Print this Article


ත්‍රිපිටකය රැක ගැනීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමකි

ත්‍රිපිටකය රැක ගැනීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමකි

කැලණිය විශ්වවිද්‍යාලයේ,
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි

ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව නමැති දිවයින භූමි ප්‍රමාණය අතින් මෙන්ම ආර්ථික ශක්තිය අතින් ඉතා කුඩා රටකි. මෙම රට ලෝකයේ වෙනත්, කුඩා රටවලට මෙන්ම විශාල රටවලට ද වඩා විදේශිකයන්ගේ විශේෂ අවධානයට යොමුවීමට බලපෑ කරුණු කිහිපයක් ඇත.

ඉන් පළමුවැන්න වෘක්ෂ ලතා, වනාන්තර, ඇළ දොළ ගංගා, ගිරි හෙල්, කඳු ශිඛර ආදියෙන් හා සයුරෙන් වට වූ මනස්කාන්ත දේශයක් වීමයි. දෙවැන්න විශ්ව ශක්තිය විසින් ලෝකයේ කිසිවෙකුටත් වටහා ගත නොහැකි යම් අනභිභවනීය ශක්තියක් මෙම භූමි භාගය තුළ කේන්ද්‍රගත වී තිබීමයි. තෙවැන්න නම් ලෝකයේ කිසිදු රටකට හිමි නොවූ දාර්ශනික චින්තනයක් වන බුදුදහම හා එය රැක ගැනීමට කැප වූ ජාතියක් එම භූමිභාගයෙහි විසීමයි. මීට ව්‍යතිරේකව වෙනත් කාරණා රාශියක් ද පවතී. එහෙත් ඉහත කී සහ නොකී කරුණු සියල්ලම වැළඳගත් එකම කාරණය නම් ශ්‍රී ලංකාවට උරුම වූ බුදුදහම බව මෙරට මෙන්ම විදෙස්වල ද වෙසෙන බුද්ධිමත්හු දනිති.

වර්තමාන ලෝකයේ විශේෂයෙන් යුරෝපා රටවල ජනයා අතර ශීඝ්‍රයෙන් පැතිර යන ආගම බුදුදහම බව අපි දනිමු. ක්‍රි.ව. 2050 වන විට එය යතාර්ථයක් වන බව ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු වන ආතර් සී ක්ලාක් මහතා විසිනුදු පිළිගන්නා ලද්දකි. සිංහල රජදරුවන්ගේ කාලයේ දී ඇතැම් ඉන්දියානු ප්‍රාන්ත රජවරුන් ද, පසුකාලීනව විවිධ රටවලින් පෝල ඩාල්කේ, සතිශ්චන්ද්‍ර විද්‍යාභූෂණ, කෝසම්බි ධම්මානන්ද හිමි, එස්. මහින්ද හිමි, හෙන්රි සටීල් ඔල්කට්, ජවහල් ලාල් නේරු වැනි අය ද, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා භාවනා මධ්‍යස්ථාන සඳහා අතිමහත් විදේශිකයන් සංඛ්‍යාවක් පැමිණියේ සහ පැමිණෙනුයේ ද සුපිරිසිදු ථේරවාදී බුදුදහම නිසා බව අපි දනිමු. මීට අමතරව යුරෝපා රටවල දැනට ධර්මය ප්‍රචාරය කරමින්, ඉමහත් සේවාවක් සිදු කරමින් වෙසෙන සිය ගණනක් පඬිවරුන් පාලි භාෂාව හා ධර්ම ඥානය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලාංකික උගත් යතිවරුන් හෝ බෞද්ධ ගිහි පඬිවරුන්ගේ ඇසුර යටතේ ය. මේ හේතුවෙන් විශේෂයෙන් ලෝකයේ බෞද්ධ පඬිවරුන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඇත්තේ අපරිමිත භක්තියකි. එපමණක් නොව යටත් විජිත පාලන සමයෙහි එංගලන්තය විසින් ලංකාවට පත් කරන ලද පරිපාලන නිලධාරියෙකු වන රීස් ඩෙවිස් පඬිතුමා ශ්‍රී ලංකාවේ දී පාලි භාෂාව හා ත්‍රිපිටක ධර්මය හදාරා බුදුදහම ලෝකයටම ලබා දීමට ක්‍රියා කළේ ය. එතුමා වහා එංගලන්තයට ගොස් Pali Text Society  හෙවත් පාලි මූලග්‍රන්ථ ප්‍රාකාශන සංගමය නමින් විද්වත් සංගමයක් පිහිටුවා ත්‍රිපිටකය සංස්කරණය කොට මුද්‍රණද්වාරයෙන් පිට කිරීම නිසා ථේරවාදී බුදුදහම ලෝකයේ ශීඝ්‍රයෙන් ප්‍රචාරය වූයේ ද ශ්‍රී ලංකාවෙන් සැපයුණු පදනම නිසා ය.

තථාගත ධර්මය හෙවත් ත්‍රිපිටක ධර්මය විෂම අදහස් ඇතුළත් නොවන පරිදි සුරක්ෂිත කිරීම සංවිධානාත්මකව සිදු කළ වැඩ පිළිවෙළකි. එහි දී විශේෂ භූමිකාවක් ඉටු කරන ලද්දේ දීඝභාණක, මජ්ක්‍ධිමභාණක ආදී භාණක භික්ෂූන් වහන්සේ විසිනි. ඔවුහු එකිනෙක ධර්ම කොට්ඨාසවල විශේෂඥයෝ වූහ. ඔවුන්ගේ මූලික කාර්යභාරය වූයේ එම කොටස අකුරකුදු වෙනස් නොකොට මතකයෙහි දරා ගැනීමත් එය පවත්වාගෙන යාම සඳහා පරපුරක් සකසා තැබීමත් ය. ඒ සඳහා වරින්වර රැස්ව ඒවා සජ්ඣායනා කොට නිරවද්‍යතාව පරීක්ෂා කිරීම ද ඔවුහු සිදු කළහ. මාතලේ අලුඵ විහාරයේ දී ත්‍රිපිටකය ලේඛනාරූඪ කරන තුරුම බැමිණිටියාසාය වැනි උග්‍ර ව්‍යසනාපන්න අවස්ථාවල දී පවා උන්වහන්සේලා විසින් කරන ලද කැපකිරීම බැතිබරව මෙනෙහි කළ යුතු ය.

ලෝකයේ විවිධ දාර්ශනිකයන් වෙසෙන බවත්, විවිධ දර්ශනවාද ඉගැන්වෙන බවත්, එකී දාර්ශනික චින්තාවන් මත සමාජ සංස්ථාව මෙහෙයවන බවත් අපි දනිමු. මාක්ස්වාදය, ධනවාදය, සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය යනාදී වාද ගොඩනැගී ඇත්තේ එකී චින්තනධාර මත ය. බුදුන් වහන්සේ ලොව පහළ වූ විගස ලෝකයේ විවිධ මතවාද පවතින බවත් ඒවා සියල්ල සිතෙහි, කෙලෙස් මල සහිත වූවන් විසින් අශුද්ධ වූවන් විසින් සිතා කියන ලද ඒවා බවත්, බුදුදහම කෙලෙස් මල රහිත වූවන් විසින් සිතන ලද හා දෙසන ලද දහමක් බවත් පැහැදිලි කර දුන්හ. මේ නිසා තථාගත ඥාන දර්ශනය ලෝකයේ වෙනත් කිසිදු දාර්ශනිකයෙකුගේ ඥානයට කිසි දිනක මු ඵමනින් ගෝචර වන්නක් නොවේ. ලෞකිකත්වය මත පිහිටා විශ්වය දකින ඔවුහු බුදුදහම ඉදිරියේ කවදත් ළදරුවෝ වෙති. බුද්ධවචනය ඔවුනගේ මතවාද තියුණු කර ගැනීමෙහි ලා ශාස්ත්‍ර ශාලාවක් වනු ඇත. තාක්ෂණික මෙවලම් හා ගෝලීයකරණයේ බලපෑම නිසා දිනෙන් දින මිනිස් මනස විකෘති වන නූතන බටහිර ජාතීන් මානසික සහනය සොයා, මානසික සමබරතාව පවත්වා ගැනීමට විවිධ උපාය සොයන බව අපි දනිමු. ඒ නිසාම Mindfulness  යන්න බටහිර විශ්වවිද්‍යාලයන්හි ජනප්‍රිය විෂයක් වී ඇත. මනස දියුණු කිරීමේ ක්‍රමවේදයක් වන මෙය බුදුදහමේ උගන්වනු ලබන සතිපට්ඨානයයි. මේ නිසාම බෞද්ධ භාවනා ක්‍රමවලට ලෝකයේ විශේෂ වැදගත්කමක් හිමි වේ. අසංවර සිත හා එයින් වන පුද්ගල හා සමාජ හානිය පාලනය කිරීම සඳහා උපදෙස් සපයන ශාස්ත්‍රයක් ලෙස (Counselling) උපදේශනය සැලකේ. එහෙත් ත්‍රිපිටකය කියවන හෝ හදාරන පුද්ගලයාගේ මනෝභාව ශාන්තිය නිරායාශයෙන් ඇතිවන බවත් එය දන්නා තැනැත්තා සුවිශේෂී උපදේශකයෙකු වන බවත් ඒකාන්ත සත්‍යයකි. සියවස් ගණනාවක් ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා ගම් දනව්හි වැඩ වසමින් විවිධ ධර්මදේශනා, අනුමෝදනා, පිරිත් පින්කම්, බෝධිපූජා ආදිය මගින් තම දායකයන්ගේ සිත් ගිනි නිවා දමමින් ඔවුන් යහ මගට ගන්නා ලද්දේ ත්‍රිපිටක ධර්මය නිසා බව අප අමතක නොකළ යුත්තකි.

තථාගත ධර්මය නම් යථාර්ථ දේශනාවක් ම ය. බුදුදහමේ එන එක් කෙටි ප්‍රකාශයකින් මෙය තේරුම් ගත හැකි ය. දුක්ඛෙ පතිට්ඨිතො ලොකො, (ලෝකය දුක මත පිහිටා ඇත), සන්තුට්ඨී පරමං ධනං (සතුට පරම ධනයයි), ආරොග්‍යපරමා ලාභා (නිරෝගී බව උසස්ම ලාභයයි) යනාදී කවර ප්‍රකාශයක වුව ද ඇත්තේ සදාතනික සත්‍යයකි. මෙබඳු දාර්ශනික චින්තාවන්ගෙන් ගහණ වූ ත්‍රිපිටක සාහිත්‍යයේ මෙබඳු කෙටි ප්‍රකාශන දහස් ගණනක් ඇත. එපමණක් නොව ත්‍රිපිටකය ලෝකයේ සුවිශේෂී පුද්ගලයින්ට යම් යම් විෂය පරිපථයන් දෙස නව මානයකින් බැලීමට හා නව්‍ය සංකල්ප ගොඩ නැගීමට බුද්ධිය විවර කර දීම ද විශේෂ කරුණක් වේ. ඉන්දියානු සාහිත්‍ය විචාරයෙහි අද්විතීය විචාරකයා ලෙස සැලකෙන ආනන්දවර්ධන පඬිතුමා ධ්වනිවාදය නම් කාව්‍ය විචර සිද්ධාන්තයක් හඳුන්වා දුන්නේ ද ත්‍රිපිටක සූත්‍රාන්ත දේශනාවල සාත්ථං සබ්‍යඤ්ජනං යන ප්‍රයෝගයෙන් බව උගතුන්ගේ අදහසයි. තවද පරමාණුවාදය ගැන බෞද්ධ අදහස දැන ගැනීමට අවශ්‍ය නම්, ඊට අදාළ සිද්ධාන්ත ත්‍රිපිටකයෙහි ඇත. අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී (අණු මාත්‍ර වූ වරදෙහිදු බිය දක්නා සුඵව), සංයෝජනං අණුං ථූලං (අණු මාත්‍ර වූ හෝ විශාල වූ හෝ සංයෝජන) යනාදී ප්‍රකාශවල අණුව ගැන සඳහන් වේ. මෙම අණු සංකල්පය බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කොට ඇත්තේ ලෝකයෙහි පරමාණුවාදය පිළිබඳව අදහසක්වත් නොමැති කාලයක දී ය. බෞද්ධ පරමාණුවාදය පිළිබඳව මෙම අදහස අභිධර්මය ඔස්සේ විශ්ලේෂණය වන ආකාරය මහාචාර්ය වයි. කරුණාදාස සූරීන් විසින් Buddhist Analysis of Matter නම් පර්යේෂණ කෘතියෙන් පෙන්වා දී ඇත. මහායානය, තන්ත්‍රයානය, සෙන් බුදුදහම ආදී වශයෙන් ලෝකයේ බුදුදහම කෙතරම් ප්‍රභේදගත වී කවරාකාර සංකල්ප, දාර්ශනික චින්තා ඉදිරිපත් කළ ද, ඒවා පිළිබඳ සැබෑ බුද්ධ මතය දැන ගැනීමට ලෝකයා විශ්වසනීය මූලාශ්‍රය පරිහරණය කරනු ලබන්නේ පාලි ත්‍රිපිටකය බව මතක තබා ගත යුත්තකි.

පාලි භාෂාව සහ ත්‍රිපිටකය ඉගෙනීම අත්‍යන්තයෙන්ම වැදගත් කර්තව්‍යයක් බව අන්‍ය බෞද්ධ සම්ප්‍රදායන් විසින් පවා එකහෙළා පිළිගනු ලබන්නකි. සුප්‍රකට හා කීර්තිමත් බෞද්ධ නායකයෙකු ලෙස වැඩි ජනගහනයක් විසින් සලකනු ලබන දලයි ලාමා පවා 2011 නොවැම්බර් මස 30 වන දින නවදිල්ලියේ ගෝලීය බෞද්ධ සංසදයක විශාල පිරිසක් අමතමින් මේ බව අවධාරණය කළේ ය. එතුමා එහිදී පළ කළ පරිදි ගොඩනැගිල්ලක මතු මහලට නැගීමට පෙර බිම් මහලට පැමිණිය යුතු ය. දෙවන මහල බඳු සංස්කෘත බුදුදහම (මහායානය) හැදෑරීමට පෙර බිම් මහල නමැති පාලි බුදුදහම (ථේරවාදය) දැන සිටිය යුතු ය. එයින් තොරව යහපත් භික්ෂුවක් විය නොහැකි ය. එහි දී තවදුරටත් කරන ලද ප්‍රකාශයකින් කොටසක් මෙසේ උපුටා දක්වනු ලැබේ.

මා, බුරුම ලාඕස් සහ අනෙකුත් ථේරවාදී බෞද්ධ නායකයන් හමුවූ අවස්ථාවක දී ඊයේ සඳහන් කළ පරිදි, අතීතයේ දී හීනයාන මහායාන හා තන්ත්‍රයාන යනුවෙන් දක්වන ලද නම් නිසා මෙම ත්‍රිවිධ සම්ප්‍රදායන් මුළුමනින් එකිනෙකට වෙනස් වූ එකිනෙකින් වෙන් වූ, ඉගැන්වීම් ලෙස හැඟීමක් ඇතිකොට ගෙන තිබේ. එය මුළුමනින් ම වරදවා ගැනීමකි. අද උදේ මා කෙටියෙන් ප්‍රකාශ කළ පරිදි ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය එසේත් නැත්නම් පාලි බෞද්ධ සම්ප්‍රදාය බුද්ධධර්මයේ පදනමයි. විනය ශික්ෂාපද ආරක්ෂා කිරීම බුදුදහමේ අත්තිවාරමයි.

ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය නියෝජනය නොකරන, ටිබැට් බෞද්ධ සම්ප්‍රදාය නියෝජනය කරන ලෝක බෞද්ධ ප්‍රජාවගේ නායකයා වන දලයි ලාමා තම අනුගාමිකයන්ට ත්‍රිපිටකය සහ පාලි සම්ප්‍රදායේ වටිනාකම එලෙස පවසද්දී ථේරවාද සම්ප්‍රදාය ඇතුළතම සිටින ඇතැමුන් සියවස් ගණනාවක් ජීවිත පරිත්‍යාගයෙන් උතුම් ශ්‍රී ලාංකික යතිවරුන් විසින් දූරදර්ශීව හා සංවිධානාත්මකව මෙන් ම ජීවිත පරිත්‍යාගයෙන් රැක ගන්නා ලද ත්‍රිපිටකය වැරදි සහිත යැයි ද, පාලි භාෂාව, බුදුදහම ඉගෙනීමට අනවශ්‍ය යැයි ද, පාලි භාෂාව නො දැනීම හේතුවෙන් ත්‍රිපිටකයේ ඇතැම් පාඨ වැරදි ලෙස අර්ථකථනය කරමින් ද එය කෙළෙසීමට වෑයම් කිරීම අතිශය බිහිසුණු සාපරාධී සහ ශාසන විරෝධී ක්‍රියාවකි. චුල්ලමාලුංක්‍යපුත්ත සූත්‍රයෙහි සඳහන් වන පරිදි බුද්ධකාලයේ දී ද මෙබඳු භික්ෂූහු විසූහ. එහෙත් එවකට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි හෙයින් ගැටලුව විසඳා ගත හැකි විය. මෙකල ආසවට්ඨානීය ධර්ම බලගතු පුද්ගලයන් බහුල වන හෙයින් ගැටලුව සංකීර්ණ තත්වයක පවතී. එහෙත් සියල්ලන් විසින්ම දත යුතු කරුණ නම් ථේරවාද සම්ප්‍රදාය ආරක්ෂා කිරීම ශ්‍රී ලාංකික අපගේ පරම වගකීම වන බවයි.

මෙම මොහොත වන විට ද තායිලන්තය වැනි රටවල විවිධ රටවල මුද්‍රිත හා අමුද්‍රිත පාලි අත්පිටපත් භාවිත කරමින් විවිධ රටවල උගතුන් හා ඉහත කී එංගලන්තයේ පාලි මූලග්‍රන්ථ සංගමයේ උගතුන් ද සහභාගී කර ගනිමින් ත්‍රිපිටක සංස්කරණයන් සිදු කෙරෙමින් පවතී. එහිදී ද ඔවුන් වඩාත් විශ්වසනීය මූලාශ්‍රය ලෙස සලකනු ලබනුයේ ශ්‍රී ලංකාවේ පාලි අත්පිටපත් බව මෙහි ලා සිහිපත් කළ යුතු ය. ශ්‍රී ලංකාවේ අප විසින් සුරක්ෂිත කරනු ලබන මෙම පාලි ත්‍රිපිටකය අමිල වස්තුවක් වන්නේ මෙබඳු කරුණු,රාශියක් නිසා ය. මෙම ත්‍රිපිටකය විවිධ විෂම අදහස් ඇතුළත් කොට දූෂණය කිරීම බරපතල වරදක බව ඉඳුරා කිව හැකි ය. යම් හෙයකින් පාලි භාෂාව ධර්මය හැදෑරීම සඳහා අනවශ්‍යය යන මිථ්‍යා මතය සහ අප සතු වන පාලි ත්‍රිපිටකය වැරදි සහිත වූවක් ය යන සාවද්‍ය අදහස ස්ථාපනය කළහොත් මෙරට අනාගත භික්ෂු පරපුර පාලි භාෂාව නො දන්නෝ වෙති. පාලි නොදන්නා බැවින්ම ඔවුහු ත්‍රිපිටකය නො දනිති. ත්‍රිපිටකය නො දන්නා බැවින්ම ඔවුහු තථාගත ධර්මය නොදන්නෝ වෙති. තථාගත ධර්මය නො දන්නා බැවින්ම ශ්‍රී ලංකාවේ බුදුදහම කෙරේ සිංහල වැසියා තුළ භික්ෂුව හා බුදුදහම කෙරේ වූ ලබැඳීයාව හා විශ්වසනීයත්වය වියැකී යනු ඇත. භික්ෂුව හා ගිහියාගේ සුසංයෝගී සබැඳියාව නොමැති හෙයින් සිංහල ජාතිය ද වැනසේ. සිංහල ජාතිය වැනසීමෙන් ශ්‍රී ලංකාවම ව්‍යසනයට ගොදුරු වේ. එයින් රාජ්‍ය නොවන සංවිධාන, අනාගමික සංවිධාන හා වෙනත් කූට ජාවාරම්කාරයින්ගේ දුෂ්ට වුවමනාව සපිරෙන අතර සත්පුරුෂ යහපත් මිනිසුන්ගේ ලෝකයට තර්ජනයක් එල්ල වේ. එබැවින් අප සතුවන මහඟු සම්පතක් වන පාලි භාෂාව ත්‍රිපිටකය හා තදනුබද්ධ බුදුදහම සිතා මතා අනතුරට පත් කිරීමෙන් අපට අත්වනුයේ පොදු අනතුරකි. එනම් අවිඥානිකව තමන්ගේම වලිගය දෙසින් කමින් ව්‍යසනයට පත් වූ තිමිංගල නම් විශාල මත්ස්‍යරාජයාට අත් වූ ඉරණමයි. එබැවින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙසට නම් කිරීම වැදගත් තීන්දුවක් වන්නා සේ ම, එය සුරක්ෂිත කිරීමටත් එහි ඵල නෙලා ගැනීමටත් ජාතියක් වශයෙන් අප බුද්ධිමත් විය යුතු ය.