Print this Article


ධර්ම දේශනාව: නැණැතියන් සමග විසුවොත් ගුණැතියන්ම ය යහපත්

නැණැතියන් සමග විසුවොත් ගුණැතියන්ම ය යහපත්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බාල සංගත චාරීහි -දීඝමද්ධාන සොචති
දුක්ඛො බාලෙහි සංවාසො -අමිත්තෙනෙව සබ්බදා
ධීරොච සුඛ සංවාසො -ඤාතීනංව සමාගමො

“සුපින්වත්නි,

සකල ජනමන සනසන අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බේළුව ගමේ වැඩවසන සමයෙහි සක්දෙව්රජ බුද්ධ උපස්ථානයට පැමිණීම නිමිති කරගෙන මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක.

ලොව්තුරු බුද්ධත්වයට පත්වී වදාළ තැන් පටන් ගම්, නියම්ගම්, නගර, රාජධානි ආශ්‍රය නිශ්‍රය කරමින් අපමණ ජනතාවගේ හිත සුව පිණිස සදහම් දෙසමින් වැඩ සිටි අප භාග්‍යවතුන් වහන්සේ බේළුව ගමේ වැඩ සිටින විට රෝගාබාධය ඉස්මතු විය. මේ අවස්ථාවේ සක්දෙවිඳු අවුත් බුදුරදුන්ට උවටැන් කරන්නේ සිරිපා පිරිමදින්නට විය. මේ කාරණය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ හා සක්දෙව් අතර සංවාදයක් ඇතිවූ හෙයින් මෙම ගාථා ධර්මය ද දේශනා කොට නැණවත් පුද්ගලයන් හා එක්ව විසීමේ යහපත පෙන්වා වදාළ සේක.

පින්වත්නි, මෙම ගාථා ධර්මයෙන් ප්‍රධාන අදහස් කීපයක් දක්වා ඇත.

බාලයන් ආශ්‍රය කිරීමෙන් ලබන දුර්විපාක,

ගුණවතුන් ආශ්‍රය කිරීම,

දෙලොව සැපයට ආශ්‍රය බලපාන අයුරු ආදී ලෙසිනි.

සත්වයන් අතර මිනිසා හඳුනා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයකි. එයට හේතුව මිනිසාට කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද වහාම ප්‍රතිරූප මවා පාන්නට හැකියාව ඇතිවීමයි. සෙසු සත්වයන්ට එබඳු ස්වරූපයක් නැත. එසේ නම් මානව සමාජයේ හොඳ නරක විශ්ලේෂණය කරන්නේ කෙසේ ද?

මානව පරපුර පුද්ගලයාගෙන් පුද්ගලයාට හඳුනාගෙන සමාජ ගත වු දා සිට මෙතෙක් බිහිවූ ආගම්, දර්ශන, නීති රීති ව්‍යවස්ථා සුපරීක්ෂාකාරීව බැලීමේ දී බාල, ධීර වීර, ශ්‍රේෂ්ඨ පුරුෂයන් හඳුනා ගැනීමට හැකියාවක් ඇති නමුත්, සංකීර්ණ සමාජයක තෙරපෙන මිනිසාගේ ස්වරූපය හඳුනා ගැනීම ඉතා ම දුෂ්කර වන්නේ ය.

අප බුදුරජාණන් වහන්සේ බාලයාගේ ලක්ෂණ පෙන්වා වදාළ සේක.

තීනිමානි භික්ඛවෙ බාලස්ස බාලලක්ඛණානි බාල නිමිත්තානි, බාලපදකාති කතමානි තීනි ඉධ භික්ඛවෙ බාලො දුච්චින්තීත චින්තීච හොති දුබ්භාසිතභාසී දුක්කත කම්මකාරි

මහණෙනි, බාලයා හඳුනා ගැනීමට උපකාරක වන ශාරීරික ලක්ෂණ තුනක් ඇත. බාලයා නපුරු සිතිවිල්ලක් සිතන්නේ ය. නපුරු වචනයක් කියන්නේ ය. නපුරු දෙයක්ම කරන්නේ ය. සිතින්, කයින්, වචනයෙන් දස අකුසල් කිරීම මෙයින් ප්‍රකාශ කෙරෙන්නේ ය.

මානසික ගුණ දහමින් පිරිහෙන මිනිසාට මෙන් ම දියුණු වෙන මිනිසාට ද, එකසේ මනුලොව පරිසරය සකස් වී ඇති අතර ඒ අංශ දෙකින් තෝරාගත යුත්තේ කුමන අංශය ද යන්න තීරණ ගැනීමේ ප්‍රඥාව ඇත්තේ මිනිසා ට පමණි. මේ නිසා අසංඛ්‍ය සංඛ්‍යාත සතුන් ජීවත්වන නමුත් මෙයට මනුලොව වශයෙන් මිනිසාට සුවිශේෂ අවකාශයක් හිමිවී ඇත්තේ හැකිතරම් ගුණදහමින් උපරිම තලයට පැමිණ සෙසු සත්වයන්ගේ ද ජීවිත ආරක්ෂාව සලසා දීමට පරමාදර්ශය දියු යුතු බැවිනි.

කෙනෙක් ආර්ථික වශයෙන් කෙතරම් දියුණු වුවද, ගුණදම් වශයෙන් ස්වල්ප වශයෙන් හෝ නැත්නම් ජීවිතයේ කෙදිනක හෝ ආර්ථික හා අධ්‍යාත්මික පිරිහීමට පටන්ගෙන ජීවිත අවසානයේ මනුෂ්‍යත්වයක් නැතිව යන්නේ ය. කුඩා කාලයේ පටන් “අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණී අපාය සහාය යන පාප මිත්‍රයන් හැඳිනගෙන, උපකාරක, සමාන සුඛදුක්ඛ , අත්තක්ඛායි, අනුකම්පක යන උසස් මිත්‍රයන් ආශ්‍රය, නිශ්‍රය ,භජනය කළ යුත්තේ ම ය.

පූතිමච්ඡං කුසග්ගේන
යොනරො උපනයිහති
කුසාපි පූති වායන්ති
ඒම බාලුපසේවනා

යම් මිනිසෙක් කුස තණ අගින් කුණුමසක් ඔතා තබා ද, එයින් කුසතණ ද දුගඳ හමන්නාක් මෙන් බාලයා ආශ්‍රය කරන්නා ද, දෙලොව පරිහානියට පත්වන්නේ ය.

බාහිර වශයෙන් අප කොපමණ පවිත්‍ර වුවද, සිතේ රාග, දෝෂ, මෝහාදී කෙලෙස් නිතරම ක්‍රියාත්මක කරන්නා අවපක්ෂයේ සඳ මෙන් ක්‍රමයෙන් පිරිහීමට පත්වන්නේ ය.

බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සමීක්ෂණය කොට බලනවිට අපට පෙනෙන මානව සිද්ධාන්තය නම් මිනිසාගේ දියුණුව හා පරිහානිය ආශ්‍රය මූලික පදනම කරගෙන පැවතීමයි.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආශ්‍රය නිශ්‍රය කරගෙන, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රධාන සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, උත්තරීතරභාවයට පත් වූ අසංඛ්‍ය සංඛ්‍යාත ජනතාව ලබාගත් ශාන්තිය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ඉතා ප්‍රසන්නාකාරයෙන් සනිටුහන් වන්නේ ය.

ලෝකයේ කිසිම කෙනෙකු ස්වයං විවේචනය කරගෙන අල්ප මාත්‍රයකුදු තමාගේ අගුණයක් කියන්නට, හඟවන්නට කැමැති නැත. සෑම දෙනාට ම පෙනෙන්නේ අනුනගේ දුර්වලකම් ය. මේ නිසා සෑම මිනිසාගේ ම කායික මානසික කුමන හෝ දුර්වලකමක් ඌණත්වයක් ඇතිබව බුද්ධිමත් මිනිසා තේරුම් ගත යුතුවන්නේ ය.

තමාගේ ජීවිතය , බුද්ධියෙන්, ක්‍රියාකාරිත්වයෙන් තහවුරු වූ පසු ගුණනුවණින් තමාට වඩා උසස් අය ආශ්‍රය නිශ්‍රය කිරීමෙන් මෙලොව පරලොව යහපත මෙන්ම සසර දුකින් මිඳී උතුම් නිවනින් සැනසෙන්නට පුළුවන.

ඔබ සැමට තෙරුවන් සරණයි