Print this Article


දෙව්ලොව උපත ලබන්න තිසරණයෙහි පිහිටන්න

දෙව්ලොව උපත ලබන්න තිසරණයෙහි පිහිටන්න

මෙම ලිපියේ මුල් කොටස උඳුවප් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.

බුදු රජාණන් වහන්සේ දේශනා කළ, සියලුම දහම් කරුණු අඩංගුවන කොටස නවාංග ශාස්තෘ ශාසනයයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන නිසා “යම් භික්ෂුවක්” කියලයි ආමන්ත්‍රණය කරන්නේ. නමුත් භික්ෂු, භික්ෂුණී, උපාසක,උපාසිකා යන සිව්වනක් පිරිස ම මේ කොටසට අයිති වෙනවා.

ඒ නිසා ගිහි පැවිදි දෙපිරිසට ම මේ ධර්මය ඉගෙන ගන්න පුළුවන්. මෙහි දී යම් භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් මේ කියන නවාංග ශාස්තෘ ශාසනය කනින් අහල – සොතා ධාරණය කරගෙන – ධතා වචනයෙන් පුරුදු කරල – වචසා පරිචිතා, මනසින් මෙනෙහි කරල – මනසානු පෙක්ඛිතා, නුවණින් අවබෝධ කරගෙන තියෙනවානම් – දිට්ඨියා සුප්පටිවිද්ධා අන්න ඒ කෙනා මිය යන වෙලාවෙ දී

සො මුට්ඨස්සති කාලං කුරුමානො – යම්කිසි විදියකින් සිහිමුලාව මියයන්න පුළුවන්. එහෙම වුවත් අඤ්ඤතරං දෙවෙනිකායං උපජ්ජති –කිසියම් දෙව්ලොවක උපත ලබනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

එසේ සැපසේ වාසය කරන ඔහුට දහම් පද වැටහෙන්නේ නැහැ. ඒ වගේම දෙවියන්ගේ සිහිය උපදින්නේ ඉතාම හෙමින් කියනවා. නමුත් සිහිය ඉපදුණු වහාම මේ දෙවියා අථ සො සත්තො ඛිප්පං යෙව විසෙසගාමී හොති – සිහිය ඉපදුණු විගසම ඔහු විශේෂ අවබෝධයක් කරා යනවා. ඒ කියන්නේ ඔහු මාර්ගඵල තත්ත්වයකට පත් වෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කනින් අහල, වචනයෙන් පුරුදු කරල, සිතින් විමසල, නුවණින් අවබෝධ කරගත් පුද්ගලයා ධර්මයේ පළමුවෙනි ආනිසංසයට කැමැති විය යුතුයි කියලා. මේ දේශනාවෙන් ඉතාම පැහැදිලියි. යම්කිසි කෙනෙක් මේ නවාංග ශාස්තෘ ශාසනය තුළ ධර්මය ප්‍රගුණ කරමින් සිටින අතරතුර මරණයට පත්වුණොත්, මරණය සිදුවන මොහොතේ දී සිහිය මුලාවී තිබුණත්, ඔහු උපදින්නේ දිව්‍ය ලෝකයක කියලා. හැබැයි ඉහතින් සඳහන් කළ ගුණධර්ම ප්‍රගුණ කර සිටිය යුතුයි.

අපේ ඇතැම් භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිස දිව්‍ය ලෝකයක ඉපදෙන කතාවට මොනතරම් විරුද්ධව කෑ ගැසුවත් මෙහි දී බුදුරජාණන් වහනසේ පැහැදිලිව දේශනා කරනවා . යම්කිසි කෙනෙක් ඉහතින් සඳහන් කළ ධර්ම මාර්ගයේ සිටින අතරතුර සිහිමුලා වෙලා මියගියහොත් දිව්‍ය ලෝකයක උපදිනවා . ටික කාලයක් ගතවන විට සිහිය උපදිනවා. ඉන්පසු ධර්මය අවබෝධ කර ගන්නවා. එය පළමුවෙනි ආනිසංසයයි. සෝතානුධත සූත්‍රයේ දි දේශනා කරන්නේ මෙයයි.

දෙවෙනි කාරණය ලෙස උන්වහන්සේ දේශනා කරන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන මේ සිව්වනක් පිරිසෙන් කෙනෙක් නවාංග ශාස්තෘ ශාසනය එනම් සුත්ත, ගෙයිය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්ථක, ජාතක, අද්භූත ධම්ම, වේදල්ල කියන නවාංග ශාස්තෘ ශාසනය ශ්‍රවණය කරනවා. ධාරණය කර ගන්නවා. වචනයෙන් පුරුදු කරනවා.

මනසින් මෙනෙහි කරනවා, අවබෝධය කරා යනවා. ඒ පුද්ගලයා සිහිමුලාව මැරුණත් මරණින් පසු එක්තරා දේව නිකායක උපදිනවා. එහි සැපසේ ජීවත් වූවත් ඔහුට දහම් පද වැටහෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස දක්වනවානම්, මනුෂ්‍ය ලෝකයේ ඇතැම් පුද්ගලයෝ දැන් කිසිසේත් ම ධර්ම මාර්ගයට පිවිස නැති වුණත් ඔවුන් පෙර ජීවිතවලදී යම් ආකාරයක ධර්ම මාර්ගයක් වඩමින් සිටි පිරිසක් වෙන්න පුළුවන්.නමුත් දැන් කල්පනාවක් නැහැ. පෙර භවවලදී මොකක්ද මා කරමින් සිටියේ කියලා. ධර්මයේ පිහිටල හිටිය ද නැද්ද? කියලවත් මතකයක් නැහැ.

එහෙම වෙන්න හේතුව මොකක්ද? මනුෂ්‍ය ලෝකයට ඇවිත් වෙනත් වැඩ කටයුතුවලයි නිරත වෙලා ඉන්නේ. ඇතැමෙක් මෙහි පැමිණි දවසේ ඉඳලම ශිෂ්‍යත්වයට සූදානම් වෙනවා. අපොස (සා/පෙළ) (උ/පෙළ) සමත් වෙන්න විශ්වවිද්‍යාලයට යන්න උත්සාහ කරනවා. තවත් අය දේශපාලන වැඩපිළිවෙලේ නිරත වෙලා ඉන්නවා. සංගීතයේ නියැළී ඉන්නවා. සමහර අය පුනරුප්පත්තියක් විශ්වාස නොකරන නිසා ජීවත්ව සිටිනතුරු කාල බීල විනෝදයෙන් ඉන්න ඕන කියල හිතනවා. මේ කිසිවකුටත් තවම මතක් වෙලා නැහැ පෙර ජීවිතයේ දී තමන් කුමක්ද කරමින් සිටියේ කියලා.

ඇතැම් අයට වයසට ගියාට පස්සේ මතක් වෙනවා. තවත් පිරිසකට මිය යන්න ආසන්න මොහොතේ මතක වෙනවා. නමුත් වර්තමාන තරුණ පරපුර මේ අවධියේ දී ම ධර්ම මාර්ගයේ ගමන් කරන බව අපට දකින්නට ලැබෙනවා. ඒ පිරිසට වෙන හානිය තමයි අර ව්‍යාජ ලෙස ධර්මය අවබෝධ කළා කියන ව්‍යාජ රහතුන්ගේ දේශනා අහල සැබෑ ධර්මය හඳුනා ගන්නට බැරිවීම, සැබෑ ධර්මය යටපත් වීම. ඒ නිසා ඒ අය ගැනත්, සමස්ත බෞද්ධ ජනතාව ගැනත් කරුණාවෙන් තමයි මේ ධර්මය දේශනා කරන්නේ.

අප ඉහතින් සඳහන් කළ දෙවියන්ටත් ටික කාලයක් ගතවන විට සිහිය උපදිනවා. එහි සිටින එක්තරා ඍද්ධිමත් චිත්ත වශී ප්‍රාප්ත භික්ෂුවක් ඒ දෙව් පිරිසට බණ කියනවා. ඒ ධර්මය ශ්‍රවණය කරනකොට ඒ දෙවියන්ට මෙහෙම හිතෙනවා. මම පෙර ආත්මභාවයක යම් කිසි බුදු සසුනක බ්‍රහ්මචාරීව හිටියා. මේ ඒ ධර්මය නේද ඇසෙන්නේ කියල එයා කල්පනා කරනවා. ඒ සිහිය ඉපදුන ගමන් එයා මාර්ගඵල අවබෝධය ලබා ගන්නවා. ඒ තමයි දෙවැනි ආනිසංසය. ඒ සිදුවීම මෙන්න මේ වගේ දෙයක් කියල බුදුරජාණන් වහන්සේ උදාහරණයකින් දේශනා කරනවා.

බෙරහඬ හඳුනා ගන්නට පුළුවන් දක්ෂ පුරුෂයෙක් ඉන්නවා. ඔහු දීර්ඝ ගමනක් යාමට මාර්ගයකට අවතීර්ණ වෙනවා. එහි දී ඔහුට ගුඳ තක තක තක කියලා බෙර හඬක් ඇසෙනවා. මේ ඇසෙන්නේ බෙර හඬක්ද? , බෙර හඬක් නොවේද? කියල ඔහුට සැකයක් ඇති වෙන්නේ නැහැ මොකද බෙර හඬ අසා පුරුදු මනුස්සයා ස්ථිරවම දන්නවා. මේක බෙර හඬක් කියලා. අන්න ඒ වගේ බණ අසා පුරුදු පුද්ගලයාට තේරෙනවා මේ ධර්මය යි කියලා. නවාංග ශාස්තෘ ශාසනයේ අර විදියට පුරුදු කළ පුද්ගලයාට දිව්‍ය ලෝකයට ගියාට පසු අර භික්ෂුව දහම් දෙසනකොට මතකයට එනවා මම මේ පුරුදුකළ ධර්මයයි, ඇසෙන්නේ කියලා. ටිකෙන් ටික සිහිය පිහිටවනවා. සිහිය ඉපදුණු වහාම ඔහු විශේෂ අවබෝධයක් කරා යනවා. එය දෙවැනි ආනිසංසය යි.

ඉන්පසු බුදුරජාණන් වහන්සේ තුන්වැනි ආනිසංසය දේශනා කරනවා. භික්ෂූන්වහන්සේ නමක් සුත්ත, ගෙයිය, ව්‍යොකරණං, ගාථා, උදාන, ඉතිවුත්ථක ,ජාතක, අද්භූතධම්ම, වේදල්ල, යන නවාංග ශාස්තෘ ශාසනය ශ්‍රවණය කරනවා. සිතින් දරා ගන්නවා. වචනයෙන් පුරුදු කරනවා, මනසින් මෙනෙහි කරනවා. අවබෝධය කරා යනවා .ඉන්පසුව ඔහු සිහිමුලාව මරණයට පත් වෙනවා. නමුත් ඔහු දිව්‍ය ලෝකයක උපදිනවා. මෙය අද සමාජයට ඉතා වැදගත් අවස්ථාවක්. වර්තමානයේ කවුරුන් හෝ සිහි මුලාව මිය ගියොත් අප කෙළින්ම තීන්දුවක් දෙනවා ඒ පුද්ගලයා නිරයට ගියා. තිරිසන් ලෝකයට ගියා, ප්‍රේත ලෝකයට ගියා නැතිනම් අසුරකායකට ගියා කියලා . ඔය මනුස්සය හොඳ ලෝකයකට නම් ගියේ නෑ. ඉන්නකම් පන්සල්වල හිටියා , සිල් ගත්තා. භාවනා කළා. ඒත් බලන්න මිය යන වෙලාවෙ සිහි කල්පනාවක් නැතිවනෙ මියගියේ කියලා මිනිසුන්ට ගර්හා කරනවා.

නමුත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම නිසා ඔහු මරණින් මතු ඉපදිලා තියෙන්නේ දිව්‍ය ලෝකයක බව මේ දේශනාවත් සමඟ පැහැදිලි වෙනවා. එවැනි උප්පත්තියක් ලබන්න නම් සැබෑ ලෙසම තුන් සරණය තුළ පිහිටලා සිටින්න ඕනේ. ගමේම පන්සල්වලට ගියාට, භාවනා කරන්න ගියාට මිත්‍යා දෘෂ්ඨික කටයුතුවල නිරතවුනාට දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබන්නේ නැහැ. සැබෑ ලෙසම තිසරණය තුළ පිහිටල ධර්මය නිවැරැදි ලෙස අධ්‍යයනය කළ පුද්ගලයා පමණක් සිහිමුලා වෙලා මැරුණත් දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබනවා. ඔහු එහි සැපසේ ජීවත් වෙනවා. නමුත් දහම් පද වැටහෙන්නේ නැහැ. නමුත් එහි සිටින දිව්‍ය පුත්‍රයෙක් ධර්මය දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසූ දෙවිවරු තවමත් දිව්‍ය ලෝකවල ඉන්නවා.

මනුෂ්‍ය ලෝකයේ අවුරුදු පනහක් චාතුර්මහාරාජිකයට එක දවසයි. එවැනි දවස් තිහක් මාසයයි. මාස දොළහක් අවුරුද්දයි. අවුරුදු පන්සියයක් එහි ආයුෂ තිබෙනවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු එක්දහස් හයසියයක් පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයට එක දවසයි. ඒ අනුව ඒ දිව්‍ය ලෝකයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තියෙන්නේ ඊයෙ වගෙයි. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසූ දෙවිවරු එහෙ ඉන්නවා. ඒ දෙවිවරුන්ට පුළුවන් මේ අලුත් දේව මණ්ඩලයට බණ කියන්න. ඒ දෙවිකෙනෙක් ධර්මය දේශනා කරන විට මොහුට හිතෙනවා මම පෙර ආත්මභාවයේදී යම්කිසි බුදුසසුනක, බ්‍රහ්මචාරීව සිටිමින් ශ්‍රවණය කළ ධර්මය නේද මේ ඇසෙන්නේ කියලා මතක් වෙනවා. සිහිය ටික ටික උපදිනවා. සිහිය ඉපදුණු වහා ම ඔහු විශේෂ අවබෝධයක් කරා යනවා.

ඉතිරි කොටස උඳුවප් අමාවක පෝදා (ජනවාරි 05 වනදා) පත්‍රයේ