ භාරදූර වගකීම ද ප්‍රථම ධර්ම සංගීතියෙන් පසුව භික්ෂූන් වහන්සේටම පැවැරිණ. එවක් පටන් අනුරාධපුර යුගයේ වළගම්බා රාජ්‍ය සමය දක්වා ම ත්‍රිපිටකයේ සුරක්ෂාව දිවිහිමියෙන් නොනැසෙන සේ කටපාඩමින් ආරක්ෂා කළ භාණක භික්ෂූන් බැමිනිතියාසාය නිසා ත්‍රිපිටකයට වන අනතුර දැක මාතලේ අලුවිහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළහ. මෙලෙස බොහෝ කැපකිරීම් කොට ආරක්ෂා කළ ත්‍රිපිටකය ඉදිරියටත් පවත්වා ගෙන යෑමට ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීම ජාතික වටිනාකමකි. වර්තමානයේ ත්‍රිපිටකය හමුවේ විවිධ අභියෝග පවතින බව අපට ද මැනවින් දක්නට ලැබේ. වර්තමානයේ ත්‍රිපිටකයට එල්ලවන විවිධ අභියෝග පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමුවීම මඟින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ගත් ප්‍රශස්ත උත්සාහය බෞද්ධ ජනතාවගේ පැසසුමට භාජනය වීම ද වටී. නිර්මල ත්‍රිපිටකය අදට ද ලෝකයට බෙදා දිය හැක්කේ අපවන් ථේරවාදී බෞද්ධ රටකට පමණි. මෙම උත්තරීතර උදාර කාර්යය වෙනුවෙන් කැපවුණු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මා ඇතුලු සැමට සුභාශිංසන පිරිනමන අතර, උතුම් තුණුරුවන් පිහිට ලැබේවායි පතමි.


මෙම උතුම් කාර්යය සඳහා මා දිරිමත් කළ ගෞරවනීය අපගේ මහ සඟරුවනටත් කෘතඥතා පූර්වක නමස්කාරය

අනුබුදු මිහිඳු මාහිමියන් විසින් අප දේශයට දායාද කරන ලද්දේ මුල් සංගායනා දෙකෙහි දී සම්මත වී, තෙවැනි සංගීතියෙහි දී ද අනුමත වූ පාලි ත්‍රිපිටකය යි. ශ්‍රී ලාංකේය බෞද්ධ සම්ප්‍රදායේ මූලාශ්‍රයන් වනුයේ එකී පාලි ත්‍රිපිටක ග්‍රන්ථ හා ඒවායේ පරිවාර ග්‍රන්ථ වන අට්ඨකතා හා ටීකා යි. පළමු ධර්ම සංගීතියේ සිට ක්‍රි.ව. පළමුවැනි සියවසේ මාතලේ අලු ලෙනෙහි දී සිදු වූ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪකරණය දක්වා වූ සියවස් හතරකට වැඩි කාලයක් ත්‍රිපිටක ධර්මය මුඛ පරම්පරාගත ව පවත්වා ගැනුණේ මහ තෙරුන් වහන්සේලා ද, උන්වහන්සේලා ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවන් ද විසිනි.

වළගම්බා රජු ගේ දෙවැනි රාජ්‍යප්‍රාප්තියට ආසන්න කාලයක එනම් ක්‍රිස්තු වර්ෂය ආරම්භයේ දී ම ත්‍රිපිටකය ක්‍රමවත් ව ලේඛනගත කිරීමට මෙරට මහා සංඝයාවහන්සේ පළ කළ කෘතහස්ත භාවයත්, විචක්ෂණ භාවයත් විමති සහගත ය. ධාරණයෙන් පවත්වාගෙන ආ ලොව උදාර ධර්ම සාහිත්‍යයික දායාදයක් ලේඛනගත වීමෙන් අනතුරු ව එය ලංකාද්වීපයේ පරිශුද්ධ උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමක් ඉතිහාසයේ කිසි කලෙක සිදු විණැ යි කිව නොහැකි ය. ගරුතර මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා සහිත ව ඒ පූජනීය උරුමයට නීත්‍යානුකූල භාවයක් හිමි කර දීමට මා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන සමයෙහි ම ස්වාධීන පියවරක් ගැනීමට හැකි වීම මහත් සොම්නසට කරුණකි.

මින් පසු ත්‍රිපිටකයේ හරයට බලපාන විකෘතිකරණයන්ට අවකාශ නොලැබෙන අතර, බුද්ධභාෂිතයේ වේෂයෙන් එන ජනපි‍්‍රය අංගයන් පිළිබඳ ව සාවධාන වීමට ද ඉඩ සැලසෙනු ඇත. ශාසන චිරස්ථිතියට හේතු වන්නේ ප්‍රතිපත්තිය බව වටහා ගනිමින්, විනය පිළිබඳ වැඩි අවධානයක් සඳහා මෙමඟින් අනුබල ලැබේ. තව ද පෞද්ගලික ආයතන මඟින් ත්‍රිපිටකය මුද්‍රණය කිරීමේ දී විවිධ දෝෂ සහිත වීම නොවැළැක්විය හැකි හෙයින්, මේ ග්‍රන්ථාවලිය නැවත මුද්‍රණයේ හා ප්‍රකාශනයේ අයිතිය මින් පසු බුද්ධශාසන අමාත්‍යාංශය සතු වේ.

බුද්ධභාෂිතය ස්මෘතියෙන් දරා සිටිමින් අනේක දුක්ඛයන් විඳි අතීත මහාසංඝරත්නයටත්, මේ කාර්යය සඳහා මා දිරිමත් කළ අප ගේ ගෞරවනීය මහා සංඝයා වහන්සේලාටත් මෙහි දී කෘතඥතා පූර්වක ව නමස්කාර කරමි. බුද්ධ වචනය පිළිබඳ අප්‍රමාණ ගෞරවාදරයෙන් ගනු ලැබූ මේ පියවර හේතු කොටගෙන ධර්මානුකූල සමාජයක් බිහි වේවා යි ද ප්‍රාර්ථනය කරමි.


උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීම ඉතා කාලෝචිතය

වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන අසූ හාරදහසක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයේ චිර පැවැත්ම තීරණය වූයේ සුපේෂල ශික්ෂාකාමී භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන මේ සිව්වනක් පිරිසගේ දායකත්වයෙනි. එයිනුදු ධර්මධර, විනයධර භික්ෂු පරම්පරාවන්ගේ කැපවීම, දායකත්වය අතිමහත් ය. අතීත, වර්තමාන, අනාගත තෛ‍්‍රකාලීන සම්බුදු සසුනේ ගලා යෑමත්, ථෙරවාදී සම්ප්‍රදායේ පෝෂණයත්, සුරක්ෂිතතාවයත් උන්වහන්සේලාගේ පරම යුතුකම බවට පත්විය.

සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඉන්දියාවේ භාණක මුඛ පරම්පරාවෙන් පැවත ආ ශ්‍රී සද්ධර්මය මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලංකාද්වීපයට උරුම විය.

ක්‍රි.පූ. 1 වන ශත වර්ෂයේ වළගම්බා රජ දවස භික්ෂූන් වහන්සේලා ඇතුළු රටවැසි සත්වයාට වන හානිය තුළින් එම ධර්මයට විය හැකි අනාගත හානිය දුටු භික්ෂූන් වහන්සේලා සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී ත්‍රිපිටක ධර්මයේ නිවැරැදි බව සජ්ඣායනයෙන් අවබෝධ කොට අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා ග්‍රන්ථාරූඪ කළහ.

දෙදහස් පන්සිය වසරක ශ්‍රී ලංකාවේ උරුමය තුළ සහජීවනය, සහනශීලිත්වය, සමානාත්මතාවය, සංහිඳියාව ථෙරවාදී බුදුදහමින් මූර්තිමත් විය. අධ්‍යාත්මික ගුණ වගාවෙන් ආඪ්‍ය තිරසර පුණ්‍ය භූමියක් ලෙසත්, ථෙරවාදී බෞද්ධ දර්ශනයේ විශ්ව කේන්ද්‍රස්ථානය ලෙසත් ලෝවැසි බොදුනුවන්ගේ ගෞරවාදරයට ශ්‍රී ලංකාව පත්වීමට උතුම් ථෙරවාදී ත්‍රිපිටක ධර්මය ඉවහල් වූ බව මාගේ හැඟීමයි.

ශ්‍රී සම්බුද්ධ දේශනාව විකෘති කරමින් සැදැහැති බෞද්ධ ජනතාව අන්ධ විශ්වාස භක්තිකයන් බවට පත් කරන ශාසන විරෝධී පිරිස් බහුල මෙවන් යුගයක ශ්‍රී සද්ධර්මය අන්තර්ගත උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීම ඉතා කාලෝචිතයැයි ම විශ්වාස කරමි. 2019 ජනවාරි මස 05 වන දින මාතලේ අලුවිහාරයේ දී පැවැත්වෙන එම ජාතික මහෝත්සවයට මාගේ හෘදයාංගම සුභාශිංසන එක්කරමි.