Print this Article


නරක ගති එපා යහගුණ වඩමු

නරක ගති එපා යහගුණ වඩමු

පින්වත් දරුවනේ, පින් කිරීමෙන්, කුසල් දහම් හි යෙදීමෙන් දිව්‍ය ,බ්‍රහ්ම ආදී සුගතිගාමී ලෝකයන්හි උපත ලබන බව පසුගිය ලිපිවලදී අපි සාකච්ඡා කළා මතකයි නේ ද? ඒ වගේම අකුසල් කරන, පව් කරන අයටත් මරණින් මතු යන්නට තැන් තිබෙනවා.

ඒවාට කියනවා දුගතිගාමී ස්ථාන කියලා. අපාය කියලත් කියනවා. ඒත් අපාය ගැන හරියට දන්නවා නම්, මේ දරුවො පුංචි වරදක්වත් කරන්නේ නෑ.

අපි හිතමු විහිළුවට හරි එක මදුරුවෙක්, එක කුහුඹුවෙක් මරා දැමුවා කියලා. දරුවො දන්නවා ද? එවැනි කෙනෙක් ළඟම තිබෙන අපායේ, ඒ කියන්නේ අවීචි මහා නරකයේ උප්පත්තිය ලබා දුක් විඳින්නේ මිනිස් ආයුෂවලින් නම් බිලියන එකසිය හැට දෙකක කාලයක්. ඒ නිසා අපාය ගැන දන්න අය කවදාවත් අකුසල් කරන්නේ නෑ. අපාය කියන්නේ දුගතිගාමී ස්ථානයක්. එවැනි තැන් හතරක් පිළිබඳව සඳහන් වෙනවා තිරිසන්, ප්‍රේත, නරකය හා අසුර නිකාය යනුවෙන්.

අද අපි කතා කරමු පේ‍්‍රත ලෝකය ගැන. මේ ආත්ම භවයේ පේ‍්‍රතකම් කළ අය නැවත උපදින්නේත් පේ‍්‍රත ලෝකයකම යි. දරුවනේ, සමහර පේ‍්‍රතයින්ට ආහාර පාන නෑ. සමහර පේ‍්‍රතයින්ට විළි වසා ගන්නට වස්ත්‍ර කැබැල්ලක් නෑ. සමහර අයට ආහාරපාන වස්ත්‍ර දෙවර්ගය ම නෑ. හැම මොහොතකම දැඩි පිපාසයකිනුයි පසුවන්නේ. තවත් සමහර පේ‍්‍රතයින් ආහාරයට ගන්නේ අනෙක් අයගේ සෙම්, සොටු පමණයි. විශේෂයෙන් ම බොරු, කේළාම් කියන, පරුෂ වචන, හිස්වචන, ඇණුම්පද කියන, අම්මට තාත්තට එකට එක කියන, වැඩිහිටියන්ට දෝෂාරෝපණය කරන අය පේ‍්‍රත ලෝකයට ගිහින් දිගු දිවක් තිබෙන පේ‍්‍රතයන් වී උපදිනවා. ඒ පේ‍්‍රතයින්ගේ දිව අග පනුවො දෙන්නෙක් ඉන්නවා. ඒ අයගේ තුඩ හරියට බුරුමයක් වගේ. බුරුමය කියන්නේ ලී සිදුරු කරන්නට ගන්නා උපකරණයකටනේ. ඒ වගේ තුඩක් තිබෙන පණුවො දෙන්නෙක් පේ‍්‍රතයාගේ දිව දෙ පසින් ටිකෙන් ටික ආහාරයට ගන්නවා. සම්පූර්ණ දිව ම ආහාරයට ගත්තට පසුව කට ආහාරයට ගන්නවා. ඉන්පසුව මුළු ශරීරය ම ආහාරයට ගන්නවා. මොන තරම් වේදනා ඇතිද නේ ද දරුවනේ. මේ ඉතින් කට වරදා ගැනීමෙන් වන විපාක තමයි.

ඒ වගේම පිපාසයට වතුර ටිකක්, කුසට ආහාරයක් ඉල්ලන කෙනෙකුට ඒවා නො දුන්නොත්, ඒ වගේම තවත් කෙනෙකුට ඊර්ෂ්‍යා කළොත්, ඒ අය උපදින්නේ ‘කුප්පුපාතික’ කියන නිරයේ. ඒ අයත් ඉන්නේ හරිම පිපාසයෙන්. ගංගාවල වතුර, ළිංවල පිරී ඉතිරී ගිය වතුර පෙනෙන්නට තිබෙනවා. ඒත් සමීපයට ගිය විට ඒවා රුධිරය වගෙයි දිස්වන්නේ. ඇතැම් අය මොනතරම් ජලය පානය කළත්, පිපාසය නම් සංසිඳෙන්නේ නෑ. ඒ අයගේ කුස හරියට කළගෙඩි වගේ. උගුර ඉදිකටු තුඩක් වගේ. ආකාශය ගංගාවක් කරලා, මේ අයගේ කටට වත් කළත් උගුරවත් තෙමෙන්නේ නෑ කියලයි ලෝවැඩ සඟරවේ සඳහන් වන්නේ.

උපනත් පේ‍්‍රතව පව්කොට නො පණත්
කලෙකත් නො ලැබෙයි සෙම්සොටු පමණත්
උගුරත් නො තෙමෙයි සුරගඟ වැටුණත්
කලෙකත් පින් නො කළැකිමයි සිතුණත්

දරුවනේ නිවන් අවබෝධ කරගන්නට නොහැකි ස්ථාන අටක් තිබෙනවා. ඉන් එකක් වන්නේ පේ‍්‍රත ලෝකය යි. අපි හිතමු කෙනෙක් දැඩි තරහ සිතකින් මිය ගියා කියලා. ඒ අය උපදින්නේ තිරිසන් ලෝකයේ. දරුවනේ පේ‍්‍රතයින් ගැන, තිරිසන් ලෝක ගැන දැනගන්න ඒ ලෝකවලට යන්නම ඕනෑ නෑ. මේ සමාජයේ දෙස බැලුවත් ඒ වගේ අය දැක ගන්න පුළුවන්. ඒ ගතිලක්ෂණවලින්.

අපි ඇසුරු කරන යහළුවන් ළඟ මොනතරම් නරක ගති ඇති අය ඉන්නවා ද? ඒ ‘ගති’ අරගෙන එන්නේ පසුගිය ආත්ම භවයෙන්. ‘ඒ මගේ ගතිය , එය වෙනස් කරන්න කාටවත් බැහැ’ යනුවෙන් කියන අය දැක තිබෙනවා නේ ද? අම්ම, තාත්තාටවත් ,ගුරුවර, වැඩිහිටියන්ටවත් ඒ ගති වෙනස් කරන්නට නො හැකියි. සමහර අයට තිබෙන්නේ තිරිසන් ගති ස්වභාවයන්. සමහර අයට තිබෙන්නේ පේ‍්‍රත ගති ස්වභාවයන්. නිවෙසක මකුළු දැලක් කඩන්නේ නෑ. පොත්පත් ටික,ඇඳුම් පැළඳුම් ටික නිසි පිළිවෙළකට නෑ. හැසිරෙන්නේත්, කතා බහක්, සිතිවිලිත් පේ‍්‍රතයින්ගේ වගේම යි.

සමහර අය නිතරම තරහ ගන්නවා. යක්ෂ ගති තිබෙනවා. මෙවැනි ගති පෙර ආත්මයේ සිටම එන පුරුදු. ඒ කියන්නේ වැඩිම කාලයක් පේ‍්‍රත, තිරිසන් ලෝකයන්හි උපත ලබා, මනුස්ස අත්බවයක් ලැබූ ප්‍රථම අවස්ථාව. ඒ අය තවම මනුස්ස ලෝකයට පුරුදු වෙන අය. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මෙවැනි ගති සිරිත් ඇති අය පිළිබඳ ආනන්ද හිමියන් අමතා දේශනා කොට වදාළේ ‘ආනන්ද, ඒ අය මනුස්ස ලෝකයට අලුත්. අනුකම්පා කරන්න’ යනුවෙනු යි. මේ නිසා නරක ගති තිබෙන අයත් සමඟ තරහ ඇති කරගන්න එපා.

සාංසාරිකව රැගෙන එන නරක ගති වෙනස් කරන්න පුරුදු වෙන්නේ හොඳ ගතිගුණවලින්. ‘ගුණ’ හොඳින් දියුණු කළාම ගුණවන්ත වෙනවා. එහෙම වෙනස් කළ කෙනෙකුට අපි කියනවා හොඳ ගතිගුණ තිබෙන කෙනෙක් කියලා. සමහර අම්මලා, තාත්තලා කියනවා ‘මගේ පුතාට නම් හොඳ ගති ගුණ තිබෙනවා. ඒ නිසා අපි හරිම වාසනාවන්තයි කියලා.” අම්මගෙන්, තාත්තගෙන් ඒ වගේ ආශිර්වාදාත්මක අගය කිරීම්වලට ලක්වෙන්න හැම දරුවෙකුටම පුළුවන්. ලැබූ අලුත් අවුරුද්දේ නරක ගති ගුණ නිවැරැදි කරගෙන, දුගතිගාමී නො වන උතුම් ගුණ වැඩි දියුණු කර ගන්න හැකි වේවා’යි ප්‍රාර්ථනා කරනවා.